ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමේදීය.
ඒ සදහා මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පොරොන්දු වූ පරිදි වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
වතු කම්කරු ප්‍රජාව යනු රටේ ආර්ථිකයේ විශාලතම පංගුවක් දරන රටේ කොදුනරටියවන් ප්‍රජාවකි. මෙම වතුකම්කරු වැටුප් අර්බුදය අද ඊයේ නොව බොහෝ කලක සිට පැනනැගී ඇති උග්‍ර අර්බුදයකි. මෙම අර්බුදය තව දුරටත් කරලියට පැමිණෙන්නේ ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද පොරොන්දුවකිනි.එනම් වතු කම්කරු දෛනික වැටුප රු. 1000 දක්වා වැඩි කරන බවය. කෙසේ හෝ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි පළමුවනදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි. නමුත් එය මෙතෙක් නොකෙරුණු බොරු පොරොන්දුවක් බව පවසමින් පසුගියදා BBC වෙබ් අඩවිය දීර්ඝ ලෙස විවේචනාත්මක ලිපියක් පල කර තිබේ. එම ලිපිය මෙසේය ,
''වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබීම මහත් කතාබහට ලක්විණි. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරමින් පැවසුණේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළ බවකි. එහෙත් මෙතෙක් කිසිදු වතු කම්කරුවකුට රුපියල් 1000 ක දෛනික වැටුපක් හිමි නොවන බවට කම්කරුවන් මෙන්ම කම්කරු සංගම් ද චෝදනා කරති.
වතු කම්කරු නියෝජිත හා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ රුපියල් 1000ක අවම වැටුපක් ගෙවීමේ දේශපාලන යෝජනාව 2019 යේ සිට පැවතුනත් මෙතෙක් එය ඉටුවී නොමැති බවය.
"අපි ඉල්ලුවේ නෑ මේ රුපියල් 1000 ක අවම මුලික වැටුප. ඒක දේපාලන පොරොන්දුවක්. ජනාධිපතිතුමා තමයි මැතිවරණයේදී කිව්වේ 2020 ජනවාරි ඉඳලා ඒක ක්‍රියාත්මක කරනවා කියල පස්සේ ඒක අප්‍රේල් වල අලුත් අවුරුද්දේදී ක්‍රියාත්මක කරනවා කිව්වා දැන් අගමැති තුමා අයවැයේදී කිව්වා 2021 ජනවාරි පළමු වෙනීදා ඉඳලා ක්‍රියාත්මක කරනවා කියල. අද ජනවාරි 7 ඒත් තවම ඒක ක්‍රියාත්මක නෑ."
"අපිට මේ කර්මාන්තය ඕන. අපි මේ කර්මාන්තය කඩාවැටෙනවට කැමති නෑ. අපි ආර්.පී.සී (වතු සමාගම්) වලට බනින්නේ නෑ. රජය තමයි මේ පොරොන්දුව දුන්නේ. මේක දේපාලන පොරොන්දුවක්. එක නිසා රජය විසින් ඒ සමාගම් අපහසුතාවට පත් වෙන්නේ නැතිවිදිහට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒ සමාගම් වලට බදු සහන දීල, පොහොර සහනාධාර දීල, අඩු පොලියට ණය දීල වගා නොකරපු ඉඩම් නැවත වගා කරන්න දිරිමත් කරල මේ රුපියල් 1000ක අවම මුලික වැටුප ලබාදෙන්න කටයුතු කරන්න ඕන," යනුවෙන් වඩිවේල් සුරේෂ් පැවසීය.
රජයේ දේශපාලන පොරොන්දුවක් වූ අවම මුලික වැටුප 1000 දක්වා වැඩි කිරීම වෙනස් කරනු දැකීමට කම්කරුවන් දැන් එකඟ නැති බව ඔහු පෙන්වා දුන්නේය.
"මේ තේ දලු කඩන බහුතරයක් කාන්තාවන්. ඒ අයට සෞඛ්‍ය ගැටලු තියෙනවා. ඒ නිසා ඒ අයට සමහර වෙලාවට හැමදාම වැඩට එන්න බැරිවෙන්න පුළුවන්. එතකොට ඒ අයට ඇටෙන්ඩන්ස් එලවන්ස් (පැමිණීමේ දීමනා) එක හම්බවෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි කිලෝ ගානට ගෙවන එකේදිත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒව මට මේ මාධ්‍ය හමුවේ කියන්න බෑ. ඒ නිසා දීමනා එකතු කරන එකට එකග වෙන්න බෑ. දීමනා දෙනව නම් ඒ සමාගම් කැමැත්තෙන් දෙන්න පුළුවන්. ඒත් ඒක 1000 ට පිටින් දෙන්න. එකට ඉන්සෙන්ටිව් (දිරි දීමනා) දෙන එක සමාගම් වල වැඩක්. ඒ අය කැමති නම් ඒ අනෙකුත් දීමනා එකතුකරන්න පුළුවන්. එත් මුලික අවම වැටුප 1000ක් කරන්න ඕන."
සජිත් ප්‍රේමදාස සිය ජනපතිවරණ සටනේදී වතු කම්කරු දෛනික වැටුප රු. 1500 දක්වා වැඩිකරන බවට පොරොන්දු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය වසරේ පෙබරවාරි 14 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට තම ජන්ද සටනේදී පොරොන්දු වූ පරිදි වැටුප රුපියල් 1000ක් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර එය මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අනුමැති ගැනිණි. එහෙත් එතැන් සිට මාස 10ක් ගතවුවද එය තවමත් ක්‍රියාත්මක වී නැත.
"වතු කම්කරු ජනතාවට රුපියල් 1000ක දවසක වැටුපක් ලබාදෙන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමුන්ගේ මැතිවරණ කාලයේදී එතුමාම සෘජුව පොරොන්දුවක් ලබාදුන්නා. දැන් අවුරුද්දකට වැඩිය කාලයක් ගෙවිලා ඉවරයි. පසුගිය අයවැය අවස්ථාවේදී අගමැති තුමා අයවැය කතාවේදී ත් ඒ වගේම 1000 ක් ලබාදෙන්නම් කියල නැවත පොරොන්දුවක් ලබාදුන්නා. ඒ දෙන්නා එහෙම කියනකොට ඇමතිවරු මොකද කියන්නේ. අනේ කොම්පැනි කාරයෝ එකඟ වෙලා නෑ." සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍ය හමුවේ පැවසීය.
"අපිට පොරොන්දු ලබාදුන්නේ කොම්පැනි කාරයෝ නෙමෙයි අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමා. මම කියන්නේ නෑ මේ කර්මාන්තය මරාදමල කම්කරුවන්ට රුපියල් 1000 ලබාදෙන්න කියල. අපි දේශප්‍රේමී කණ්ඩායමක්. මේ කර්මාන්තය දියුණුවෙන්න ඕන. කර්මාන්තයේ අඩුපාඩු හොයල බලල දියුණුවෙන්න ඕන වෙන බදු සහන දීලා ඒ හරහා කම්කරුවන්ට රුපියල් 1000 ලබාදෙන්න කියල තමයි අපි කියන්නේ."
වතු කම්කරුවෙක්
ජනාධිපතිවරයා වසරක ඉටුකරන ලද කාර්යයන් අතරට රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්හට ලබාදීමට හැකි වූ බව ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශ කරනු ලබා තිබුණි. වතු කම්කරු වැටුප වැඩිවීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පසුගිය අයවැයෙන් අගමැතිවරයා යෝජනා කර තිබුණද මෙතෙක් එම නීති සංශෝධනය කර නොමැති බවට කම්කරු අමාත්‍යාංශය පැවසීය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ සේවකයන්ගේ හා හාම්පුතුන්ගේ (සේවායෝජකයන්ගේ) එකඟත්වයෙන් සුහදව මෙම ප්‍රශ්නය විසදීම සඳහා සාමුහික ගිවිසුමකට එළැඹීමට දැනටමත් සාකච්ඡා වට කිහිපයක්ම මේ වන විටත් පවත්වා ඇති බවය.
"කම්කරුවාගේ අතට රුපියල් 1000ක් එන ක්‍රමයක් සැලැස්වීම තමයි මගේ අභිප්‍රාය වෙන්නේ. ඉතින් ඒකට අපි හදිස්සි වෙන්න ඕන නෑ. අපි මෙච්චර කල් හිටිය, තව දවස් කිහිපයක් යනකොට අපිට පුළුවන් වෙයි."
"කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නිෂ්පාදකයාත් ආරක්ෂා උනොත් පමණයි. අද ලෝකයේ වෙළෙඳපොළේ තියෙන තේ මිල අපට තියෙන තරඟකාරිත්වය, ඉන්දියාව සමඟ, කෙන්යාව සමඟ, මේ වගේ කරුණු රාශියක් හොයල බලන්ට ඕන. එක පාරට රුපියල් 2000ක් වැඩි කළා කියමු එතකොට නිෂ්පාදන වියදම වැඩි උනාම ඒ නිශ්පාදන වියදමට සරිලන මිලක් ලෝක වෙලඳපොලේ ලැබෙන්නේ නැතිනම් කොහොමද අපි මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ. කර්මාන්තය විනාශ කරගෙන අපිට පඩි ලබාදෙන්න පුළුවන් කමක් නෑ." යනුවෙන් අමාත්‍ය සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ සමතුලිතතාවය රුපියල් 1000 හේ පඩිය මත ලබාදිය හැකිය කියල අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ සඳහා රජය පෙනී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් අපි ගන්නවා. නමුත් ඒ ක්‍රියාමාර්ගයන් ගත යුත්තේ ජාතික ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදිහට ජාතික ආර්ථිකයත් රැක ගනිමින්." යැයි අමාත්‍යවරයා කියා සිටියේය.
හාම්පුතුන්ගේ සම්මේලනය (ලංකා සේව්‍ය සම්මේලනය) කම්කරු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඦාවලදී සඳහන් කර තිබුණේ වැටුප් වැඩි කිරීමට නම් වතු කම්කරුවන් දෛනිකව අතිරේක දලු කිලෝ දෙකක ප්‍රමාණයක් ලබාදිය යුතු බවය.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරයි බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ තමන් රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදීමට පොරොන්දු නොවූ අතර එසේ රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාදීම කර්මාන්තයට දරාගත නොහැකි බවය.
"ඕනෑම කර්මාන්තයක්, තේ කර්මාන්ත විතරක් නෙමෙයි බිස්කට් කර්මාන්තය උනත් අදායමට වඩා වියදම් කරන්න බෑ නේ, අපේ කට්ටිය (දවසකට) කිලෝ 30-40 කට වඩා කඩනවා. අනිවාර්යයෙන්ම රුපියල් 1000 කට වඩා හම්බ කරනවා. අපි කියන්නේ රුපියල් 1000ක් දෙනවා, දිරි දීමනාවයි ඵලදායිතා දීමනාවයි එක්ක රුපියල් 1000ක් හැමෝටම (දැනටමත්) හම්බකරන්න පුළුවන්."
"පැය හතරක් ගලක් උඩ වාඩිවෙලා ඉන්නවට රුපියල් 1000 ක් ගෙවන්න බෑ. අපේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න ඕන නේ. දැන් තේ මිල බලන්න 2020 අග වෙනකොට high grown tea price (උඩරට තේ මිල) එක රුපියල් 578 යි. 2018 වෙනකොට ඒක 620යි. ඒක 620 ඉඳලා 578 ට බැහැල තියෙනවා. එතකොට අපිට මිල පිළිබඳව කිසිම පාලනයක් නෑ. පඩි පිළිබඳව පාලනයක් නෑ, ඒක ආණ්ඩුවෙන් පාලනය කරනවා කියල කියනවා.," යනුවෙන් රාජදුරයි පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ තම කර්මාන්තයේ නිෂ්පාදන වියදමෙන් සියයට 70ක් පමණ කම්කරු වැටුප් බැවින් රුපියල් 1000 ක වැටුපක් ලබාදීමට නම් කම්කරුවන් කාර්යක්ෂම විය යුතු බවය.
ඔහු පැවසුවේ වෙනත් රටවල කම්කරුවන් අවම කිලෝ 35ක තේ දළු ප්‍රමාණය දෛනිකව නෙලන අතර කෙන්යාවේ එම ප්‍රමාණයට මේ වන විට ගෙවන දෛනික වැටුප ලංකාවේ මුදලින් රුපියල් 450 ක් වන බවකි. ලෝකයේ වැඩිම වැටුප් ගෙවන තේ කර්මාන්තය ඇත්තේ ලංකාවේ වුවත් අඩුම කාර්යක්ෂමතාවයක් ඇති රට ද ශ්‍රී ලංකාව බව ද ඔහු සඳහන් කළේය.
තේ දලු තෝරන කාන්තාවන්
"අපේ තේ වලින් සියයට 95ක් ම විකුණන්නේ ලෝක වෙළෙඳපොළේ. අපි ලංකාවේ විකුණන්නේ නෑ නේ. අපිට අඩුම ගානේ නිෂ්පාදන වියදමවත් හොයාගන්න බැරිනම් කොහොමද අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ," යනුවෙන් රොෂාන් රාජදුරයි ප්‍රශ්න කළේය.
ආණ්ඩුවෙන් පාලනය වන වතු ප්‍රමාණය 27කි. ඒවායේ රුපියල් බිලියන 3ක පමණ, සේවක අර්ථසාධක හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට ගෙවිය යුතු හිඟයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ රුපියල් 1000ක වැටුප නොගෙවන වතු සමාගම් රජයට පවරා ගන්නා බවකි. ප්‍රතිචාර ලෙස වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරයි පවසන්නේ වතු හාම්පුතුන්ට වැයවූ මුදල් ගෙවා රජයට නැවත එම වතු සමාගම් පවරාගත හැකි බවය.
"1992දි වතු පෞද්ගලිකරණය කරන්න ඉස්සල්ල ආණ්ඩුවෙන් මේ වතුවලට අවුරුද්දකට බිලියන පහක subsidy (සහනාධාරයක්) එකක් දුන්නා එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න. ඒ මදිවට රුපියල් බිලියන තුනක ණයක් තිබුණා. මේක අදට ගැලපුවහම රුපියල් බිලියන 40ක්. එතකොට අපි ආණ්ඩුවෙන් බිලියන 40ක බරක් අයින් කරලා තියෙනවා," යැයි ඔහු බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
"ඒ දවස්වල බිලියන පහක් කියන්නේ රටේ සම්පුර්ණ ආහාර ආනයන වියදම හා සමාන වියදමක් රටේ වතු කර්මාන්තය නඩත්තු කරන්න වියදම් කරන්න උනා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේක පෞද්ගලිකරණය කරන්න උනේ මේක දරාගත නොහැකි වියදමක් උන නිසා. එදා ඉඳලා අපි බිලියන 80ක් විතර ආයෝජනය කරලා තියෙනවා. මේ හැම කොම්පැනියක් ම සල්ලි දීල ගත්තේ. නිකන් ගත්තේ නෑ නේ. අඩුම ගානේ මිලියන 350ක් වත් ගෙවල තමයි අරගෙන තියෙන්නේ."
"අපි බදු ගෙවනවා, ලීස් රෙන්ටල් එක ගෙවනවා. ආණ්ඩුවට බරක් නෑ. මිලියනක පුද්ගලයන් ප්‍රමාණයක් අපි නඩත්තු කරනවා. රස්සා දෙනවා. දැන් සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා, ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටුණා.එත් අපි වැඩ නැවැත්තුවෙත් නෑ කිසිම කෙනෙක් අයින් කලෙත් නෑ. ඉතින් ඕනෑම කර්මාන්තයකට දරාගන්න පුළුවන් පඩියක් තමයි අපිට එකඟ වෙන්න පුළුවන්." යනුවෙන් එම ලිපියේ සදහන්ව ඇත.
නමුත් ඊයේ පස්වරුවේ පැවතී කැබිනට් රැස්වීමේදී අදාළ අමාත්‍යවරුන් හට උපදෙස් ලබා දෙමින් වතු කම්කරු වැටුප 1000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබීම මේ සම්බන්ධයෙන් නැගෙන චෝදනා වලට පිළිතුරක් ලෙස සැලකිය හැකිය.
-පංචාලි අබේසේකර