එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරන්නේ මෙම සියලු තත්ත්වයන් තුළ අප රටේ ආර්ථිකයද බරපතල ලෙස කඩා වැටෙමින් තිබෙන අතර අද වන විට රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 300ක් දක්වා හැකිලී තිබෙන බවයි.
සාධාරණය සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සම්පූර්ණ නිවේදනය,
අද වන විට අපේ රට පවතින්නේ ඉතාමත් බරපතල අනතුරක් අභියසය. රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ දැවැන්ත අවධානමකට මුහුණ දී තිබෙනවා. ඒ අතර කොවිඩ් වසංගතය මුළු මහත් රටම වෙලාගනිමින් පවතිනවා. එවැනි භයානක තත්වයකට රට ඇද වැටී ඇති පසුබිමක පාලකයන්ගේ අත්තනෝමතික, හිතුවක්කාරී තීරණයක ප්‍රතිපලයක් ලෙස රටේ කෘෂිකර්මාන්තය ද කඩාවැටෙන තත්වයක් ඇතිවෙලා. මෙම තත්වය කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් අද ගොවියන්ට වගා කරන්නට පොහොර නෑ. ධීවරයා අසරණ කරලා. රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය දවසින් දවස කඩාවැටෙමින් පවතිනවා. දරුවන්ට අධ්‍යාපනය ලබන්නට හැකියාවක් නොමැති වෙලා. සමස්ත රාජ්‍ය සේවයම අකර්මන්‍ය වෙලා.
ඒ නිසා රට මුහුණ පා ඇති මෙම අවාසනාවන්ත තත්වයෙන් මුදවාගැනීමේ වගකීම අප සියලු දෙනාගේම කර මත පැටවී තිබෙනවා. එම කරුණු සැලකිල්ලට ගනිමින් ජනතාව දැනුවත් කිරීම අප සතු වගකීමක් ලෙස සලකනවා.පාලකයන් මේ පිළිබඳව සිය අවධානය බලවත් ලෙස යොමුකළ යුතුයි. පක්ෂ, ජාති, ආගම් ආදී සියලුම පටු බේද නොසලකා හරිමින් රටේ අනාගත යහපත උදෙසා සියළුම පාර්ශව එක්සත් කරමින් විධිමත් හා පැහැදිලි ක්‍රියාමාර්ග වෙත යොමුවිය යුතුය.පසුගිය මාස ගණනාව තිස්සේම අප පුන පුනා ප්‍රකාශ කළ පරිදිම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ සමස්ත බලය එක් පුද්ගල හස්තයක් යටතට යොමුකරගෙන තිබෙනවා. ඒ නිසා රටේ සමස්ථ ප්‍රජාතන්ත්‍රීය ආයතන පද්ධතියම බිඳවැටී තිබෙනවා. රට බරපතළ වසංගතයකට මුහුණදී තිබියදීත් අඩුම වශයෙන් එයට හෝ සාර්ථකව මුහුණදීමට නොහැකි වී ඇත්තේ ඒ නිසයි.
මෙවැනි ව්‍යසනයක් හමුවේ පවා බල අහංකාරය ඉවත්කරගන්නට සූදානම් බවක් පෙනෙන්නට නැහැ. අවම වශයෙන් වසංගත රෝග විශේෂඥයන්ගෙන් පවා නිසි ප්‍රයෝජනයක් නොගෙන තනි මතයට වැඩකරන බවක් පෙනෙන්නේ ඒ නිසයි. ලංකාවේ පමණක් නොව ලංකාවෙන් පිටත ජීවත්වන විද්වත් ප්‍රජාව මෙවැනි මොහොතක රටට උදව් කරන්නට සූදානමින් සිටින බව අප හොදින්ම දන්නවා. නමුත් රටක් ලෙස අප ඔවුන්ගෙන් පවා නිසි ප්‍රයෝජනයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඒ කෙසේ නමුත් දැන්වත් අප යතාර්ථයට මුහුණදිය යුතුව තිබෙනවා. ඒ නිසා මෙම වසංගතය මැඩලීම සඳහා දැන්වත් සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන විශේෂඥයන් මූලික කරගන්නා සිවිල් යාන්ත්‍රණයකට එම කටයුත්ත භාරකළ යුතුව ඇතයි අප විශ්වාස කරනවා. හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වියයුත්තේ එම යාන්ත්‍රණයට අනුබද්ධවයි.
ඔවුන් ලබා දුන් සේවය අපි අගය කරනවා. රට මිලිටරිකරණය කිරීමෙන් වසංගත රෝග මර්දනය කරන්නට බැහැ. එවැන්නකින් සිදුවන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස දුර්වල කිරීම පමණයි.ඒ නිසා අප නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ රටේ ජනතාවගේ ජීවිත සමග සූදු කෙළිමින් රටත් ජනතාවත් අනතුරේ නොහෙලන ලෙසයි. රට මුහුණ දී ඇති අවදානම අවතක්සේරු නොකරන ලෙසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් වාර්තා කරන ලද මරණ 45 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මේ දක්වා රටපුරා වාර්තා වී ඇති මරණ 2814 ක්. ඊයේ දිනය තුළ වාර්ථාවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1917 ක් පමණ වෙනවා. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 248050 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය භයානක තත්වයක්.මෙවැනි පසුබිමක් තුළ පසුගිය 21 වනදා සංචරණ සීමා ඉවත්කිරීම ගැන රට පිළිගත් විද්වතුන් ගණනාවක්ම සිය විරෝධය පළකර තිබෙනු අප දුටුවා. ඇතම් ප්‍රධාන මාධ්‍ය, රජයේ මෙම තීරණය හඳුන්වාදී තිබුණේ ආත්ම වංචාවක් ලෙසටය.
ඒ නිසා රජය මේ පිළිබදව බලවත් අවධානයක් යොමුකල යුතුය. ඒ අනුව වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ද ඇතුළත් කරගන්නා සිවිල් යාන්ත්‍රණයකට කොවිඩ් මර්දන ක්‍රියාවලිය භාරදෙන ලෙස සංවිධානයක් ලෙස අප බලවත් වුවමනාවකින් යුතුව ඉල්ලා සිටිනවා. හමුදාවට ද මෙහි කාර්‍යභාරයක් තිබෙනවා.මේ අතර පූර්ව සැලසුමක් හා කෘෂිවිශේෂඥයන්ගේ නිසි තක්සේරුවකින් තොරව පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති අත්තනෝමතික තීන්දුව රටේ සමස්ත කෘෂිකාර්ම ක්ෂේත්‍රයම විනාශය මුඛයට තල්ලු කළ හැකි හේතුවක් වී තිබෙනවා. අද වගා කිරීමට අවශ්‍ය පොහොර නොමැති කමින් රට පුරා ගොවියන් බලවත් අසීරුතාවයකට පත්කර තිබෙනවා.
රජයේ මෙම අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා රටේ සමස්ත කෘෂි නිෂ්පාදනය අවම වශයෙන් 40%න් හෝ පහත වැටෙනු ඇතැයි විද්වතුන් මත පළ කර තිබෙනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. එවැන්නක් සිදුවුවහොත් රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ ලෙස බිඳ වැටිය හැකිය. විශාල ආහාර අහේනියක් ඇතිවීමේ අනතුර නිසා ජනතාව බරපතළ දුෂ්කරතාවයන්ට පත් විය හැකිය. එමෙන්ම එවැනි තත්ත්වයක් නිර්මාණය වීමෙන් රට පුරා ලේ හැලෙන විරෝධතාවයක්ද මතු විය හැකිය. ඒ නිසා මෙම කාරණයට අදාළව අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත සමග සූදු නොකෙළින ලෙසයි. මෙම සියලු තත්ත්වයන් තුළ අප රටේ ආර්ථිකයද බරපතළ ලෙස කඩා වැටෙමින් තිබෙනවා. අද වන විට අපගේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 300ක් දක්වා හැකිලී තිබෙනවා. එය අතිශයින්ම භයානක තත්ත්වයක්. විදේශීය රටවලින් ලබාගන්නා ඩොලර් බිලියන 200ක මුදල් පමණක් යොදවා එයට පිළියම් සෙවීම විහිළුවක්. ඛණිජ තෙල් මිල වැඩිකිරීමෙන් රජය තාවකාලික සහනයක් ලබා ගත්තත් ඒ මගින් පමණක් අද පවතින තත්ත්වය අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකිය. ඒ අනුව එම අභියෝගයට මුහුණදීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුවටය.
ඒ සඳහා ස්ථාවර හා පැහැදිලි ප්‍රයත්නයක පිහිටා කටයුතු කළ යුතුව තිබේ. සමහර ඇමතිවරුන්ට අනුව රජයට අවශ්‍ය ආකාරයට වියදම් කිරීමට මුදල් ඇති බවක් ප්‍රකාශ වෙනවා. අද රටේ ආර්ථිකය පිළිබඳව අබමල් රේණුවක හෝ දැනුමක් තිබේ නම් ඔවුන් එවැනි කථා නොකියනු ඇති. ඒ අතර පාලකයන්ගේ සුඛ විහරණය උදෙසා අලුත් යානවාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි ගණනින් විදේශ විනිමය වැයකරනවා. නමුත් සාමාන්‍ය ජනතාවගේ ජීවිත එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය භාණ්ඩ ඇතුළත් බොහෝ ආනයන මේ වන විට සීමා කොට තිබෙනවා. අද සාමාන්‍ය වාහනයකට තබා කම්පියුටරයකට පවා අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා කල් නොයවා එම අභියෝගයටද සාර්ථක පිළිතුරක් සපයා නොගතහොත් මේ රටේ ජනතාවගේ ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයකට පත් කර ලිය හැකියි.
රටේ ආර්ථිකය මේ ආකාරයට දවසින් දවස දුර්වල කරමින් කඩා වැටීමේ අනතුරක පවතිද්දී GSP+ අපට අහිමි වුවහොත් ඒ මගින් සිදුවන්නේ රටේ ආර්ථිකය කබලෙන් ලිපටද ඇද වැටීමය. ඒ වගේම රටේ නිශ්පාදන ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක් විය හැකියි. මේ වන විට විවිධ නිශ්පාදන හා සේවාවන් හි නියුතු අතිවිශාල පිරිසකට ඒ මගින් රැකියා අහිමිවිය හැකියි. විශේෂයෙන්ම ඇඟළුම්, තේ, ධීවර ඇතුළු නිශ්පාදන හා කර්මාන්ත ගණනාවක්ම ඒ මඟින් දැඩි පසුබෑමකට ලක් විය හැකියි. ඒ නිසා ශ්‍රී ලංකාව වගකීමකින් යුතුව කටයුතු කරන රාජ්‍යයක් බවට අප මේ මොහොතේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව යුරෝපා සංගමය සමඟ ්‍සාකච්ඡා කළ යුතුව තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කරන බවට පැහැදිලි සහතිකයක් ලෝකයට ලබා දිය යුතු වෙනවා.
යුරෝපා සංගමය නියෝජනය කරන සෑම රටක්ම අපගේ මිත්‍ර රාජ්‍යයන්ය. එක් එක් රටවල් ලෙස ගත්විට හෝ සංගමයක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැත. නමුත් වඩා යහපත් ලෝකයක් සඳහා ඔවුන් ඉහළින්ම පිළිගන්නා නිර්නායකයන්ට ඔවුන් ගරු කළ යුතු වෙනවා. ඒ බව අපද පිළිගත යුතුය. අපේ ඉතිහාසය හා සංස්කෘතිය අනුවද එකී නිර්ණායකයන් අපට ද ඉතාමත් වටිනාකම් ගෙන දෙන බව අප පිළිගත යුතුය. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, සිවිල් පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම, අල්ලස හෝ දූෂණ පිටුදැකීම, මානව ගරුත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි එකී වටිනාකම් තහවුරු කරන ප්‍රමාණයට රටත් රටේ ජනතාවත් ආරක්ෂා වන බව අප තේරුම් ගත යුතුය. නිදහසින් පසු රටක් ලෙස අප ද පිළිගත් එවැනි අගයන්ටද ජාත්‍යන්තර මට්ටමෙන්ද ඉහළ පිළිගැනීමක් තිබේ. නමුත් මෑත කාලයේ සිදු වූ ඇතැම් අමිහිරි සිදුවීම් නිසා එම වටිනාකම්වලට බරපතළ හානියක් සිදුව තිබෙනවා. රට පිළිගත් මාධ්‍ය වේදීන් හා දේශපාලකයන් ඝාතනයට ලක්වීම පිළිබඳව අද වන තෙක් අප රටේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත.
රාජ්‍ය භාරයේ සිටි සිර කරුවන් තොග පිටින් ඝාතනයට ලක්වීම පිළිබඳව රටක් වශයෙන්ද අප ලැජ්ජාවට පත්විය යුතු නැද්ද? පොලිස් භාරයේ සිටින සිරකරුවන් සැඟවූ ආයුධ පෙන්වීමට යාමේදී ඝාතනය වන තත්ත්වය රටක් ලෙස අප යුක්තිසහගත කරන්නේ කෙසේද? ඇතැමුන් ඒවාට දක්වන හේතුන් මේ රටේ ජීවත් වන කුඩා දරුවෙක් පවා පිළිගන්නවාද? රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර මහතාට සැලසුම් සහගතව සිදු කර ඇති අයුක්තිය සලකා බැලීමේ මේ රටේ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට පවා සිදු කර ඇති අනතුර ඉතාමත් සාහසිකය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් අප විසින්ම ගොඩනගාගත් ස්වාධීන කොමිසන් සභා අහෝසි කරමින් දේශපාලන පක්ෂයන්ගෙන්ද සමන්විත පක්ෂග්‍රාහී කොමිෂන් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීම ලෝකය යුක්ති සහගත කළ හැකිද? එවැනි තත්ත්වයක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වෙනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසයක් ගොඩනැගේවිද? විශේෂයෙන්ම ඊනියා ජනාධිපති කොමිසන් සභා නිර්මාණය කරමින් දූෂණ චෝදනා එල්ලවෙද්දී දේශපාලකයන්ද ඇතුළු තම සහචර චෞරයන් නීතියෙන් නිදහස් කර ගන්නට කටයුතු කරන විට නීතියේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාසයක් ජාත්‍යන්තර ප්‍රජාව අතර ගොඩනැගේවිද? දේශපාලන පලිගැනීම් පිළිබඳ උපාලි අබේරත්න කොමිෂන් සභා වාර්තාව අගමැතිතුමාගේ නමින් පාර්ලිමේන්තු පුස්තකයේ තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නායකයෙකු වශයෙන් අගමැතිතුමාට මෙය ඉවත් කරගන්න පුළුවන්. මේ අතර දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණයද අධිකරණ ක්ෂේත්‍රය තුළ මෙන්ම සබුද්ධික සමාජයේත්, පුළුල් අවධානයට ලක්විය යුතුය. එහි ඇත්ක ප්‍රශ්ණයක් තිබෙනවා. ඇතැම් පුද්ගලයන් වසර 10/15/20 වැනි කාල පරාසයන් තිස්සේ චෝදනා ගොනුකිරීම පවා නොකර රඳවා තබාගෙන සිටිනවා. ඇතැම් අවස්ථා වලදී උත්තර අධිකරණය පවා. ඒ ගැන වගකිවයුත්තන් වෙත සිය අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම ඔවුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව යුරොපා පාර්ලිමේන්තුව තුළ පවා සාකච්ඡා වී තිබෙනවා. ඇතැම් පොලිස් නිලධාරින්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් හේතුවෙන් එවැනි තත්වයන් ඇතිවිය හැකියි. යම් උසස් පුද්ගලයන්ගේ බලපෑම් නිසාද එවැනි දෑ සිදුවිය හැකියි. එ් අනුව දේශපාලන සිරකරුවන්ට අදාළව යුක්තිය ඉටුවිය යුතුයි.
එහෙත් දේශපාලන සිරකරුවන්ට මුවා වී අපරාධකරුවන්ට අධිකරණ එකඟත්වයකින් තොරව කිසිඳු ආකාරයේ සමාවක් ලබා දිය යුතු නැත. එමෙන්ම GSP සහනය පිළිබඳව නැවත සලකා බැලීමට යුරෝපා සංගමය ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති මන්ත්‍රීවරුන් 628 දෙනා අපගේ මිත්‍රයන් රාජ්‍යයන් බවද ඔවුන් එකඟ නොවන්නේ අවනීතියට හා මානව සාරධර්මයන්ට පිටුපෑම කෙරෙහි පමණක් බවට අප තේරුම් ගත යුතු වෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කළ රට දේශපාලනිකවද ආර්ථික වශයෙන්ද සමාජීය වශයෙන්ද ඇද වැටෙමින් පවතිනවා. එම ප්‍රපාතයෙන් අපට ගොඩ ආ හැක්කේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් පමණකි. ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස තහවුරු කිරීමෙන් පමණකි. රටේ සාමය හා ජන ජීවිතයේ ආරක්ෂාව සහතිකවනු ඇත්තේ රට එවැනි මාවතකට යොමු වුවහොත් පමණකි. ඒ සඳහා ගත යුතු පළමු පියවර වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරගෙන ඇති අත්තනෝමතික, ඒකාධිකාරී බලය සීමා කරමින් රටේ ව්‍යවස්ථාදායකයට වගකියන, බහුතර ජනතාවගේ සාමූහික නියෝජනයක් සහිත ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම මගින් පමණකි.
මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, මානව හිමිකම් හා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තුළ ශක්තිමත් කරමින් ස්වාධීන කිරීම මගින් පමණකි. දිනෙන් දින මිලිටරිකරණයට රට යොමුකරවමින් ශ්‍රී ලංකාව මියන්මාරයක් බවට පත්කිරීමේ අනතුරුදායක මාවතින් බැහැර වී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාවර ලෙස තහවුරු කිරීම මගින් පමණකි. අවසාන වශයෙන් රටේ සමස්ත බලය එක් පුද්ගල හස්තයකට ගොනු කරවීමේ ප්‍රතිවිපාක අත්විඳිමින් සිටින හා අත්විඳ ඇති අප ඒ බව තේරුම් ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලිමේ තීරණාත්මක අධිෂ්ඨානයෙන් සමස්ත රටම ඒ මගින් පෙළ ගැසීම ඒ සඳහා ඇති එකම මාර්ගය වී තිබේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අඛණ්ඩවම යුක්තිය සාධාරණය රජයන රටක් වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව සමග එක්සත්ව මැදිහත්වන බවත් ප්‍රකාශ කරන අතර අප ඒ සඳහා යොමු වන්නේ කිසිදු බල දේශපාලන ඉලක්කයක් මුල්කර ගනිමින් නොවන බවද අවධාරණය කරන්නෙමු.