මිනිසුන් එදා ජිවත් වුයේ බද කට පුරවා ගත්තේ ගෙවත්තේ හැදෙන ගහ කොළ ගෙඩි වලිනි. එහෙත් වර්තමානය වන විට ඒ සංස්කෘතිය උඩු යටි කුරු වී හමාරය. අද වන විට පොහොර යනු ජාතික කතිකාවතක් ඇති කර තිබෙන්නකි. එසේම රසායනික පොහොරවල ගුණ අගුණ පිළිබඳ කතිකාවතක් ද මෙරට තුළ පවතියි.
පවස නිවන පිරිසුදු දිය පොද හිඟ වන තැනට හේතු වූයේ ඉවක් බවක් නැතිව කෘෂි රසායන භාවිතයයි. මහා පරිමාණයෙන් රසායනික පොහොර යෙදීමයි.
එදා බොහෝ ගෙවතුවල පහළට වන්නට කුණු වළක් තිබිණි. ඊට එකතු වන කුණු ඇසුරෙන් අඟනා පොහොර තනා ගැණිනි. එයින් පවුලට වුවමනා එළවළු, පලතුරු ගෙවත්තේම සරුවට වැඩුණි. ඒ මිසෙක පිටරටින් එන පාට පාට ඇට පොහොර ආදිය වගේ වගක් නැතිව එකල ගස්කොළන්වලට හැළුවේ නැත. ඉඳුල් වතුර ටික ද වගාවට හැළුවේ ඉන් පණුවන් ආදී සතුන් ද යැපෙනු පිණිසය. එතරම් සද් භාවයෙන් යුතුව අවිහිංසාවාදීව කටයුතු කළ ජනතාව පාරම්පරික දැනුමෙන් වැඩ ගන්නා තරම කූට ජාවාරම්කරුවෝ නොඉවසූහ. ඒ වෙනුවට ක්ෂණික, ලෙහෙසි පහසු වැඩට හරවා ගනු පිණිස සිතා මතාම ඇතැම්හු ජනතාවට 'ලණු' දුන්හ. ක්‍රමයෙන් පරිසරයත් සමඟ තිබුණු අගනා ගනුදෙනුවෙන් කෙමෙන් හුඟ දෙනෙක් ඈත් විය.
ගෙවත්තේ ඵලදාවට වඩා ඒ බොහෝ දෙනකුට ඇස් ඇදගන්නා සුළු ඇසුරුමකින් කල් තබා ගන්නා ද්‍රව්‍ය එක්කොට අධික මිලකට වෙළෙඳපොළට එන විච්චූරණ වටිනාකමින් වැඩි විය. පොඩි නම් මෙරටය. ලොකු නම් පිටරටය. හුග දෙනකු තවමත් භාණ්ඩ මනින්නේ එහෙමය. නිකම්ම ලැබෙන දෙයෙහි අගය අඩුය. සමහරු පිටරටින් නැව් පිටින් ගෙන්වන දෙය ඉතා අගය කරති. අන්තිමේදී මෙරට වැඩෙන, මෙහි නිපදවන දෙයෙහි මිලට වඩා ඉතා අධික මිලකට රට බඩු ගණන් යැවිණ. එවිට කොපමණ මිල වැඩි වුවද ඒ හැර මෙරට වස විස නැති ආහාර පාන හුඟ දෙනකුට රුචි නොවීය. ඩොලර් මිලියන ගණන් පිටරටට ඇපල්, මිදි ආදිය කල්තබාගන්නා රසායනික ද්‍රව්‍ය තට්ටු පිටින් ගැසූ පලතුරුවලට පවා ගෙවන තැනට එය ඔඩුදුවන්නට විය
ගොවිතැන ඇතුළු මෙරට ආහාර සංස්කෘතියටත් ඒ විණ කැටීම ළඟා විය. පිටරටින් එන බීජවලට මෙරට සරු පොළොව හුරු වෙනතුරු දශක ගණනාවක් තිස්සේ පිටරටට ගැතිකම් කළ බොහෝ දෙනකුට සැනසිල්ලක් නොවුණි. අන්තිමේදී ඒ විනාශය සිදු වුණි. එතැන් පටන් රටින් එන අඩුම කුඩුම නැතිව ගොවිතැන් කිරීමත් අභියෝගයක් විය. එහෙත් ඒ එක් විෂ රසායනික එක් අණුවක් මෙරට මහපොළොවෙන් වසර 75කදී වත් ඉවත් නොවන බවක් දැන දැනත් බොහෝ දෙනකුට වෙනින් කරන්නට දෙයක් නොවීය. තව තවත් ඒවාම මහපොළොවට දැමුවහොත් අනාගත පරම්පරා ගණනාවකට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි කෘෂි විශ්ලේෂකයෝත් පෙන්වා දෙති.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ විට එතුමාට මේ රට මේ රසායනික අගාදයෙන් ගලවා ගැනීමට සැබෑම වුවමනාවක් තිබුණි..ඒ අනුව රසායනික පොහොර භාවිතය තහනම් කරමින් අපේ රටේ දේ මේ රට තුළම නිපදවීමේ සංස්කෘතියක් සකස් කරමින් රට ගෙන යාමට පියවර ගනු ලැබිය..ඒවා බොහෝ විට ජනප්‍රිය තීන්දු නොවන හෙයින් බරපතල විවේචන වලට ලක් වීමට ජනාධිපතිවරයාට සිදු විය..වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණෙන විට ඉදිරිපත්කළ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද එතුමා පැහැදිලිව සදහන් කර තිබෙන්නේ වස විසෙන් තොර රටක් තැනීම ගැනය..එහෙත් සෞභාගයේ දැක්ම තනිවම එක පුද්ගලයෙකුට පමණක් යථාර්තයක් කළ නොහැකිය..ඊට ජනතාවගේ සහයෝගය අනිවාර්යෙන් හිමි විය යුතුය..එම නිසා මෙම තීන්දු තීරණ අපගේ ඉදිරි පරම්පරාවට ,රටේ අනාගතයට ආයෝජනයක් වනු ඇතැයි වටහා ගෙන සැවොම ඒ සදහා කටයුතු කිරීම වටින්නේය.
එවිට වැඩි කල් නොගොස්ම ස්වයංපෝෂිත රටක් වශයෙන් අභිමානවත්ව නැඟී සිටීම අපහසු නොවනු ඇත.
-පංචාලි