පාස්කු ත්‍රස්ත කල්ලිය මද්‍රසා පාසල් දරුවන්ට ලබා දුන් අවි පුහුණුව

Published in පුවත්
Friday, 19 February 2021 10:42

පාස්කු බෝම්බකරුවන් සමග සබඳතා පැවැත්වීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මෙම මාර්තු 03 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (18 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.

සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා කර ඇතැයි කියන වරදවල්වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (17 වැනිදා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක විදුහල්පති සලීම් ඛාන් මොහොමඩ් ෂකීර් නමැත්තා ද මෙම මාර්තු 03 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

පස්කු ඉරුදින කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද බෝම්බකරු ඇතුළු ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම, පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් කිරීම යන චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා ඉකුත් 2020 අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එදින සිට ඊයේ (18 වැනිදා) දක්වා සැකකාර හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත මාස 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කරන ලද පිටු 1200කින් සමන්විත විමර්ශනයේ උදෘත නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පෙරේදා (17 වැනිදා) දින උපදෙස් දුන්නේය.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත නීතිඥ හිජාස් හිස්බුල්ලාද පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවටගත් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (18 වැනිදා) පසුවරු 5.00ට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවසීය.

මෙම සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කරනවා.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම අල් සුහාරිය මද්‍රසා පාසලේදී අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීමට සම්බන්ධ වී තිබෙනවා. එම පාසලේ දරුවන් 56 දෙනකුට ඉගැන්වීම් කටයුතු කර තිබෙනවා. එම දරුවන් අතරින් 26 දෙනකු කොළඹ සිට පුත්තලමට රැගෙන ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මට්ටක්කුලිය ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශවල දරුවන් එලෙස රැගෙන ගොස් තිබෙනවා. එම දරුවන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදිවලට සහ මානසික වශයෙන් පීඩාවට පත් වූ අය බව අනාවරණය වී තිබෙනවා. එම නිසා මෙම සැකකරුවන් එවැනි මානසික තත්ත්වයක සිටින අය සූක්ෂ්මව තෝරාගෙන තිබෙනවා.

සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා සේව්ද පර්ල් නමැති සංවිධානයේ සභාපතිත්වය දරනවා. එම සංවිධානය මගින් එම මද්‍රසා පාසලට පූර්ණ අනුග්‍රහය දක්වා තිබෙනවා. එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට මසකට රුපියල් 4000 බැගින් ද භාරකරුට රුපියල් 60000 බැගින්ද ගෙවා තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

මෙම මද්‍රසා පාසලේ දරුවන්ට ආගම ඉගැන්වීමේ මුවාවෙන් යම් අන්තවාදී ක්‍රියාකාරකම්, ගිනි අවි පුහුණුව, බෝම්බ ගැන දැනුම සහ ප්‍රායෝගික පුහුණුව පවා ලබාදී තිබෙනවා. මෙම පාසලේ ඉගෙනුම ලැබූ සියලු දරුවන් වයස අවුරුදු 05 සිට 17 දක්වා අතර අයයි.

මෙම දරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් ප්‍රකාශයන්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වුණා. එක් දරුවකු ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා සර් ආපු වෙලාවක එහි සිටි අයෙක් මේ සර් ලෝයර් කෙනෙක්. ඔහුට මඩකලපුවේ යුනිවසිටි එකක් තියෙනවා කියලා අපිට වීඩියෝ පටියක් පෙන්නුවා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා නමැති සැකකරු එම මද්‍රසා පාසලට පැමිණි අවස්ථාවක ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයක වීඩියෝ දර්ශනයක් එලෙස දරුවන්ට පෙන්වා තිබෙනවා. ඊශ්‍රායලයේ කිතුනුවන් මුස්ලිම් පල්ලි පාලනය කරන බවත් ඔවුන් බිය ගැන්විය හැකි එකම ක්‍රමය මෙරට කිතුනුවන්ගේ පල්ලිවලට පහරදීම යැයි ඉගැන්වූ බවත් එක් දරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු​ව හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය එල්ල කරන සියලුම බෝම්බකරුවන් මෙම මද්‍රසා පාසලට පැමිණ දේශන පවත්වා තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වුණා. පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද කණ්ඩායමේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වූ නවුෆර් මවුලවි 2018 දෙසැම්බර් මාසයේදීද මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ සහරාන් හෂීම් පාස්කු ප්‍රහාරයට තෙමසකට පෙර එනම් 2019 ජනවාරි මාසයේදීද මෙම පාසලට පැමිණ අන්තවාදී දේශන පවත්වා තිබෙනවා.

ආගම බේරා ගැනීම සඳහා සටන් කිරීමට ධෛර්ය ඇත්තේ කාටදැයි සහරාන් හෂීම් එම දේශනාවලදී දරුවන්ගෙන් විමසූ බව එක් දරුවකු විසින් ලබාදුන් සාක්ෂියෙන් අනාවරණය වී තිබෙනවා.

පාස්කු ඉරුදින කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමඩ් අසාම් මොහොමඩ් මුඛාරක් නමැත්තා අදාළ මද්‍රසා පාසලේදී 2019 පෙබරවාරි මාසයේදී හමුදා පුහුණුවක් පවත්වා ඇති බවත් අනාවරණය වී තිබෙනවා. සහරාන් හෂීම් නමැත්තාගේ සහෝදරයකු වූ රිල්වාන් හෂීම් අවස්ථා කිහිපයකදී මෙම මද්‍රසා පාසලට පැමිණ බෝම්බයක් සහ තුවක්කුවක් ගලවා පෙන්වමින් ගිනි අවි පුහුණුවක් ලබාදී තිබෙනවා.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා නීතිඥ හිජාස් හිස්බුල්ලා සභාපති ධුරය දැරූ සේව් ද පර්ල් ආයතනයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබෙනවා. ඉබ්‍රාහිම් ඉන්සාෆ් නමැති ප්‍රහාරකයා එම සංවිධානයට මදුරන්කුලිය ප්‍රදේශයෙන් පර්චස් 108 ඉඩමක් මිලදීගෙන ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වුණා. ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද විමර්ශනයක් පවත්වනවා. සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා සන්තකයේ ජංගම දුරකථන 09ක් තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට මෙතෙක් ගෙන ඇත්තේ ඉන් 02ක පමණයි. මෙම සැකකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා.

එම කරුණු පිළිබඳව ලබන මාර්තු 03 වැනි දින සලකා බලන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් එදින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.

-අරුණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us