මාර්ග නීති කඩකරන රියැදුරන්ට වැඩ වරදී - සෝදිසි මෙහෙයුම් CCTV ඔස්සේ

Published in පුවත්
Friday, 19 January 2024 10:34

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

එම වැරැදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බව ද ඔහු පැවසීය.

සී.සී.ටී.වී කැමරා පද්ධති කලක් තිස්සේ පරීක්ෂාවට ලක් කර මෙම තීරණය ගත් බවත් සී.සී.ටී.වී. කැමරා සවිකර ඇති ස්ථානවල සිටින රථ වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන්ගේ වැරදි අනාවරණය කර ගැනීමට වඩා තුන්සිය ගුණයක් සී.සී.ටී.වී කැමරා ඔස්සේ සිදු කළ නිරීක්ෂණයන්ගෙන් හසු වී ඇති බව ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) බත්තරමුල්ල සුහුරුපායේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන ලිංගික හිංසන සහ අතවර සම්බන්ධයෙන් දැනුම් දීමට ක්ෂණික දුරකතන අංක 109 ලබාදී ඇති බවත් ඒ හරහා පැය 24 තුළම සිදුවන හිරිහැර, අතවර දැනුම්දීමට හැකි යැයි ද එම ඇමතුම් ලබා ගැනීමට කාන්තා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් එබැවින් නොබියව ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසත් වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය. ඊට අමතරව කාන්තාවන්ට සිදුවන හිරිහැර, අතවර සම්බන්ධයෙන් ඇති ලිඛිත සාක්ෂි හෝ පටිගත කර ගත් දර්ශන, ඡායාරූපවලින් පැමිණිලි කළ හැකි බවත් ඒවා පොලිස් ඊමේල් ලිපිනයට ලබා දීමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.

මෙරට තුළ 2023 වසරේ බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝපට ලක්ෂයකට වඩා අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් මෙම දර්ශන මුදාහැර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ඒ තුළින් වඩාත් ඵලදායි කාර්යක්ෂම සේවාවක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් එම කාර්යාලයේ සිදුකරන වැඩපිළිවෙළ තවදුරටත් වේගවත්ව, ක්‍රමවත්ව කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළේ හඳුනා ගැනීමේ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවත් ඔවුන් මොනම ආකාරයකින් හෝ ගුවන්තොටුපොළින් පිටව යෑමට උත්සාහ කරන්නේ නම් ඒ තුළින් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගත හැකි යැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. මෙම ක්‍රමය තුළින් යම් සංවිධානාත්මක අපරාධකරුවකු වෙස්වළාගෙන, තම රූපය වෙනස් කර ගැනීමකින් හෝ කුමන ක්‍රමයකින් ගුවන්තොටුපොළින් පිටව යෑමට උත්සාහ කළ ද වහාම හඳුනාගත හැකි යැයි ද වැඩ බලන පොලිස්පතිවරයා කීය. ඒ අයුරින්ම මූල්‍ය වංචා සිදුකර ඇති පුද්ගලයන් ද මෙරටින් පලා යෑමට නොහැකි ලෙස එම දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සිදු කරන බව ද කීය. මධ්‍යම පන්තියේ ජනතාව ආයෝජනය කරන මුදල් එකතු කරන කුඩා මූල්‍ය සමාගම් මෙලෙස විශාල මුදලක් එකතු කර ගැනීමෙන් පසු රටින් පලා යෑමේ තත්ත්වයන් පාලනය සඳහා මෙම පියවර ගන්නා බව ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

සංවිධානාත්මක අපරාධ සිදුවන පොලිස් වසම් 38ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එම පොලිස් වසම්වලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබා දෙමින් එම පොලිස් වසම්වල අපරාධකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

මෙරට සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් කමිටු 14,022ක් ස්ථාපිත කර ඇති බවත් එම සෑම ප්‍රජා පොලිස් කමිටුවකම නිල බලයෙන් එම ග්‍රාමසේවා වසමේ තරුණ සංවිධානයේ සභාපතිවරයාට ප්‍රජා පොලිස් කමිටුවේ උප සභාපති ධුරය ලබාදීම මඟින් තරුණ සහභාගිත්වය වැඩි කර ඇතැයි ද පැවසීය. ප්‍රජා පොලිස් කමිටු සඳහා කාන්තා දායකත්වය සියයට පනහක් දක්වා වැඩි කරන ලෙස උපදෙස් දී ඇති අතර මේ සියල්ලෙන්ම සිදු වන්නේ අදාළ පොලිස් වසම් තුළ සිටින පුද්ගලයන් හඳුනා ගැනීමත් මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬලීමත් බව ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය සඳහා කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ තිබූ ගොඩනැඟිල්ලක් නවීකරණය කරමින් පොලිස් නිලධාරීන් 1500කට නවාතැන් ගත හැකි ලෙස සකස් කර ඇති බවත් ඒ තුළින් යම් යම් නිල කටයුතු සඳහා කොළඹට පැමිණෙන පොලිස් නිලධාරින්ගේ සුබසාධනය සිදුකර ඇතැයි ද එලෙසම පොලිස් නිලධාරින්ගේ භට නිවාසවල තත්ත්වයද යථාවත් කිරීමත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මේ වන විටත් සිදුකරමින් ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

පොලිසිය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් වහාම පොලිස් සේවයෙන් ඉවත් කිරීම සිදුකරන බව ද පැවසූ වැඩ බලන පොලිස්පතිවරයා ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඔවුන්ට කඩිනමින් විනය පරීක්ෂණයක් සිදුකර පොලිස් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන බව ද කියා සිටියේය. මින් පසු පොලිස් සේවයට බඳවා ගන්නේ මත්ද්‍රව්‍ය භාවිත නොකරන පුද්ගලයන් බවත් ඒ සඳහා පොලිස් සේවයට එක්වන පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයකු ද යන්න පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් තමාට උපදෙස් ලැබී ඇති බවත් වැඩ බලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.

මේ වන විට වසර හතළිහක කාලයක් තුළ මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන පුද්ගලයන් හඳුනා ගැනීමේ විශාල ගැටලුවක් ඇති බවත් නමුත් මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයන් 4294 දෙනකු හඳුනාගෙන තිබෙන බවත් වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය. එම පුද්ගලයන්ගෙන් මේ වන විට 1293 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද එනම් යුක්තිය මෙහෙයුමෙන් මෙම මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සියයට හැට පහක ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට මත්ද්‍රව්‍ය ජාලය බිඳවැටී ඇති බවත් වෙළෙඳපොළ තුළ සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම තුළින් විෂ මත්ද්‍රව්‍ය මිල ඉතා ඉහළ ගොස් ඇතැයි ද පැවසීය. ඒ අනුව මේ වන විට එදා රුපියල් 2000කට තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුව අද රුපියල් 6000ත් – 70000ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවට තමාට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. එලෙසම මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමඟම මත්ද්‍රව්‍ය බෙදා හැරීමට එක්වන නවකයන් ද අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන් සිදු කරමින් මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

යුක්තිය මෙහෙයුම ආරම්භ කළ පසුගිය දෙසැම්බර් 17 සිට මාසයක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් කිලෝ 73ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 206ක්, කොකේන් ග්‍රෑම් 948ක්, අබිං කිලෝ 49ක්, හෂීස් කිලෝ 7ක්, ඈෂ් කිලෝ 36ක්, ගංජා කිලෝ 655ක්, වශයෙන් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය. ඒ අනුව යුක්තිය මෙහෙයුම යටතේ මාසයක කාලයක් තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතුරින් සැකකරුවන් 1,703කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1,867ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 4791ක් බවත් වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගන්නා සියලු දෙනාම බන්ධනාගාරගත නොවන බවත් සැකකරුවන් පුනරුත්ථාපනයටත් ඇප ලැබීමත් හේතුවෙන් මේ වන විට බන්ධනාගාරගතව ඇත්තේ 5000ක පමණ පිරිසක් බවත් තමන්ට තොරතුරු ලැබී ඇතැයි ද බන්ධනාගාරවල ඉඩ මදි වීම යුක්තිය මෙහෙයුම නැවැත්වීමට කාරණයක් නොවන බව ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

මෙරට පොලිස් ස්ථාන 607ක් තිබෙන බවත් එම සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි පුනරුත්ථාපන මධ්‍යස්ථාන 300ක් ආරම්භ කර ඒ යටතේ 15,000ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පෙබරවාරි මස සිට ආරම්භ කරන බව ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. මෙම අලුතෙන් ආරම්භ කරන පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහා ආගමික නායකයන්, ස්වේච්ඡා සේවකයන් උපදෙස් දීමේ කටයුතුවලට මේ වන විටත් සහභාගි වීමට කැමැත්ත පළ කර ඇතැයි ද ඒ තුළින් මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩපිළිවෙළට ශක්තියක් වනු ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා කීය.

හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් මෙරට පාසල් පද්ධතිය තුළ කිසිදු ගැටලුවක් පැන නැඟී නැති බවත් එවැනි මත්ද්‍රව්‍ය භාවිතයක් සම්බන්ධයෙන් වාර්තා වී නැති බව ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය. නමුත් මෙරට පාසල් පද්ධතිය තුළට වෙනත් මත්ද්‍රව්‍ය එනම් දුම්කොළ සහ ගංජා ආශ්‍රිත නිෂ්පාදන ඇතුළුවීම වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් පෙබරවාරි 05 වැනි දින පාසල් ආරම්භ කරන විට මෙරටේ කිසිදු පාසලක් ආසන්නයේ හෝ පාසලකට මත්ද්‍රව්‍යක් ඇතුළුවීම වළක්වා ඇතැයි ද හෙතෙම පැවසීය. මේ වන විට පාසල් අවට මීටර 500ක දුරින් සියලු වෙළෙඳසල් සහ අනෙකුත් ස්ථාන පරීක්ෂාවට ලක්කිරීම මෙන්ම වෙළෙඳසල් හිමියන් දැනුවත් කිරීම සිදුකර ඇතැයි ද එලෙසම පාසල් බස් රථ සහ ත්‍රිරෝද රථ රියැදුරන් ද දැනුවත් කර ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා විසින් මෙරටට හෙරොයින් කිලෝ 4000කට වැඩි ප්‍රමාණයක් ගෙනවිත් රට පුරා බෙදා ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති බවත් හරක් කටා සමඟ දුරකතන සබඳතා පැවැත්වූ 163 දෙනකු හඳුනාගෙන ඔවුන් සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. එලෙසම කුඩු සළිඳු නමැත්තා සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරමින් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

-දිනමිණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us