ව්‍යසනයේදී කැප වී ක්‍රියාකළ මේ කණ්ඩායම අපට කිසිසේත් අමතක කරන්න බැහැ.
සියළු පාර්ශවයන් ගෙන් මම මේ මොහොතේ ඉල්ලා සිටින්නේ තමන්ගේ කෘතඥතාවය මෙම පිරිසට දක්වන ලෙසයි. ගෙවුනු කාලය තුළදී ඔවුන් අඛණ්ඩව කැපවී ක්‍රියාකළ නිසා අපේ සෞඛ්‍ය සේවකයන් අද වෙහෙසට පත්ව සිටිනවා. එය තවදුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යාම භයානයකයි.
එතනට ගමන් කිරීම තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීම ඇරඹෙනවා. එය “The Health Sector has Reached its Tipping Point” ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මොවුන් ආරක්ෂා කරගත හැකි එකම මාර්ගය හැමෝම පිළිගන්නා වෙනස් නොවන පොදු ප්‍රතිපත්ති මාලාවක් සැකසීමයි. එවැනි පොදු සැලසුමකින් පමණයි අපට මේ තත්ත්වය නවතා ගත හැකි වන්නේ.
පළමුවෙන්ම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. තවමත් ආණ්ඩුව වෛද්‍ය උපදෙස් සම්පූර්ණයෙන් පිළිගන්නා බවක් පෙනෙන්නට නැහැ. නමුත් මැලේසියාව වෛද්‍ය උපදෙස් ලද සැනින් දින 14 ට රට වහන්න තීරණය කළා.
ඒ වගේම අපේ රටට අවශ්‍ය එන්නත් සංඛ්‍යාව තවම ලැබී නැහැ.
සෞඛ්‍ය ඇමතිනිය ඉකුත් නොවැම්බර් මස එන්නත් ලබාගන්න ගිවිසුම් අත්සන් කරනා බව කී විගස ෆයිසර් එන්නත් සමාගම සිය යෝජනා ඉදිරිපත් කළා. නමුත් එය ක්‍රියාත්මක වුනේ නැහැ.
අවාසනාවකට එන්නත්කරණය ගැන රජයේ අවධානය යොමු වුනේ මාස 7 ක් ගියාට පසුවයි. මෙය විශාල අපරාධයක්.
අපට දැන් එන්නත මිළදී ගන්නවා නම් එය කිරීමට සිදුව ඇත්තේ සමාගමේ බලයලත් නියෝජිතයකුගෙන් පමණයි. මොකද තවත් පිරිසක් එන්නතෙන් අතිරේක මුදලක් උපයාගන්නත් බලාගෙන ඉන්නවා. එන්නත්කරණය අතරමැදියන්ට මුදල් උපයාගත හැකි අවස්ථාවක් බවට පත් නොකරන්නැයි මම රජයෙන් ඉල්ලා සිටිනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ටත් එන්නත දෙන්න අවසරය දී තිබෙනවා. අපත් අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත් දෙනවා නම් ලංකාවට අවශ්‍ය එන්නත් සංඛ්‍යාව කෝටි තුනේ සිට තුනහමාර දක්වා වැඩි වෙනවා. එතනට අප යා යුතුයි.
එන්නත් අතිරික්තයක් තිබුණු රටවල් එම අතිරික්ත තොග ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයට දෙන්න තීන්දු කර තිබෙනවා. අවුරුදු 12 ට වැඩි දරුවන්ටත් දෙන්න අවසරය ලද නිසා ඔවුන් කොවැක්ස් ආයතනයට දෙන එන්නත් සංඛ්‍යාව තවත් අඩුවේවි. එවැනි තත්ත්වයක් යටතේ අප රටේ සමස්ත පුරවැසියන්ට එන්නත් දී අවසන් කිරීමට ලබන වසර අග පමණ වෙතැයි පුරෝකතනය කර තිබෙනවා.
එන්නතේ පළමු මාත්‍රාව සේම දෙවෙනි මාත්‍රාවත් දී අවසන් කළ යුතුයි. එලෙස එන්නත සියල්ලන්ටම දී අවසන් වන තෙක් රෝග ව්‍යාප්තිය පාලනයට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් රජයට නිසි වැඩපිළිවෙලක් පැවැතිය යුතු වෙනවා. මෙම වෛරස ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. ඒ උපදෙස් අපි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නැහැ.
දකුණු කොරියාව කෙලෙස ද මෙය පාලනය කළේ, එංගලන්තය දෙවෙනි වටයෙන් පසු රෝගය කෙසේද පාලනය කළේ කියන කාරණා අපට උදාහරණයට ගන්න පුළුවන්. එවැනි සැලසුම් අනුව තමයි අප කටයුතු කළ යුතු වන්නේ.
තෙවෙනුව අපි අනාගතය ගැනත් බැලිය යුතුයි. කොවිඩ් මර්දනය කිරීමට අවශ්‍ය ඖෂධ මෙතෙක් සොයා ගෙන නැහැ. කොවිඩ් රෝගයට ස්ථිරසාර ඖෂධයක් සොයා ගන්නා විට 2024 පමණ වේවි කියා සමහර විශේෂඥයන් පුරෝකථනය කරනවා. එම තත්ත්වයට මුහුණ දෙන්නත් අපි සුදානම් විය යුතුයි.
මෙම කාලය තුල ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ගැනත් අපි සිතිය යුතුයි. අහාර පාන මිලදී ගත නොහැකි ලොකු පිරිසක් රටේ ඉන්නවා. ඒ වගේම ආදායම් මාර්ග අහිමි වූ විශාල පිරිසකුත් සිටිනවා. ඒ ගැනත් අවධානය යොමු කිරීම අවශ්‍යයි.
රෝගීන් පරීක්ෂා කිරීමට අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍ර, ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෙන්ටිලේටර්ස් මෙන්ම ඔක්සිජන් ද ලබාගන්න සිදු වෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩි කරන්න වෙනවා.
කොවිඩ් පර්යේෂණ කටයුතු වෙනුවෙන් ඇති වෛද්‍ය පර්යේෂණායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය තව තවත් ශක්තිමත් කළ යුතුයි. වෛරසවේදයට අදාළ පර්යේෂණ වෙනුවෙන් තවත් රසායනාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය යි.
කොළඹ, පේරාදෙණිය, රුහුණ, යාපනය, රාගම විශ්වවිද්‍යාලයන් හි වෛද්‍ය පර්යේෂණාගාරවල දැනට පවතින උපකරණ, පහසුකම් තවත් වැඩිදියුණු කළ යුතුයි. ඉන් අපට කොවිඩ් මර්දනයට අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කර ගත හැකි වේවි.
කොවිඩ් වෛරසයේ කලාපීය තත්ත්වය ගැන වැඩියෙන්ම පර්යේෂණ කරන්නේ ඉන්දියාවයි. ඊට අමතරව මහා බ්‍රිතාන්‍ය හා චීනය ඇතුළු රටවල් කිහිපයක් ලෝක තත්ත්වය ගැනත් පර්යේෂණ කරනවා. මේ සියළු පර්යේෂණායතන සමඟ එක්ව අපට වැඩකරන්න වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නම් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සමඟ එක්ව මේ පර්යේෂණ කරන්න අවශ්‍ය සම්බන්ධතාවය ගොඩනගාගෙන සිටිනවා.
වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී දැන් සැකසිය යුතුයි. වෙන කිසිවෙකුට මෙය සැකසීමට දිය යුතු නැහැ.
කැබිනට් මණ්ඩලය මූලික වී සකසන මෙම කෙටුම්පත සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමඟ හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමඟ සාකච්ඡා කොට ඔවුන් ගේ අදහස් යෝජනා ත් අරගන්න. විපක්ෂයේ සියළු පක්ෂත් යෝජනා ලබාදී ඊට උදව් කරන්න. ඉන්පසු වෛද්‍ය ක්ෂේත්‍රයේ අය සමඟත්, ව්‍යාපාරිකයන් ඇතුළු විද්වතුන් සමඟත් මේ ගැන සාකච්ඡා කිරීම වැදගත් බවයි මගේ අදහස.
සියළු දෙනා එකතුව සාකච්ඡා කිරීමෙන් පසු මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය හැකි වෙනවා. වසංගත පාලනයට අවශ්‍ය නීතිත් මේ යටතේ සම්මත කරගත හැකියි. නමුත් අද වන තෙක් අපි වසංගතය පාලනය වෙනුවෙන් කිසිදු නීතියක් සම්මත කර නැහැ. ලෝකයේ අනෙක් රටවල් අවශ්‍ය නීති සම්පාදනය කරලා ඒවා ක්‍රියාත්මක කරමින් සිටිනවා.
වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක් සකස් කරමු. එවිට ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කිරීමේ උදාර අරමුණ ඉටු වේවි.