'ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ ඖෂධ හිඟය ඇතිවූ බව විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසූවේ ඖෂධ හිඟය වළක්වා ගැනීම සඳහා මුදල් කළමනාකරණය කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවී ඇතැයි පෙනී යන බවයි.
මේ අතර ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම මග හැරවීමට කටයුතු කරන්නැයි කමිටු සභාපතිවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
චරිත හේරත් මහතා මෙසේ උපදෙස් ලබා දුන්නේ රජයේ රෝහල්වල ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් කෝප් කමිටුවට පෙරේදා (31) කැඳවූ අවස්ථාවේදීය.
ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව නිර්දේශ ලබා දී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් වටිනා වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් බව චරිත හේරත් මහතා මෙහිදී පැවසීය.
එය එම ආධාර මුදලින් සියයට 28 ක් බවත් 2022 මැයි 18 දින වනවිටත් ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් සඳහා පමණක් නිර්දේශ ලබාදී තිබූ බවත් මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිගය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් මෙම ගැටලු සහගත තත්වය කඩිනමින් විසඳාගෙන අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට හැකි ඉක්මනින් ලබාදීමේ අවශ්‍යතාවය කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අනුව ඉක්මනින් මුදල් යොදවා අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට කටයුතු කරන ලෙස චරිත හේරත් මහතා නිලධාරීන්ට නිර්දේශ කළේය.
මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් කෙරෙන කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
දැනට ඇති මුදල් වලින් අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මේ කාලසීමාවේදී වරින් වර පත්වීම හේතුවෙන්ද එම කටයුතු ප්‍රමාද වූ බව නිලධාරීහු පැවසූහ.
තවද ඉන්දියානු ණය ආධාර වලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර (WB), ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර (WHO), ආසියානු සංවර්ධන බැංකු ආධාර (ADB) සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳවද වැඩිදුරටත් සාක්ච්ඡා විය.
විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකර නොමැති බවද මෙහිදී සඳහන් විය.
හැකි ඉක්මනින් ඖෂධ මිලදීගතහොත් 2023 වසරේ මැද වන තෙක්ම ඖෂධ හිගයක් ඇති නොවන බව මන්ත්‍රීවරු පැවසූහ.
එසේම ඖෂධ මිලදීගැනීමේදී රුපියල් හිගයක් පැවති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ අනුව මාර්ග ගත ක්‍රමය ඔස්සේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සජීවීව මෙම කමිටුවට සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳවද සාකච්ඡා කෙරිණ.
වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ භාවිත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.
විශේෂයෙන්ම මෙහිදී හෙළි වූයේ මෙම පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 645ක් පමණ සමාගමකට ලබා දී ඇති බවයි.
මෙහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන බවත් එසේ වුවද එම පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත් මෙහිදී අනාවරණය විය.
මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව පැවසූ නිලධාරීහු එහි කටයුතු සියයට 80 ක් පමණ දැනටමත් අවසන් වී ඇති බවද සඳහන් කළහ.
තවද රටේ පවතින ඖෂධ අවශ්‍යතාවය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මෙවැනි ක්‍රමවේදයක් වඩාත් නිවැරදිව පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ක්‍රමවේදයෙන් එදිනෙදා ඖෂධ අවශ්‍යතාවය සහ ඖෂධ හිගය කලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතනවල ප්‍රසම්පාදන කටයුතු සමබන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.මෙම ආයතන තුන ඒකාබද්ධව ඉතා ඉකිමනින් අවශ්‍ය තීරණ ගෙන කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, ජලබීතිකා රෝගය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, නිර්වින්දන කටයුතු සඳහා භාවිත වන ඖෂධ සහ අසාත්මිකතාවන් සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදීගැනීමට ප්‍රමාද වීම පිළිබඳවද එවැනි අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා යොදාගතහැකි විකල්ප ඖෂධ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එසේම 1990 ගිලන්රථ සේවාව සඳහා පවතින ඖෂධ හිගය විසදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය නාලක ගොඩහේවා, මධුර විතානගේ සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.'