එම කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම පෙරේදා (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවීය.
ළමයින් ලිංගික අපාරාධවලට ගොදුරු වීම, අසභ්‍ය වෙබ් අඩවිවලට ළමයින් යොදා ගැනීම, සයිබර් හිරිහැර සහ කප්පම් ගැනීම්, මුදල් සඳහා ක්‍රීඩා කිරීමට ළමයින් ඇබ්බැහි වීම සඳහා සමාජ මාධ්‍ය මඟින් අහිතකර බලපෑමක් සිදු වෙතැයි ලොව පුරා හඳුනාගෙන ඇති බවත් ළමයින් සඳහා ශාරීරික දඬුවම් තහනම් කරමින් නීති සම්පාදනය කළ යුතු බවත් කමිටුව අවධාරණය කරයි.
පසුගිය දශක තුන ඇතුළත සිදු වූ සමාජ, ආර්ථික හා තාක්ෂණික විපර්යාස සැලකිල්ලට ගනිමින් ළමා ආරක්ෂාව පිළිබඳ මෙම කමිටුව විසින් අධ්‍යයනයට ලක් කර තිබේ.
අත්හැර දැමූ, නොසලකා හරින ලද, අනාථ වූ හෝ ශාරීරික හෝ ලිංගික අපයෝජනයන්ට ලක් වූ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින ක්‍රමවේදය වැඩිදියුණු කිරීම පිණිස ආයතනමය, පරිපාලනමය සහ නීතිමය රාමුව තුළ අධ්‍යයනයන් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබිණි. කමිටුව ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පැවති සාකච්ඡාවලින් පසු කමිටුව නිර්දේශ 21ක් ඉදිරිපත් කර ඇත.
දරුවන් සම්බන්ධයෙන් වන අධිකරණ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට නියමිත බවත් මෙම කමිටුව සඳහන් කරයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ජනාධිපතිවරයා යටතට ගැනීමට නියමිත අතර මව විදේශගත වීම හේතුවෙන් අවදානමට ලක්වන දරුවන් හඳුනා ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තු සංගණන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සමඟ බෙදා ගැනීමට නියමිත බවත් කමිටුව සඳහන් කරයි.
ආයතනවල සහ ළමා නිවාසවලින් පිටවන වයස 18 ඉක්මවන දරුවන් සමාජගත කිරීමේදී දරුවන්ට තොරතුරු තාක්ෂණ, භාෂා, මූල්‍ය කුසලතා ආදිය පිළිබඳ පුහුණුවක් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට මෙම කමිටුව නිර්දේශ කර තිබේ. මෙවැනි ආයතනවල සිටින දරුවන්ගේ සියයට 70ක්ම ඒවාට ඇතුළත්ව සිටින්නේ දරිද්‍රතාව නිසා බැවින් එවැනි පවුල්වල ජීවනෝපාය සංවර්ධන කළ යුතු බවත් කමිටුව පෙන්වා දෙයි.
නූතන සමාජයේ දරුවන්ගේ මානසික සහ කායික යහපැවැත්මට අහිතකර ලෙස බලපාන සාධක වන මත්පැන්, දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීමට පියවර ගැනීම මෙන්ම පාසල්වලින් මීටර් 100ක් දුරින් මත්ද්‍රව්‍ය සහ තනි සිගරට් අලෙවිය තහනම් කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හා අදාළ ගැටලු පිළිබඳ දරුවන් දැනුවත් කිරීමද කළ යුතු බව නිර්දේශ කර තිබේ.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 602ක් තුළ ළමයින් සඳහා වෙනම ඒකක පිහිටුවීමටත් පළාත් නවය තුළ ළමා පියස ඒකක 9ක් පිහිටුවීමටත් මෙම කමිටුව නිර්දේශ කර තිබේ.
මීට අමතරව, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිවාස නිවාසවල, රැඳවුම් මධ්‍යස්ථානවල සහ රජයේ අනුමත විශේෂ පාසල්වල සිටින ළමයින් සාර්ථක ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණින් “ප්‍රතිසාධන පුනරුත්ථාපන ක්‍රියාවලියක්” පිළිබඳව ද මෙම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ළමයින් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන සාධක වැළැක්වීම සහ අවම කිරීම, එවැනි දරුවන් මුහුණ දෙන ප්‍රතිවිපාක හඳුනා ගැනීම සහ වාර්තාකරණය, කළමනාකරණය සහ ප්‍රතිචාර යන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති හා නිර්දේශ ද මෙහි ඇතුළත් වේ.