ශ්රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් ලබා දෙන කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය වතුහිමියන් පන්ලක්ෂයකින් සමන්විත වන අතර හෙක්ටයාර 138,900ක්, දිස්ත‍්‍රික්ක 14ක්, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 123ක් හා ග‍්‍රාම නිලධාරී වසම් 3692ක් පුරා පැතිර පවතී. එමෙන්ම එම ක්ෂේත‍්‍රය මෙරට ග‍්‍රාමීය ජනගහනයෙන් ආසන්න වශයෙන් 20%ක් වන ගම් පන්දහසකට වැඩි සංඛ්‍යාවක ග‍්‍රාමීය ආර්ථිකයන් සමඟ ගැඹුරින් සම්බන්ධ වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා ‘‘රජයේ දැක්ම සඳහා සහයෝගය ලබා දීමට අප ඉතා උනන්දුවෙන් සිටිනවා. නමුත් එය සාක්ෂාත් කරගැනීම උදෙසා සියලූ කුඩා තේ වතුහිමියන්ගේ සුබසාධනය හා ක්ෂේත‍්‍රයේ උන්නතිය සහතික කරනු ලබන ප‍්‍රායෝගික සැලසුමක් අපට අවශ්‍යයි. කුඩා තේ වතුහිමියන් බොහෝ දෙනෙක් මාස දෙකකට ආසන්න කාලයක් පොහොර අහිමි වීමෙන් පීඩා විඳිනවා. තවත් පිරිසක් මේ වන විටත් පොහොර ආනයනය කිරීමේ තහනම පැනවීමට පෙර සිටම පොහොර ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන අතර ඒ හේතුවෙන් 2021 වසර පුරාවට තේ වගාවන් සඳහා හරියාකාරව පොහොර යොදා නෑ.’’ යනුවෙන් සඳහන් කළේය.
‘‘අපගේ ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ දෙනෙකුට තේ යනු ඔවුන්ගේ සැලකිය යුතු එකම ආදායම් මාර්ගයයි. කොවිඞ්-19 වසංගතයේ බලපෑමේ ප‍්‍රතිඵලයක් ලෙස ජීවන වියදම ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙම ප‍්‍රජාවන් මේ වන විට දැඩි පීඩනයට ලක් වී සිටිනවා. තම දරුවන්ගේ ආහාර, ඖෂධ හා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දැරීම සඳහා මෙම ක්ෂේත‍්‍රය මත යැපෙන පවුල්වලට අයත් පුද්ගලයින් මිලියන 1.5ක් පමණ අපට සිටිනවා. දැනට පවතින පොහොර නොමැති වීමේ තත්වයත් සමඟ කුඩා තේ වතුහිමියන් දැඩි අර්බුදයකට ලක් වී සිටින අතර මෙයට විසඳුමක් ලබා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීමට පවා පෙළඹී සිටිනවා. මේ සඳහා ඉක්මනින්ම විසඳුම් ලැබෙන බවට ඔවුන්ට සහතික කිරීමක් අවශ්‍යයි.’’
තේ නිෂ්පාදනය අඩු වීමට වැඩි සම්භාවිතාවක් ඇති බැවින් කුඩා තේ වතුහිමියන්ගේ ආදායම අඩු වීම ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
‘‘ප‍්‍රවාහනයේ සිට තේ මිලදී ගනු ලබන මුදලාලි දක්වා වූ දෙවන හා තුන්වන මට්ටමේ බොහෝ අංශ මේ ක්ෂේත‍්‍රය තුළ සිටිනවා. තේ කර්මාන්තය බිඳ වැටීම මෙම සියලූම අංශවලට බලපානු ඇත. මෙම තත්වය කළමනාකරණය කිරීමට නිසි ක‍්‍රමවේදයක් හෝ සැලසුමක් නොමැති නම් ග‍්‍රාමීය ආර්ථිකය නිසැකවම බිඳ වැටේවි.’’ යනුවෙන් ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.
අකාබනික පොහොර ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම පිළිබඳව ප‍්‍රකාශ කිරීමෙන් පසුව පොහොර හිඟය හා දැනට තිබෙන පොහොර තොගවල මිල අධික ලෙස ඉහළ යාම් පිළිබඳව රට පුරා වාර්තා වී තිබේ. මෙරට සමස්ත කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත‍්‍රවල ආර්ථිකය සම්පූර්ණයෙන් කාබනික වගාවෙන් යුතු ආරථිකයක් බවට වේගයෙන් පරිවර්තනය කිරීමේ තීරණයේ කොටසක් ලෙස මෙම තහනම ප‍්‍රකාශයට පත් කෙරිනි.
එවැනි දැක්මක් සාක්ෂාත් කරගත හැකි ආකාරය පිළිබඳව කිසිඳු සිද්ධාන්තයක් නොමැති විට, ආහාර සුරක්ෂිතතාව යන කරුණ පිළිබඳව උණුසුම් කතාබහක් ඇති වී තිබෙන අතර අපනයන බෝග පරිමාව අඩු වීම මගින් දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් ඇති වීමේ ඉඩකඩක් පවතී.
තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත පදනම්ව තේ පැළය වර්ධනය වීමේ අවධිය අනුව විවිධාකාරයේ විශේෂිත පොහොර වර්ග යොදන ආකාරය ගුණරත්න මහතා පැහැදිලි කළේය. අස්වැන්න නෙළීමට පෙර මුල් පද්ධතිය ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමටත්, තේ ගසේ කඳ ශක්තිමත් කිරීමටත් ඒවාට විශේෂිත වූ පොහොර වර්ග භාවිතා කරනු ලබයි. සාමාන්‍යයෙන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය තුළ තේ පඳුරුවලින් මසකට 3-4 වතාවක් අස්වැන්න නෙළා ගන්නා අතර පසුව ඊළඟ අස්වැන්න වන තෙක් යථා තත්ත්වයට පත්වීමට තේ ගසට අතිරේක පෝෂක අවශ්‍ය වේ.
‘‘පොහොර නොමැති වීමෙන් තේ දළු කහ පැහැයට හැරෙන අතර ඒවායේ ගුණාත්මකභාවය නැති වී යනවා. එමෙන්ම දළු නෙලීමට අපහසු වන පරිදි ඒවා දැඩි බවින් ද යුක්ත වනවා. අප කාබනික පොහොර වෙත මාරු වන්නේ නම්, මෙම ක‍්‍රමෝපායන් පිළිබඳව කුඩා තේ වතුහිමියන් දැනුවත් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. තවදුරටත් තේ කර්මාන්තයේ ආදායම අඩු නොවන පරිදි කාබනික පොහොර යෙදීමේ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමට වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට ද අවශ්‍ය වෙනවා. තවද රසායනික පොහොර තහනමෙන් බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට නම්, ඊට කුඩා තේ වතුහිමියන් ද ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වනවා.
‘‘මීට පෙර ඔවුන් කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයට පවා කාබනික වගාව හඳුන්වා දීමට උත්සාහයක් ගෙන ඇතත් ඔවුන්ට කිසි විටෙකත් එම අස්වැන්නම ලබා ගැනීමට නොහැකි වුනා. රජයේ විශේෂඥයින් පවසන දේ සත්‍යයක් නම්, කාබනික කෘෂිකර්මාන්තය තුළින් අපට දිගු කාලීන සෞඛ්‍යමත් ජිවිතයක් සහතික කිරීම ඇත්තෙන්ම වැදගත්ය. නමුත් නිසි අස්වැන්නක් නොමැතිව අද වන විට මෙම පවුල්වලට ආහාර ද නොමැති වී තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ සෞඛ්‍යය දැනටමත් තර්ජනයට ලක් වී ඇති බවයි.’’ යනුවෙන් ගුණරත්න මහතා පැවසුවේය.
-enbsl