ඇමරිකානු වානිජ්‍ය මණ්ඩලය විසින් ඊයේ(03) සංවිධානය කර තිබූ වෙබ්නර් සම්මන්ත්‍රණයකදී ස්ටාර් ඇඟලුම් සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ව්‍යාපාර විශ්ලේෂණය ජීවිත් සේනාරත්න පවසා සිටියේ මෙම පහසුකම් තවදුරටත් රඳවා ගැනීමට රජය අවශ්‍ය පියවර ගන්නා බව බලධාරීන් පවසා සිටි බවයි. මෙරට ප්‍රධානතම අපනයනය බවට පත්ව තිබෙන ඇඟලුම් නිශ්පාදන වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන්නෙ යුරෝපා සංගමයට අයත් රටවලටය. මේ නිසා යුරෝපා සංගමය ලබාදෙන තීරු බදු සහනයෙහි වැදගත්කම ගැන රජයේ බලධාරීන්ට අවධාර්ණ කළ බවද එය ඔවුන් තේරුම් ගෙන තිබෙන බව ද ඔහු වැඩ දුරටත් පවසා සිටී.
එහෙත් ජීඑස්පී සහනය අහිමි කිරීමට යුරෝප සංගමය කටයුතු කළත් ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවට පසුගිය කාලයේ වත්මන් ආණ්ඩුවෙ මැතිඇමැත්වරු ගනනාවක් කරුණු දක්වා තිබිණි.
ලංකාවේ සමස්ත අපනයනයන්ගේ වැඩිම පංගුව යුරෝපය සහ ඇමරිකාව මත රඳා පවතී. මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇඟලුම් අංශයේ දායකත්වය 16% ක් වන අතර සමස්ත අපනයන සඳහා එහි දායකත්වය 43% කි. 2019 දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.3 ක අපනයන වාර්තා කළ නමුත්, කොවිඩ් වසංගතය හේතුවෙන් එය පසුගිය වසරේ ඩොලර් බිලියන 4.1 දක්වා තියුණු ලෙස පහත වැටී තිබිණි. මෙම වසර තුළද එවැනිම කඩා වැටීමක් පෙන්වමින් තිබේ.
මෙරට ශ්‍රම බලකායෙන් 16% කට අධික පිරිසක් (එනම් මිලියනයකට අධික පිරිසක්) ඇඟලුම් අංශයට සෘජුව හා වක්‍රව සම්බන්ධව සිටී. 350,000 ක් සෘජුවම රැකියා කරති. ජී එස් පී ප්ලස් පහසුකම් අහිමි වීමක් සිදු වුවහොත් එය වාර්ශිකව ඩොලර් මිලියන 520 කට වැඩි අලාබයක් ගෙන දෙනු ඇතැයි මෙම ඇඟලුම් ව්‍යාපාරිකයන් විසින් පෙන්වා දෙයි. කොවිඩ් වසංගතය නිසා මේවන විටත් ඩොලර් බිලියනයකට වඩා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පමණ වාර්ශිකව අහිමි වීමත් සහ ජී එස් පී ප්ලස් අහිමිවීම මඟින් වන අලාබයත් නිසා මෙරට ඇඟලුම් කර්මාන්තය බරපතල කඩා වැටීමක ලක් විය හැකි බවත් විශාල පිරිසකට රැකියා අහිමි වීමත් සිදු වීමේ අනතුර පැහැදිලිවම තිබෙන බවත් මෙම ව්‍යාපාරිකයන් අවධාරණය කරයි. එමෙන්ම විදේශ විනිමය අහිමිවීම මත මේ වනවිට රටේ සමස්ථ ආර්ථිකය මුහුණ දී තිබෙන උග්‍ර අර්බූදය තවදුරටත් තිව්ර වීමද නියත වශයෙන්ම සිදුවනු ඇත.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය ජුනි මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුව මෙරට මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍යය නොමැතිවීම, අතුරුදහන් කිරීම්, අත්අඩංගුවට පත්වූවන්ගේ ඝාතන, ළමා ශ්‍රමිකයන් සූරාකෑම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ඇතුළු විවිධාකාර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
මේ අනුව GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේ දී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරනු ඇති අතර සහනය නැවත ලාබාදීමේ දී ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිළිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය අත්හිටුවීමේ අවදානමක් මතුව පවතී.
මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති පෙර මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වූ බැවිනි.
කෙසේ නමුත් GSP+ සහනය අහිමි වීම මඟින් ඇඟලුම් කර්මාන්තයට පමණක නොව මාළු, රබර් සහ පිඟන් භාණ්ඩ යන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධාන අංශ ඇතුළු භාණ්ඩ වර්ග 7,000 ක් සඳහා එය බලපානු ලබයි.
මේ අතර මෙරටට කෙරෙන ආනයනයන් බරපතල සීමා කිරීමකට ලක්කර තිබීම ගැනද මීට පෙර යුරෝපා වෙළඳ සංවිධානවලද විවේචනයට ලක්ව තිබිණි. මෙරට වෙළඳපොළ තමන්ට අහිමි කරන්නෙ නම් යුරෝපා වෙළඳපොළද ශ්‍රී ලංකාවට අහිමි වීමේ ඉඩක් පවතින බවට ඔවුන් අනතුරු හඟවා තිබිණි. මේ තත්වයන් මත දැනට මෙරට අපනයනයන් සම්බන්ධයෙන් ගොඩනැගී ඇති අහිතකර වාතාවරණය මත GSP+ අහිමි වීමේ තත්වයන් මත පමණක් නොව සාමාන්‍ය තත්වයන් මතද යුරෝපා වෙළඳ පොළ ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් ඇති බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් අසිර්වාදම් පසුගියදා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ කොළඹ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “GSP+: අතීතය, වර්තමානය, අනාගතය” මැයෙන් මෑතකදී පැවැත්වූ අන්තර්ජාල සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් අනතුරු හඟවා තිබිණි.
ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය තවදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුළදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කරනු ඇති බවත්, ජීඑස්පී+ ඉවත් කිරීම සමහර විට ඔවුන්ගේ අවසාන විසඳුම විය හැකි යැයි අපේක්ෂා කළ හැකි බවයි.
අපනයනකරුවන්ගේ මණ්ඩලය පවසන්නේ, ජීඑස්පී+ නැතිවීමේ බලපෑම ඉහත දැක්වෙන අහිමිවන අපනයන වටිනාකමින් පිළිබිඹු වන අතරම බංග්ලාදේශය ඇතුළු අඩු පිරිවැය රටවල් සමග අවාසිදායක කොන්දේසි යටතේ ලංකාවේ අපනයන කරුවන්ට තරග කිරිමට ද සිදුවනු අති බවයි.
එම අඩු පිරිවැය රටවල් සමග යුරෝපා වෙළඳපොළේ තරග කිරීම සඳහා ශ්‍රී ලංකාවට 12% ක තීරු බදු සහන වට්ටමක් අවශ්‍ය වන බවය. විශේෂයෙන් 2010 දී ජීඑස්පී+ නැතිවීමේ ලත් අත්දැකීම අනුව විදේශ ගැනුම්කරුවන් අහිමිවීම නිසා ඇණවුම් අඩුවීමෙන් නැති වූ අලාභ ප්‍රමාණයට වඩා සත්‍ය අලාභය බෙහෙවින් වැඩි බව ද ඔවුන් පෙන්වා දෙයි.
කොහොම නමුත් මේ අවදානම් සහගත තත්වය මත යුරෝප සංගමයේ මෙම තීරුබදු සහනය තවදුරටත් රඳවා ගැනීම වෙනුවෙන් රජයේ අවධානය මේ මොහොතේ යොමුව තිබීම වැදගත්ය.