වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරින් හා විශේෂ කාර්ය බළකාය සම්බන්ධ කරගනිමින් මෙම බළකාය පිහිටු වේ.
මෙම කටයුත්ත සඳහා පොලිස්පතිවරයාද එකඟ වූ බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
කැලෑ කැපීම, වන සතුන් දඩයම මෙන්ම රක්ෂිත භූමි අනවසරයෙන් අත්පත්කර ගැනීම නතර කිරීම සඳහා ගන්නා ඉදිරි පියවර පිළිබඳ වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක, ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
ගංජා ආදී නීති විරෝධී වගාබිම් වටලා එම වගා විනාශ කිරීමෙන් පසු එම භූමිවල වන සතුන් සඳහා භෝග වගා කිරීමටද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර එම කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහයෝගය ලබා ගැනීමටද තීරණය වී තිබේ.
වන අපරාධ අවම කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම වනජීවී හා වන සංරක්ෂණ කමිටුවක් පිහිටුවීමටද නියමිතය.
මේ අතර ගොවීන්ගේ වගා ඉඩම් සම්බන්ධ ඉල්ලීම්වලට මුවාවී වනාන්තර එළි පෙහෙළි කරනු ලබන ජාවාරම්කරුවන්ට එරෙහිව වහාම කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.
පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා ගමින් ගමට ගොස් අහිංසක ජනතාවගේ කුඹුරු ඇතුළු ඉඩම් සම්බන්ධව තිබෙන ගැටලු විසඳීමේදී ඇතැම් ජාවාරම්කරුවන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පරිසරය විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින බවද පරිසර ඇමැතිවරයා සඳහන් කළේය.
රටට අවශ්‍ය දෑ මෙරට තුළම නිෂ්පාදනය කිරීම සඳහා රජය විසින් ජනතාව උනන්දු කරමින් සිටින බවත්, ඒ නිසා බොහෝ දෙනෙකු වගා කටයුතු කිරීමට දැන් උනන්දුවක් දක්වන බවද ඇමැතිවරයා කීවේය.
පරිසරය වනසන ලද පුද්ගලයන් රැසකට පසුගිය දිනවල නීතිමය කටයුතු කර ඇතැයිද පරිසර ඇමැතිවරයා පැවසුවේය.