මේ වන විට වරාය වෘත්තීය සමිති සහ විපක්ෂ දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධන ගනනාවක් නැගෙනහිර ජැටිය සම්බන්ධ ආයෝජන ගිවිසුම අනුව එහි සියයට 49 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. මේ අතර වෘත්තීය සමිති ඒකාබද්ධව ගොඩනගාගෙන තිබෙන නැගෙනහිර පර්යන්තය සුරැකිමේ ජාතික ව්‍යාපාරය මෙම ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේම වැඩ පිළිවෙලක් යෝජනා කර ඇත.
මේ අතර මේ සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනු කමිටුව අද(25) රැස්වීමට නියමිත අතර එහිදී වරාය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලබාදුන් යෝජනා මාලාව සාකච්ඡාවට ගැනීමට නියමිතය. මෙම සතිය පුරාම මෙම කැබිනට් අනුකමිටුව මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදු කර එළැබෙන සතියේදී ඔවුන්ගේ තීරණය දැනුම් දිමට නියමිතය.
ඉන්දියාව නිසයි වරාය දියුණු වුණේ -ජනපති
කෙසේ නමුත් පසුගියදා වෘත්තීය සමිති සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම කණ්ඩායමට පවසා තිබුණේ නැගෙනහිර ජැටිය ආයෝජන ගිවිසුම ප්‍රකාරව සංවර්ධනය කරනු ලබන බවය. වෘත්තීය සමිති වෙතින් ඉදිරිපත් වූ යෝජනා මෙහිදී පිළිගැනීමට ලක්වූයේ නැත. ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ කලාපීය භූ දේශපාලනික තත්වය ගැන කල්පනා කරන ලෙසය. එසේම කළුතර වළල්ලාවිට පැවැති ගම සමඟ පිළිසඳර වැඩ සටහනේදීද ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කළේ ආයෝජන ගිවිසුම අනුව කටයුතු කරන බවය.
"රජයක්, තවත් රටක් සමග ගනුදෙනු කරන්නේ.. යූ.එන්.පී. එකයි තවත් රටකුත් සමග නෙමෙයි. ලංකා රජය සහ තවත් රජයක් සමගයි. රජයක් වෙනස් වෙලා තවත් රජයක් පත් වූ පසු එවැනි ගිවිසුම් එකවර අත්තනෝමතික ලෙස ඉවතට දැමීමට නොහැකියි. ක්‍රමවේදයකට සොයා බලා ඉවත් කළ යුතුයි. තවත් ඒවා පිළිබඳ සොයා බලා අපට ප්‍රයෝජනවත්නම් කරගෙන යා යුතුයි. එම නිසා දේශපාලනඥයන් ජනතාව නොමග යවන ආකාරයට කතා නොකළ යුතුයි. රටට අහිතකර එම්.සී.සී. ගිවිසුම නතර කළා. මත්තල ගුවන් තොටුපොළ අපි නතර කළ දේවල් ගැන දැන් කතාවක් නැහැ. ක්‍රමානුකූලව නතර කළා.
පසුගිය රජයේ ජනාධිපති ඉන්දීය අගමැති ඉදිරිපිට සාගල රත්නායක ඇමැති එරට නියෝජිතයන් සමග නැගෙනහිර ජැටිය පිළිබඳ අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් තියෙනවා. මේ හැම ගිවිසුමක්ම මම ආව ගමන් කරන්නේ නෑ කිව්වම වැරදි මතයක් යනවා. ඒක හොඳ නෑ. අපි නිදහස් රටක් අපි එක රටකට යටවෙලා කටයුතු කරන්නේ නෑ. රටක් ලෙස තනියම ජීවත්වීමට නොහැකියි.
නැගෙනහිර පර්යන්තය මගින් සිදුවන දේ පිළිබඳ කතා කරන්නේ නෑ. ප්‍රති අපනයන කටයුතු සිදුවන ස්ථානය. වැඩි ආදායමක් එන්නේ මේ මගිනුයි. දැනට සියයට 66ක් 70ක් පමණ සිදුවන්නේ ඉන්දියාවත් සමගයි. මෙතෙක් දියුණුවෙලා තියෙන්නේ ඉන්දියාව නිසයි.
ඉන්දිය අගමැතිතුමා හමුවෙලා කලින් අත්සන් කළ ගිවිසුම වෙනස් කරලා ව්‍යාපාර නැති කරගන්නේ නැතිව, බදුදීම හෝ විකිණීම හෝ සිදුනොකර ආයෝජනයක් සිදුකරනවා. අපේ රටේ සමාගමක් හදලා සියයට 51ක අයිතිය වරාය අධිකාරිය තියාගෙන ඉතිරි සියයට 49 ඉන්දීය සමාගමකටත් ජපාන සමාගමකටත්, ලංකාවේ සමාගමකටත් ආදි ලෙස ලබාදී ආයෝජනයක් යෝජනා කර තිබෙනවා.
මා බලයට පත්කිරීමට වැඩ කළ ස්වාමීන් වහන්සේලාත් මේකට විරුද්ධව කතා කරනවා. උන්වහන්සේලාට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා සමගත් අනෙක් අයත් සමගත් සාකච්ඡා කරන්න මම ඉතා කැමැතියි. වෘත්තීය සමිති සමග සාකච්ඡා කළා."
කවුරු විරුද්ධවූවත් ජැටිය ඉන්දියාවට දෙනවා
කොහොම නමුත් නැගෙනහිර ජැටිය ආයෝජන යෝජනාවට කැබිනට් අනුමැතියද මේ වන විට හිමිව තිබේ. මේ අතර රාජ්‍ය ඇමැති නිමල් ලන්සා කවුරු විරුද්ධවූවත් ජැටිය ඉන්දියාවට ලබාදීම වෙනුවෙන් වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් පවසා තිබිණි.
"අපි පැහැදිලිවම කියන්න ඕනෙ, නැගෙනහිර පර්යන්තය අපි ආයෝජන ව්‍යාපෘතියකට දෙනවා. හැංගි හොරා අපි කියන්නෙ නෑ අපි කෙළින් කියනවා. සමහර සංවිධාන ඉන්නවා මේ එක එක්කෙනාගෙ සල්ලි අරගෙන, එක එක්කෙනා වෙනුවෙන් කතාකරන අය ඩොලර් වලට.
ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනෙ, නැගෙනහිර පර්යන්තය ආපුවාම අපේ වරාය දැන් 25 වෙනි තැන ඉන්නවා නම් 13 වෙනි තැනට එනවා. මොකද ඉන්දියාව කියන්නෙ ප්‍රබල රාජ්‍යයක්. අපි පැහැදිලිවම කියන්නවා නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සඳහා අපි ඉන්දියාවෙ සමාගමටත් ජපානයටත් ලබාදෙනවා.
ඉන්දියාව විතරක් නෙවෙයි හෙට ඇමරිකාව ඉල්ලුවත් චීනය ඉල්ලුවත් ආයෝජන ව්‍යාපෘතිවලට ඕනෙම කෙනෙක් ලංකාවෙ අය ඉල්ලුවත් දෙනවා, මොකද එතකොට තමා කර්මාන්ත හැදෙන්නෙ. එක එක්කෙනාට බුරන්න ආවාට අපි ඒවාට බයේ තීන්දු ගන්න එක නවත්තන්නෙ නෑ !"
අමාත්‍ය නිමල් ලංසා මේ බව පැවසුවේ ඊයේ (24) කෙරවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
ආණ්ඩු පාක්ෂිකයාගේ විරෝධය
කොහොම නමුත් මෙම ගැටලුව නිසා රජය තවත් බරපතල අර්බුධයකට මැදිව තිබේ. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කළ බලවේග මෙම ජැටිය ඉන්දියාවට පැවැරීම සම්බන්ධයෙන් සිය විරෝධය සහ කනස්සල්ල පළකර තිබීම නිසා මෙම පියවර ගැනිම ආණ්ඩුවෙහි පැවැත්ම කෙරෙහි අහිතකරව බලපෑමක් සිදු කෙරෙණු ඇති බැවිනි.
පසුගිය යහපාලන යුගයේදී එනම් 2017 දී ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව ජපානය සහ ශ්‍රි ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡාව වත්මන් රජයටද සලකා බැලීමට සිදු විය. එහෙත් මුල් එකඟතා වෙනුවට නව එකඟතාවයන්ට වත්මන් පාලනය පැමිණි අතර ඒ අනුව මෙම ආයෝජනය ව්‍යාපෘතිය සිදු කිරීමට වත්මන් රජය එකඟ විය. ජනාධිපතිවරයා සහ ඉන්දිය අගමැතිවරයා අතර වූ සාකච්ඡාවලදී මෙම ගනුදෙනුව ඉක්මන් කරන ලෙසද ජනාධිපතිවරයා ඉන්දියාවෙන් ඉල්ලීමක් ද කර තිබිණි.
වරාය සභාපති දයා රත්නායක මාධ්‍යට පවසා තිබුණේ මුල් ගිවිසුම අහෝසි කිරීමේ හැකියාවක් තිබුණද මෙහිදී ඉන්දියාව තරහා කරගෙන එය සිදුකළ නොහැකි බවත්ය. කොහොම නමුත් මේ ආයෝජන ගිවිසුම රටට මුල්‍යමය අතින් අවාසිදායක බව හෝ වරාය සංවර්ධනයට හානියක් බව හෝ ඊට විරෝධය දක්වන පිරිස් වෙතින් මතුකර පෙන්වීමක්ද නැත.
දැන් ජාත්‍යන්තර ගැටලුවක්
මෙරට තුල චීනයේ ක්‍රියාකාරිත්වය කලාපීය දේශපාලන බලවතා වන ඉන්දියාවේ තිගැස්මට ලක්ව තිබීමත් ඒ සම්බන්ධයෙන් උනන්දුවන අමරිකාව ඕස්ට්‍රේලියාව සහ ජපානය, චීනය ඉන්දියන් සාගරය තුල ආධිපත්‍යය ඩැහැගැනීමට ගන්නා උත්සහයට එරෙහිව සිටීමත් නිසා නැගෙනහිර ජැටිය මේ වන විට ජාත්‍යන්තර ගැටලුවක් බවට පත්ව තිබේ.
මේ තත්වයන් සියල්ල මත වරාය නැගෙනහිර ජැටිය ගැන ගන්නා තීන්දුව වත්මන් රජයේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් බවට පරාවර්ථනය වීමට නියමිතව තිබේ. මේ නිසා රට අභ්‍යන්තරයෙන් නැගෙන විරෝධය මත පමණක් රජයට කටයුතු කිරීම අසීරුව තිබෙන බව ද පැහැදිලි කාරණාවකි.
අදානිට ඉන්දියාවෙනුත් විරෝධයක්
ඉන්දියාව තුලද මෙම නැගෙනහිර ජැටිය අදානි සමගමට පැවැරීමට ගෙන තිබෙන තීන්දුවට එරෙහිව දැඩි මතයක් ගොඩනැගෙමින් තිබේ. එම සමාගම සම්බන්ධයෙන් තිබෙන චෝදනා ඊට බලපා ඇත. විශේෂයෙන්ම ඉන්දියාව කලාපීය බලය වෙනුවෙන් නැගෙනහිර ජැටිය අත්පත් කරගැනීමට ගන්නා උත්සාහයට එකඟ නමුත් වත්මන් මෝඩි රජයේ හිතවතකු වීම පමණින් අදානි සමාගමට එය ලබාදීම සම්බන්ධයෙන් එම විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ අදානි සමාගම යම් ලෙසකින් බංකොලොත් වුවහොත් හෝ එම සමාගම ලබාගන්නා කොටස් චීනයට විකිණීමට හෝ පියවර ගතහොත් ඉන්දියාවේ දේශපාලනික අපේක්ෂා බිඳ වැටෙන බවය. වත්මන් අගමැතිගේ සමීපතම හිතවතකු වන ගෞතම් අදානිට අද එම රජයෙන් තිබෙන සැලකිලි වෙනත් රජයක යටතේ නොලැබෙන තත්වයන් තුල අදානි සමාගම නැගෙනහිර ජැටියට ආයෝජනය කිරීම ඉන්දියාවේ භූ දේශපාලනික වුවමනාව අවදානමකට ලක්වන නිසා ඒ වෙනුවෙන් වෙනත් රාජ්‍ය සමාගමක් යොදා ගතයුතු බව එම කණ්ඩායම් පෙන්වා දෙයි.
විරෝධයේ ඇත්ත
ජැටිය පිළිබඳ ගැටලුව වර්ධනය වී ඇති ආකාරය අනුව එම ගනුදෙනුව සිදුකිරීම වෙනුවෙන් රජයට කළමනාකරණය කරගැනීමට වඩාත් අවශ්‍යව ඇත්තේ රට අභ්‍යන්තරයෙන් නැගෙන විරෝධයය. එහිදීත් වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම වෙනුවෙන් මැදිහත් වූ කණ්ඩායම්ය. ඔවුන්ට සත්‍ය තත්වයන් තේරුම් කරදීම විය යුතුය. වෘත්තීය සමිති සම්බන්ධව වන ගැටළු විසඳා ගැනීමේ හැකියාවත් ආණ්ඩුවට තිබිය යුතුය. ඔවුන්ගේ මූලික ගැටළුව වන්නේ රැකියාව පිළිබඳ, ආදායම් පිළිබඳ ගැටළුව මිස වෙන කිසිවක් නොවේ. අවශේෂකාරණා ඇත්ත වුවමණාව උඩින් තවරණ අයිසිං තට්ටුක් බව මේ වෘත්තීය සමිති දේශපාලනය ගැන දන්නා කවුරුත් දන්නා දෙයකි.
පුරුද්දක් ලෙස ආණ්ඩුවලට එරෙහිවීම විපක්ෂයේ පිළිවෙත නිසා ඒවා ගැන එතරම් තැකිය යුතු නැත. එහෙත් විපක්ෂ කොටස් ආණ්ඩුවට හිතවත්ව සිටි කොටස් ආණ්ඩුවට එරෙහිව යොදා ගැනීම වෙනුවෙන් වන උනන්දුව පරාජය කළ යුතුය.
මේ අස්සේ ජැටිය ඉන්දියාවට දෙනවාට චීනය දක්වන දැඩි විරෝධය ගැන කතාව මඟහැරීම සිදුව තිබේ. චීනය රට අත්පත් කරගැනීමට දරණ උත්සාහය පිළිබඳ කතාව ද මඟහැරී තිබේ. ජැටියේ සටන පිටුපස චීනයේ අදිසි හස්තයන් ඇති බව නොතකා හැරියද නොහැක.
ජනපතිත් ආණ්ඩුවත් පාක්ෂිකයාත් එක මිටට සිටිය යුතුය.
එමෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ එනම් හවුල්කාරයන්ගේ තිබෙන තක්කඩි බල අරගලයන්ද මේ මොහොතේ ජනාධිපතිවරයාට පීඩනයක් එල්ල කරමින් තිබේ.ඒ ඔවුන්ට ලැබෙන බලය හා වරප්‍රසාද ගැන කේවල් කිරීමට පොටක් පාදාගැනීම වෙනුවෙන් බව මේ රටේ දේශපාලනය ගැන දන්නා කිසිවකුට රහසක් නොවේ.එහෙත් මේවා කලමනකරණය කරගැනීම සිදුවිය යුතුය. මේ බලපෑම්වලට යටත්වී වැරදි තීන්දු ගැනීමට සිදුවුවහොත් ඒ තත්වයන් ද පුරුද්දට යනු ඇත. පාලකයාගේ අභිලාශයන් අනුව රටක දියුණුව එක එල්ලේ කිරීම්ට බාධාකරනුද ඇත. පසුගිය යහපාලන යුගයේ ඊට උදාහරණ රැසක් ඇත. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පාක්ෂිකයාත් එක මිටට නොසිටියහොත් එහි බලය ලිහිල් වී ඕනෑම මොහොතක කඩා වැටීම සිදුවෙනු ඇත. අද ආණ්ඩුවට මෙරටිනුත් ජාත්‍යන්තරවත් එල්ල වී ඇති බලපෑම් හමුවේ මේ සමගිය අත්‍යවශ්‍යව තිබෙන බව නොතකා හැරිය නොහැකි ඇත්තකි.
ආණ්ඩුකරණය කියන්නේ තමන් බලයට පත් කළ කොටසේ සිතුම් පැතුම් මත පදනම්ව ඒ සිදු කිරීම නොවේ.රටේ අනෙකුත් ජන කොටස් වල වුවමණාවන්ට සාධාරණයක් කිරීම මෙන්ම ජාත්‍යන්තර දේශපාලනික බලපෑම් පවා වඩාත් නම්‍යශීලීව තනුක කරගෙන රටට වඩාත් වාසිදායක තීන්දුවලට එළෙඹීම විය යුතුය, කියන එක අපේ රටේ දේශපාලන ඉතිහාසයේ පාඩම් රැසක තිබෙන ඇත්තකි.
- සුජය