උපන් බිමේ ජනතාව බෝඩිංකාරයන් වූ යුගය නිමා කළ යුතුයි..! – මහින්ද…  

Published in පුවත්
Thursday, 16 December 2021 11:44

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (15) ප්‍රකාශ කළේය.

ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අටසියයකට නේවාසික පහසුකම් සැලසීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ නිවාස 528කින් සමන්විත “කොළොම්තොට සරසවි උයන” මහල් නිවාස පරිශ්‍රය විවෘත කරමිණි. කොළඹ 05, පොල්හේන්ගොඩ කාලිංග මාවතේ පිහිටි මෙම මහල් නිවාස පරිශ්‍රය ඉදිකිරීමේ දී නිවාස අහිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහා ද මෙහි නිවාස ලබා දීමට පියවර ගෙන තිබේ.

නිදන කාමර දෙකක් සහිත සියලු පහසුකම්වලින් සමන්විත මෙම නිවාස 528 ඉදිකිරීමට බදු රහිතව වැය කළ මුදල රුපියල් මිලියන 1900කට ආසන්න වේ. නාගරික සංවර්ධන අධිකාරියට අනුබද්ධිත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණය යටතේ මාගා ඉංජිනේරු පෞද්ගලික සමාගම මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කළේය.

“2014 වර්ෂයේදී තමයි, අපි මේ නිවාස පරිශ්‍රය හදන්න මුල පිරුවේ. මේ සුවිශේෂී නිවාස ව්‍යපෘතියක්. කුලුනු තුනක් විදියට ඉදිවෙලා තිබෙන මෙම නිවාස පරිශ්‍රයෙන් එක් කුලුනක් සම්පූර්ණයෙ ම කොළඹ විශ්වවිද්‍යාලයට වෙන්වෙනවා. ඒ එහි නේවාසිකාගාරයක් විදිහට යොදා ගන්න.

මේ නිවාස ව්‍යාපෘතියට ඉඩම් දීපු ජනතාවටත්, කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කරන ජනතාවටත් මේ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලැබෙනවා. අනවසරයෙන් පදිංචිවෙලා හිටියත් ඒ අයටත් නිවසක අයිතිය දෙන්න අපට උවමනා වුණා. ඒ නිසා ඒ අයටත් මෙතැනින් නොමිලේම නිවසක් ලැබෙනවා. ඒ පවුල්වල දරුවන්ටත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න අද හැකිවෙලා තියෙනවා. ඔවුන්ට නිවසකට උරුමකමක් වගේ ම තමන්ගේ ම කියල ලිපිනයකුත් ලැබිල තියෙනවා.

අපගේ මේ උත්සාහය නිවාස නැති පුරවැසියන්ට උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීමටයි. අපි ක්‍රියාත්මක කරන නිවාස වැඩ සටහන්වල දී සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජාති භේදයක් නෑ. ඒ වගේ ම පක්ෂ භේදයකුත් නෑ. මතක තියා ගන්න නිවසක් නැති කෙනෙක් උපන් බිමෙහි බෝඩිංකාරයෙක් වගේ. ඒ යුගය ඉදිරි වසර කීපය තුළ නිමා කරන්න ඕනේ.

අපි මේ නිවාස වැඩසටහන කරන්නේ ප‍්‍රතිපත්තියක් ඇතිව. ඉදිරි දැක්මක් ඇතිව. මේක දේශපාලන අරමුණකින් කරන වැඩ පිළිවෙළක් නෙවෙයි. නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට කියන්න වියදම් කළ ආණ්ඩු පහුගිය කාලයේ තිබුණා. පහුගිය යහපාලන ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘතිවල ප‍්‍රචාරණ වියදම රුපියල් කෝටි ගණනක්. ඒ මුදල්වලින් තවත් නිවාස දහස් ගාණක් මේ රටේ හදන්න තිබුණා.

අපේ රටේ ජනතාවට ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති ගැන හොඳ අත්දැකීම් තියෙනවා. මටත් හොඳ අත්දැකීම් තියෙනවා. මමත් ෂැඩෝ මිනිස්ටර් හැටියට විපක්ෂයේ ඉඳගෙන නිවාස ව්‍යාපෘති ගැන බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා.

මට මතකයි, ඒ දවස්වල ජයවර්ධනපුර අවට වගුරුබිම් ගොඩ කර කර ගෙවල් හදන කොට මං පාර්ලිමේන්තුවේ දී කිව්වා, මේ විදියට ගෙවල් හැදුවොත් කවදා හරි පාර්ලිමේන්තුවත් යටවෙයි කියලා. අපි ගෙවල් හදන්නේ අපේ රට ගැන හිතලා. අපි නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ජනතා හිතවාදී ව්‍යාපෘති විදියට.

ඒ වගේ ම අපි දෙන ගෙදර පවුලක් හැටියට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕන. ඒ ගෙදර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකට ම සුව පහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා. රට පුරා ම අපි මේ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා.

නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50, 000 ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14, 083 ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියනවා. ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරලයි තියෙන්නේ.

එදා අපි කොරියාව කියල කිව්වේ අප්‍රසන්න මුඩුක්කු පරිසරවලට. ඒත් අද කොරියාව කියන්නේ ඉහළ සංවර්ධනයක් හිමි කර ගත් ලස්සන රටක්. චීනයටත් ඒ වගේ ම අපහාස කරපු කාලයක් තිබුණා. අද චීනය ලොව බලවත්ම රාජ්‍යයක් බවට පත්වෙලා.

පැල්පත් හා මුඩුක්කුවලින් තොර රටක් වෙනුවෙන් නාගරික සංවර්ධනයේ විප්ලවීය වෙනසකට අපි මුලපිරුවේ 2010 දි බව කියන්න ඕනෙ. 2014 වන විට අපිට හැකි වුණා, පැල්පත් හා මුඩුක්කුවල ජීවත් වූ විශාල පිරිසක් මහල් නිවාස වල පදිංචි කරවන්න.

කොළඹ නගරයේ ගරා වැටුණු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ගොඩනැගිලි අපි නැවත ඒ ආකාරයට ම ප්‍රතිසංස්කරණය කරල නගරයට අලුත් පෙනුමක් ලබාදුන්නා. ඒ නිසා ම “වේගයෙන් ම දියුණු වන නගරය” ලෙස 2015 දී කොළඹ නගරය ජාත්‍යන්තරයේ සම්මානයට පවා ලක්වුණා. ඒ සියල්ලම යහපාලන ආණ්ඩුව විසින් විනාශ කළා.

දැන් අපිට සිද්ධවෙලා තියෙන්නේ නතර කළ තැනින් ආයිමත් මුල ඉඳන් පටන් ගෙන යන්න. හැබැයි අපි මේ කෙටි කාලය තුළ වැඩ ගොඩක් කරලා තියෙනවා. සෑම පවුලකට ම ජීවත් වීමට සුදුසු නිවසක් ලබා දීමත්, නගර සංවර්ධනයත් සැලසුම් සහිතව සිදු කරන බව ප්‍රකාශ කරන්න ඕනේ. අපි නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ දේශපාලනය ගැන බලලා නෙමෙයි. රටේ අනාගතය ගැන හිතලයි.”

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us