මෙම පියවර ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවට කල් ලබා දී ඇති අතර මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (අයිසීසී) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාව මෙරට මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට අදාලව මානව හිමිකම් කොමිසම සමඟ එකඟ වූ සියලු යෝජනාවලින් ඉවත් වීමට පසුගියදා පියවර ගනු ලැබීය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පූර්ව මානව හිමිකම් වාර්තා ගැන නැවත විමසීමට පසුගියදා විශේෂ ජනාධිපති කොමිසමක්ද පත් කිරීමට ක්‍රියා කළේය.
වත්මන් පාලනයට එරෙහිවත් පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී මෙන් ජාත්‍යන්තර බලපෑම් සිදුවෙමින් තිබේ. එය මානව හිමිකම් චෝදනා වලට පමණක් සීමා නොවී ආර්ථික ක්ෂේත්‍රයද ඉලක්කකරමින් සිදුවෙමින් තිබේ. කිසිදු පිළිගත හැකි පදනමක් නොමැතිව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව අවධානම්කාරී රටක් ලෙස නම් කිරීමද මේහා බැඳනු එකම ක්‍රියාවලියක් ද යන සැකය ද මතුව තිබේ. එසේම එම පියවරයන් පසුගිය වතාවට වඩා දැඩි වෙනු ඇතැයිද පෙනෙන්නට තිබේ. එසේම මේ වෙනුවෙන් එල්ටීටීඊ ඩයස්පෝරාව වැඩි උනන්දුවකින් මෙවර කටයුතු කරමින් සිටින බවද මෙරට බලධාරීන් පෙන්වා දෙයි.
කොහොම නමුත් බ්‍රිතාන්‍යය විසින් මෙහෙයවන කණ්ඩායමක් එළඹෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනවක් සම්මත කරගැනීමේ ආභිප්‍රායයෙන් පසුවේ. මීට එකඟ වීම හෝ නොවීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් මෙතෙක් තීරණය කරනොමැත. නමුත් මෙහි වගන්තියෙන් වගන්තියට වෙන මෙනම ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවත් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සන්ඩෙ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.