කොපමණ බල්ලො බිරුවත් අපි යන ගමන නතර කරන්නේ නැහැ. - ජොන්ස්ටන්

Published in පුවත්
Tuesday, 26 October 2021 10:03

ගමේ මිනිස්සු කියනවා මොනතරම් බල්ලෝ බිරුවත් තවලම ඉස්සරහට යනවා කියලා. ඒ වගේ මොන බාධක ආවත් මේ ආණ්ඩුව ඉදිරියට යනවා...අපේ ආණ්ඩුව හරිම කූල් ආණ්ඩුවක්, අපේ ජනාධිපතිතුමා කූල් නායකයෙක්...

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවයට 2021-10-25 වන දින සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද මම සතුටු වෙනවා වරාය ඇමතිතුමාතුමාත් එක්ක මෙම කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට සම්බන්ද වීම ගැන. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අද මෙම පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරිමේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ. ඒ නිසා නැකතකින් මෙය ආරම්භ කරන්න තීන්දු කරලා තිබුණා. රෝහිත ඇමතිතුමාට අපි ආරාධනා කරලා සුබ නැකතින් මෙය ආරම්භ කෙරුවා. මම ඉතාමත්ම සතුටු වෙනවා ලංකාවේ මේ අලුත් තාක්ෂණය සමග ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ දැනුමත් ඉහළ යනවා කියලයි මම විශ්වසා කරන්නේ.

පසුගියදා මේ සම්බන්ධ පැවති සාකච්ඡාවේදී ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා සහ ලේකම්තුමා මට ඒ බව ප්‍රකාශ කළා. 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති හැටියටත් වරාය හා මහාමාර්ග ඇමති විදිහට හිටපු කාලයේ තමයි මෙම ව්‍යාපෘතියේ සැලසුම් සකස් කරලා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය කරන සැලසුම්, තීන්දු කරගත්තේ. 2015දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුනේ නැත්නම් අද මෙම අධිවේගී මාර්ගය මේ රටේ ජනතාව පාවිච්චි කරනවා. ආනයනයට අපනයනයට විතරක් නෙවෙයි හම්බන්තොටින් නැගපුවහම ගාලුමුවදොර පිටිය ලගින් බහින්න පුළුවන් යුගය තමයි එදා යහපාලන ආණ්ඩුව පත් කරගෙන ජනතාව අහිමි කරගත්තේ. යහපාලන යුගයේදී අපි යම්තාක් දුරකට ආපස්සට ගිහින් තියෙනවා. ඊර්ෂයාවයි වෛරයයි නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාපු ව්‍යාපෘතින් යහපාලන ආණ්ඩුව නතර කෙරුවා.

එහෙම නොවුනා නම් අද පෝට් සිටිය විවෘත කරලා අවසන්. ඔබ තමුන්නාන්සේලාට මතක ඇති අද පොහොර ප්‍රශ්නයට ගහනවා වගේම තමයි එදා පෝට් සිටියට මඩ ප්‍රහාර එල්ල කලේ. ලංකාවේ තියෙන සියලු කළුගල් කැඩුවත් මේ පෝට් සිටිය පුරවන්න හම්බ වෙන්නේ නැහැ කියලා දිසානායක මහත්තයා එදා ගණන් හදලා පෙන්නුවා. එහෙම කියපු අය පෝට්සිටි ව්‍යාපෘතිය නතර කරලා, ආපහු වැඩි අක්කර ගානකුත් දිලා එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කෙරුවා.

මෙම ව්‍යාපෘතිය අවසන්වෙන කොට මේ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය උඩින් විතරක් නෙවෙයි මෙම බිම් මාර්ගය මංතීරූ හයකට හදන්න අපි කටයුතු කරනවා. මෙය දැවැන්ත සංවර්ධනයක්. බිලියන 28ක් මේ ව්‍යාපෘතිය සදහා අපි වෙන් කරලා තියෙනවා. අපිට ප්‍රශ්න ගණනාවක් ආවා. කොවිඩ් අර්බුදය හේතුවෙන් ජනතාවගේ ජීවිත බේරගන්නවා විතරක් නෙවෙයි මේ රජය සංවර්ධන ව්‍යාපෘතිත් අඛණ්ඩව සිදුකරගෙන යන්න කටයුතු කලා. කොවිඩ් අර්බුදය තිබියදීත් මේ රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දෙන්න බොහොම කැපවීමෙන් වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් වැඩකරා කියල අපි බොහොම ගෞරවයෙන් මතක් කර සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරයාගෙන් පටන් ගත්තම සාමාන්‍ය කම්කරුවා දක්වා තමන්ගේ ජීවිත කැප කරනවා සේම මෙම වරායේ කාර්ය මණ්ඩලයත් ඒ ආකාර්යෙන්ම වැඩකළ බව කිව යුතුයි.

ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලීසිය රාජ්‍ය අංශයේ නොයෙකුත් අමාත්‍යාංශය මේ රටේ සංවර්ධනය උදෙසා සහයෝගය ලබා දුන්නා කියන එක අපට කවදාවත් අමතක කරන්න බැහැ. වැඩ නොකරපු අය ආණ්ඩුවට මඩ ප්‍රහාර එල්ල කළා. ඔවුන් මේ රටේ ජනතාව මුලා කරන්න කටයුතු කලා මිසක් ජනතාවගේ ජීවිත ගැන සැලකුවේ නැහැ. ප්‍රේමදාසගේ කල්ලියයි දිසානායකගේ කල්ලියයි මේ රටට වින කෙරුවේ අන්න ඒ විදිහටයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපහාස කෙරුවා. එතුමාගේ දක්ෂ නායකත්වය නිසා තමයි අද ඔබත් මමත් මේ විදියට කතා කරන්නෙ. මම ඔබව දකින්නේ ඔබ මාව දකින්නෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත්ත නිසයි.

ලෝකයම එන්නත් ගැන තහවුරු කරලා එය ලබා දෙන්න තින්දු කෙරුවහම, ශ්‍රී ලංකාවට එම එන්නත් ගෙන්නන්නට යද්දි නොයෙකුත් කතා කියමින් කකුලෙන් ඇද්දා. එන්නත ලබා දෙන්න හදනකොට මාසයක් විතර ප්‍රමාද කරා අසත්‍ය ප්‍රචාර යවලා. ඉස්සල්ලාම එන්නත ගෙනෙන්න බැහැයි කිව්වා. අපි එන්නත් ගෙනාපුවම නොයෙකුත් අසත්‍ය ප්‍රචාර යැව්වා. එන්නත ගැහුවහම නොයෙක් අතුරු ආබාධවලට ලක්වෙලා අවුරුදු දෙකෙන් මැරෙනවා කිව්වා. ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයන් එකතුවෙලා රාජ්‍ය නිලධාරීන්ව මෙහෙයවලා අසත්‍ය ප්‍රචාර සිදු කළා. ඔවුන්ගේ විවිධ සමාජ ජාලා හරහා අසත්‍ය කරුණු බෙදාහැරියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවශ්‍ය කරන මුදල් ටික හොයාගෙන අපේ රටේ මිනිස්සු බේරගන්න ක්‍රියා කරද්දි එතුමන්ට නින්දා අපහාස කරපු එක තමයි විපක්ෂය කළේ.

යුද්ධය අවසන් කරන්න කටයුතු කල ආරක්ෂක ලේකම්වරයා වගේම මේ රටේ ජනතාවගේ ජීවිත බේරාගත් නායකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙනවා. අපේ ආණ්ඩුව හරිම කූල් ආණ්ඩුවක්. අපේ ජනාධිපතිතුමා කූල් නායකයෙක්. එතුමා නිශ්ශබ්දව ජනතාව වෙනුවෙන් කල යුතු දේවල් කරනවා.

විපක්ෂය මොනවා කිව්වත් අපි අපේ ගමන යනවා. ගමේ මිනිස්සු කියනවා මොනතරම් බල්ලෝ බිරුවත් තවලම ඉස්සරහට යනවා කියලා. ඒ වගේ මොන තරම් බාධක ආවත් මේ ආණ්ඩුව ඉදිරියට යනවා. අපි අවුරුද්දකුත් මාස 7ක් දේශපාලනය කලේ නැහැ. අපි දේශපාලනය වෙනුවට කරේ අපේ රටේ ජනතාව වංගතයෙන් බේරගන්න කටයුතු කරපු එකයි. අල්ලපු රටවල් වල මිනිසුන් දහස් ගණන් මැරෙද්දි අපේ රටේ මිනිස්සු බේරගන්නේ කොහොමද කියලයි එතුමා කල්පනා කලේ. පොහොට්ටුවට ඡන්දය දීපු මිනිස්සු විතරක් නෙවෙයි, ප්‍රේමදාස මහත්තයාටත් දිසානායක මහත්තයාටත් ඡන්දය දීපු ජනතාවත් එක්ක මේ රටේ ජනතාව බේරගන්න අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළා. විපක්ෂය කටයුතු කළේ ජනතාව බේරගන්නවා වෙනුවට රාජ්‍ය බලය කොයි ආකාරයෙන් හරි ලබාගන්නයි. විපක්ෂය ප්‍රාර්ථනා කලේ මිනිස්සු මැරිලා හරි රාජ්‍ය බලය ලැබෙන්න කියලයි. හැබැයි අපේ ජනාධිපතිතුමා බුදුන් වඳිද්දි ප්‍රාර්ථනා කලේ අපේ රටේ මිනිස්සු ටික ආරක්ෂා කරලා දෙන්න කියලයි.

අධිවේගී මාර්ග සංකල්පයේ මූලික දෙයක් තමයි අපේ දේශීය නිෂ්පාදන ඉක්මනින් වරායට ගෙනවිත් ඉක්මනින් පිටරටට යැවිමට කටයුතු කිරීමයි. ගොවි නිෂ්පාදන වල, කර්මාන්ත නිෂ්පාදනවල හදවත තමයි වරාය. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අනාගතය දිහා බලලා තව අවුරුදු සීයයකට ඔබින ලෙස මෙවැනි සැලසුම් සකස් කෙරුවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට හැට නවලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න.

ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්තියෙත් මේ කාබනික පොහොර ගැන කියලා තිබුණා. මට මතකයි 2015 පුන්කලස පෙන්නලා කිව්වේ මේ රටේ මිනිස්සු වකුගඩු රෝගයෙන් මැරෙන එක නතර කරනවා කියලා. මේ මිනිස්සු මැරෙන්නේ පොහොර වල තිබෙන විෂ නිසයි. මේ රටේ මිනිස්සුන්ට විෂ දෙන එක නතර කරන්න ඕනි කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා. අවුරුදු 10ක් ඇතුලත ක්‍රියාත්මක කරනවා යැයි කියපු සැලසුම මිනිස්සු මැරෙනවා දකින්න අකමැති නිසා ගෝඨාභය ජනාධිපතිතුමා අවුරුද්දක් කල් දීලා තීන්දු කෙරුවා වහාම එය ක්‍රියාත්මක කල යුතුයි කියලා. එතුමා හොද ප්‍රකාශයක් කෙරුවා. දේශපාලඥයේ ඡන්දය දිහා බලලයි වැඩ කරන්නේ නමුත් මම වැඩ කරන්නේ ඡන්දය දිහා බලලා නෙවෙයි. මම වැඩ කරන්නේ හරි කියන දේ බලලා, ඒ හරි දේ කරන ජනාධිපති කෙනෙක් කියලා එතුමා ප්‍රකාශ කලා. ඡන්ද ගැන නොහිතා තීන්දු තීරණ ගන්න එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා මම කියනවා. යුද්ධය ජයග්‍රහණය කළා සේම මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගත් නායකයා විදිහටත් මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදලා ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කරන නායකයා විදිහටත් ගෝඨාභය ජනාධිපතිතුමා ඉතිහාසගත වෙන බව මම විශ්වාස කරනවා.

කොපමණ බල්ලො බිරුවත් අපි යන ගමන නතර කරන්නේ නැහැ. මේ රට ජයග්‍රහණයක කරා අපි ගෙනියනවා.

කොවිඩ් අර්බුදය තිබියදීත් මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරන්න කටයුතු කරන චීන කොන්ත්‍රාත් සමාගමටත්, ලංකාවේ ඉංජිනේරුවරුන්ටත්, මේ ව්‍යාපෘතියේ වැඩ කරන ඒ හැම කෙනෙක්ටම අපි හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ වසංගත කාලයේ මිනිස්සු හැංගෙද්දී සංවර්ධනය වෙනුවෙන් මේ රට ඉදිරියට අරගෙන යන්න වැඩ කරපු සියලු දෙනා ඉතිහාසගත වෙනවා කියන එක මම තමුන්නාන්සේලාට මතක් කරනවා.

හාල් මිලේ පෙට්රල් මිලේ ගෑස් මිලේ ප්‍රශ්නයක් ඇති වුණා. මේවා ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මුළු ලෝකයේම මනුෂ්‍ය සත්වයාව අභියෝගයකට ලක්කල මෙම වසංගතය නිසා තමයි මෙවැනි ප්‍රශ්න මතුවුණේ. තමන්ගේ දෙමවුපියන් දරුවන් අසනීප උනහම බලන්න වත් යාගන්න බැරි වෙන රෝග ගැන අපි කවරදාකවත් අත්දැකල නැහැ. මෙවැනි රෝග ගැන අපි බලාපොරොත්තුවෙන් ඉඳලා නැහැ. මේ කොවිඩ් අර්බුදය ප්‍රබල රටවල් දණ ගැස්සුවා. ප්‍රබල රටවල් දණ ගහද්දි අපේ රට නිසියාකාරව ගොඩනැගුවේ අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා.

මගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ මේ රට රැගෙන යන්න සල්ලි තියනවද කියලා. මං කිව්වා සල්ලි නැත්තන් රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ කොහොමද කියලා. සමෘද්ධිය දෙන්නෙ කොහොමද, කොහොමද වරාය දියුණු කරන්නේ, මේ පාරවල් සංවර්ධනය කරන්නේ කොහොමද, අපේ ජනාධිපති තුමාගේ පළවෙනි ප්‍රතිපත්තිය තමයි මේ රට දූෂණයෙන් තොර රටක් බවට නිර්මාණය කිරීම. එතුමන්ට මහා බැංකුව හොරා කෑවා කියලා චෝදනා නැහැ. රාජ්‍ය ආරක්ෂාව බින්දුවට දැම්මා කියලා ඔහුට කිසිම චෝදනාවක් නෑ. මිනිසුන් ඔහේ නිකන් මැරෙන්න ඇරියා කියලා චෝදනා නැහැ. කොවිඩ් අර්බුදය තිබුණත් එදාට වඩා අද අපේ රට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි අපේ රට දියුණු වුණ ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරනවා.

- රන්ජනා සෙව්වන්දි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us