එහෙත් මේ වන විට එම තත්වයන් පාලනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විදෙස් රාජ්‍යයන් ගනනාවකින් සහ ජාත්‍යන්නතර සංවිධාන වල සහය ඇතිව වඩාත් පීඩාවට පත්ව ඇති කොටස් වෙත ආහාර බෙදාහැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. එය තාවකාලික විසඳුමක් වූවද එමඟින් අඩු ආදායම් ලාබීන් මේ මොහොතේ මුහුණ දෙන දුෂ්කරතාවයන් අවම කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල විශාල සහනයක්ව තිබේ.
මේ අතර රට තුළ වන ආහාර බෝග නිශ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම සහ වැඩි දියුණු කිරීම ඉලක්ක කරගත් නව වැඩ සටහනක් ආරම්බ කර ඇත. ඒ අනුව මින් ඉදිරියට රට තුළ ආහාර නිශ්පාදන තත්වයන් කල් තියා හඳුනාගැනීමත් අඩුපාඩු වෙනුවෙන් පිළියම් යෙදීමත් ක්ෂණිකව සිදු කර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම විශාල පිරිසකට රැකියා සහ ආදායම් මාර්ගද විවර කරනු ඇත.
මේ සම්බන්ධයෙන් මෙම සතියෙ චැතම් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත (Chatham Street Paper – 2022.09.25 – Chatham street) සමඟ කළ සම්මුඛ සක්ච්ඡාවක දී ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.
එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසකි මේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ආරම්භ කළා. මේ වෙනකොට එහි ප්‍රගතිය කුමක්ද?
ඇත්තටම ප්‍රගතිය හොඳටම හොඳයි. මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා නිවාස පදනම් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. හැම නිවාසයක්ම නිශ්පාදන ක්‍රියාවලියට එකතු කරන්න කටයුතු කරනවා. මේ තුළ ධීවර, කෘෂිකර්ම, වෙළඳ, සමාජ සේවා, සෞඛ්‍ය වගේ හැම අංශයක්ම නියෝජනය වෙනවා.
මේ ක්‍රියාවලිය කරන්න එක් අමාත්‍යාංශයකට බෑ. ඒ නිසා තමයි අපි බහු ආංශික යාන්ත්‍රණයක් හැදුවෙ. මේක බරපතල යාන්ත්‍රණයක්. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සභාව පිහිටුවල තියෙනවා.
ඒ වගේම ජනාධිපති ලේකම්ගේ නායකත්වයෙන් දිස්ත්‍රික් කමිටුව, අගමැති ලේකම්ගෙ යටතේ තාක්ෂණික කමිටුව, පළාත් කමිටුව, දිස්ත්‍රික් කමිටුව වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කමිටුව හා ග්‍රාම නිලධාරී කොට්ඨාස කමිටුව දක්වා අපි ඇති කරල තියෙනවා.
අපි දැනට ග්‍රාමීය වශයෙන් මේ කමිටු ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ම හදල ඉවරයි. ප්‍රාදේශීය කමිටු වගේම දිස්ත්‍රික් කමිටු හදල ඉවරයි. ඉදිරි සතියේදී අගමැති ලේකම් ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුව පැවැත්වෙනවා. ඒ වගේම ලබන මාසේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික කමිටුව පැවැත්වෙනවා.
ඊට අමතරව මේ කමිටු හරහා සෑම නිවසකටම සැලැස්මක් දෙනවා. මගේ ගෙදරටත් සැලසුමක් තියෙනවා. ඒ කියන්නෙ පවුල් ලක්ෂ 55ටම සැලැස්මක් සකස් කරනවා. මේ සැලසුම් එකතු කරල ප්‍රාදේශිය මට්ටමේ සැලැස්මකුත්, ක්‍රමයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් වගේම ජාතික මට්ටමෙන් සැලැස්මක් හදනවා.
අපි මේ වෙන කොට මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහයෝගයෙන් වෙබ් අඩවිය වගේම ජංගම දුරකතන යෙදවුමක් හදල තියෙන්නේ. මේ යෙදවුම හරහා අර සියලු සැලසුම් දත්ත පද්ධතියකට ගන්නවා.
මේ ක්‍රියාවලිය ජාතික වැඩපිළිවෙලක් විදියට අපි සතියක් ඇතුළත ක්‍රියාත්මක කරනවා. එතකොට අපි ළඟ පවුල් ඒකක ලක්ෂ 55ම සැලසුම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සැලසුම නිරන්තරයෙන් මේ යෙදවුම හරහාම යාවත්කාලීන කරන්න කටයුතු කරනවා. එතකොට අපි ගාව නිරත්තරයෙන් යාවත්කාලීන වෙච්ච සැලසුම තියෙනවා. දත්ත තියෙනවා.
මේ දත්ත හරහා අපිට පුළුවන් මේ අර්බුදය කළමනාකරණය කරන්න. උදාහරණයක් විදියට මේ දත්ත පද්ධතියේ තියෙනවා කොච්චර වට්ටක්කා වගා කරනවද කියලා. ඒ විතරක් නෙමෙයි මේ තත්වයන් නිරන්තයෙන් යාවත්කාලීන වෙනවා. කාගෙ හරි වගාව විනාශ වුණොත් ඒක පද්ධතියේ යාවත්කාලීන වෙනවා. අපි අපේ සැලසුමෙන් ඒ ප්‍රමාණය ඉවත් කරනවා. කවුරු හරි අක්කරයක් වගා කරන්න සැලසුම් කරල, අක්කර දෙකක් වගා කළොත් මේ දත්ත යාවත්කාලීනවීම හරහා අපේ සැලැස්ම වෙනස් වෙනවා. අපි අපේ සැලැස්මේ තව අක්කරයක වගාවක් ඇතුලත් කරනවා.
මේ ක්‍රියාවලිය මගින් අපිට පුළුවන් වගාවන්වල අස්වැන්න කොයි කාලෙද, කොයි ප්‍රමාණයෙන්ද ලැබෙන්නෙ කියල තහවුරු කරගන්න. ඒ විතරක් නෙමෙයි අපිට කොච්චර පොහොර ඕනෙද, කොච්චර බීජ ඕනෙද, අස්වැන්න නෙලන්න කොච්චර ඉන්ධන ඕනෙද, කොච්චර කෘෂි යෙදවුම් ඕනෙද වගේම වවන්නෙ මොනවද, අස්වැන්න ගන්නෙ කවදද, අස්වැන්න කොපමණද, ඒවට අවශ්‍ය යෙදවුම් මොනවද කියල අපිට නිවැරදිව තක්සේරු කරන්න පුළුවන්. ඒ අනුව අපිට කල්තියා සූදානම් වෙන්න පුළුවන් මේ අස්වැන්න සම්බන්ධයෙන්.
මේ ක්‍රියාවලිය අනිවාර්ය ක්‍රියාවලියක්. මේකෙන් අපිට පුළුවන් ආහාර වවන අය ගැන වෙනමම, වවල අතරමග නවත්තපු අය ගැන වෙනමම, ආහාර නැති අය ගැන වෙනමම, මන්දපෝෂණ තත්වයන්ට වෙනමම වගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. ඒ වගේමයි කිසියම් පුද්ගලයෙක් ආහාර නැත්නම් ඒ අයත් මේ හරහා හඳුනා ගන්නවා. ඒ අය වෙනුවෙන් වෙනමම වැඩපිළිවෙලක් යොදවනවා. මාසෙකට රුපියල් 15,000ක දීමනාවක් දෙන්න, අර කියපු Community Kitchen වගේ වැඩසටහන්වලට සම්බන්ධ කරන්න අපිට මේ හරහා පුළුවන්.
අපි ක්‍රියාත්මක කරන අනෙක් වැඩසටහන තමයි Peoples Shop කියන වැඩසටහන. සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙන්නෙ තරගයක්. ඒකෙන් දිනන්න බලය තියෙන්න ඕනේ. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මාකට් එක දිනන්නෙ මේ බලය නිසා. මේ තරඟය කරන්න බැරි හුඟක් අය ඉන්නවා ගම්වල. ඒ අයට ශක්තියක් නෑ. බලයක් නෑ. දුප්පත්තකම වගේ හේතු නිසා.
අපි මේ Peoples Shop හරහා කුඩා කුඩා ව්‍යාවසායකයෝ එකතු කරල මහා පරිමාණ ව්‍යාපාරයක් ගොඩනගනවා. මේකට මූලික ප්‍රාග්ධනයත් එයාලගෙන්මයි. එයාලගෙ ෂෙයාර්ස් දාලා කම්පැනි එකක් තමයි හදන්නේ. මේ වගේ කුඩා කණ්ඩායම් එකතුවෙලා කම්පැනි එකක් හැදුවහම ඒක අර මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වඩා විශාලයි. එයාලට බාගේන් පවර් ඒක තියෙනවා. මේක අළෙවිය වගේම මිළදී ගැනීම කියන දෙකම කරනවා.
අස්වැන්න අරගෙන මේ කම්පැනි එක මාකට් එකට එවනවා. ඒ වගේම මේ අයගේ අවශ්‍යතාවයනුත් Peoples Shop හරහා ලබා දෙනවා. මේ වගේ දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් මේක ව්‍යාප්ත කරල අවසානයේ ජාතික මට්ටමින් එකක් හදනවා.
නිකං හිතන්න ගම් මට්ටමින් මේ වගේ කම්පැනි 14,000ක් හැදුවොත් ඒ 14,000 එකතුව වෙච්ච මහා පරිමාණ කම්පැනි එක මොන වගේ වෙයිද කියලා. මේකෙන් කරන්නෙ පහළම අය උඩට ගැනීම. මොකද ආහාර සුරක්ෂිතතාවයේදි මුලින්ම කරන්න ඕනේ දුර්වල අය ශක්තිමත් කරන එක.