රාජපක්ෂගේ අවපාලනය වෙනුවට වගවීමක් ඇති පාර්ලිමේන්තු ක්‍රමයක්. - රනිල් වික්‍රමසිංහ

Published in පුවත්
Wednesday, 22 April 2015 10:29

යුද්ධයක් හෝ විප්ලවයක් දිනීමෙන් පසු සාමය අහිමි කර ගැනීම, අපේ කාලයේ රුදුරු දේශපාලනික සත්‍යයක් බවට පත්ව තිබේ. සදාම් හුසේන් පරදා ඉරාකයේදී ලද ක්ෂණික හමුදාමය ජයග්‍රහණය පෙරලා තුඩුදුන්නේ කැරලිකාරීත්වයට, සිවිල් යුද්ධයට සහ මිනීමරු ‘ඉස්ලාමීය රාජ්‍යයක’ නැගීමටයි. ලිබියාව, සිරියාව, යේමනය සහ තවත් තැන්වල අරාබි වසන්තය හරහා මුදාහල අපේක්ෂා බොහෝ කොට ප්‍රචණ්ඩකාරී ඉච්ඡා භංගත්වයකට පාර කපා ඇත.

අද, 36 අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව අඩ දශකයක් ගතව ඇති මොහොතක, සාමය ස්ථාපිත කර ගැනීමේ සහ දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්කර ගැනීමේ තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකාව මැදිව සිටී. නවතමයෙන් තෝරා පත්කර ගනු ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අගමැති වශයෙන් මමත්, එම සාමය ජය ගැනීමේ මෙහෙවරට අධිෂ්ඨානශීලීව කැපව සිටිමු. එලෙසින් අපේ රට, කවදත් පත්විය යුතුව තිබූ තත්වයට, එනම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ශිෂ්ටත්වය රජයන විවෘත සමාජයක් සහිත සමෘද්ධිමත් ආසියාතික දීපයක් බවට පත්කිරීමට අපි උර දී සිටිමු.

සාමය උදා කර ගැනීමට අසමත් වීමේ අවදානම් දැනෙන්නේ දැන් ය. මන්ද යත්, දෙමළ කොටි සංවිධානය සමග කළ යුද්ධය, ප්‍රචණ්ඩත්වයේ යෝධ සන්ත්‍රාසයකින් නිමාවකට පත්වූ පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අපේ දෙමළ රටවැසියන් සමග සහජීවනය වෙනුවෙන් කෙළේ නොකෙරෙන වෙදකම් පමණි. යුද්ධයෙන් විනාශයට පත් දෙමළ දිස්ත්‍රික්ක සේම, ත්‍රස්තවාදය සහ ගැටුම්කාරී තත්වයෙන් විනාශයට පත් රටේ සෙසු පළාත්ද නැවත ගොඩනැගීම ඇරැඹී ඇත්තේ අල්ප වශයෙනි.

ඒ නොසැළකිලිමත් ප්‍රමාදය, රාජපක්ෂගේ චේතනාන්විත උපාය මාර්ගයක කොටසක් විය. ලංකාව අර්ධ-යුදකාමී තත්වයක පවත්වා ගැනීමත්, අපේ දෙමළ රටවැසියන් දුක්ඛිත සහ පරාරෝපිත ජනතාවක් සේ රඳවා ගැනීමත්, තම යකඩ පාලනයට වඩාත් උචිත වේ යැයි රාජපක්ෂ කල්පනා කෙළේය. එහෙත් පෙර නොවූ විරූ බල කන්දරාවක් තම අතේ ගොනු කර ගැනීම සඳහා පාවිච්චි කළ, ඒ බෙදා වෙන්කර පාලනය කිරීමේ උප්පරවැට්ටිය යම් කාලයකට සාර්ථක වුවද, සමාජය භේදකාරී වීමේ සහ එක දිගටම දරිද්‍ර වීමේ සත්‍යය වැසැංගීමට ඔහුට නුපුලූවන් විය. එසේ හෙයින්, පසුගිය ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේදී, තවදුරටත් අධිකාරීවාදී පාලන මගක යාමට අකමැති, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කර ගැනීමේ ආශාවෙන් පෙලූණු සෑම ආගමික සහ වාර්ගික ප්‍රජාවකගෙන්මත් සමන්විත ජයග්‍රාහී සභාගයක් බිහි කිරීමෙන් මෛත්‍රිපාල සිරිසේන ලොව මවිත කෙළේය.

ඔහුගේ ජයග්‍රහණයේ සිට ගත වූ මාස කිහිපය තුළ ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කෙරී ඇත. ස්ථායී දේශීය සාමයක් ඇති කිරීමේ දුෂ්කර කර්තව්‍යය ඇරැඹී ඇත. රාජපක්ෂගේ අවපාලනය වෙනුවට, ආණ්ඩුව වගවීමෙන් බැඳ තබන, මුළුමණින් සක්‍රීය පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරනු වස්, නියමිත කාලයට වසරකට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අපි සැලසුම් කොට ඇත්තෙමු.

තවද, ජනාධිපති බලය තනි පුද්ගලයෙකුගේ හිතුමතයට නොව, නීතියට අනුව අභ්‍යාස කෙරෙන තත්වයට පත්කෙරී තිබේ. අපේ විනිසුරුවරුන් තවදුරටත් දේශපාලනික බලාධිකාරයක් පිළිබඳ බියෙන් පසුවන්නේ නැත. තමන්ගේ ව්‍යාපාර ජනාධිපතිවරයාගේ තණ්හාධික පවුලේ සාමාජිකයන් සහ වෙනත් හෙංචයියන් විසින් අත්පත් කරගනිතියි යන බියක් අද අපේ ව්‍යාපාරිකයන්ට නැත.

අපේ පුරවැසියන්ව බියෙන් නිදහස් කරගන්නා අතරේ ශ්‍රී ලංකාව නිදහස් සමාජයක් සේ අපි ගොඩනගමු. රාජපක්ෂ අපේ රටට හඳුන්වා දුන්නා වූද, මේ දිනවල ලෝකයේ බොහෝ රටවල් වැළඳගන්නා බවක් පෙනෙන්නා වුද, ධනවාදයේ අධිකාරීවාදී ආදර්ශය අපට නොගැලපෙයි.

එහෙත් අපේ ඇතැම් අසල්වාසීන් අපෙන් ඉල්ලා සිටින්නේ එවැනි මාර්ගයක් ගන්නා ලෙසයි. ආර්ථිකය පිළිසකර කිරීම හැරුණු කොට, දේශපාලනික නිදහස යළි ස්ථාපිත කිරීම සඳහා වැඩිමනත් කරදර විය යුතු නැතැයි ඔවුහූ කියති. එහෙත් අධිකාරීවාදී පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් අපට ඇති අත්දැකීම වන්නේ, අපේ සමාජයේ පවතින වෙනස්කම් කෘත්‍රීම ආකාරයකින් පවත්වා ගැනීමට එම අධිකාරීවාදයට ඇති අවශ්‍යතාව විසින්, පශ්චාත්-ගැටුම්කාරී අවධියකට අවශ්‍ය කරන ජාතික සංහිඳියාව සහ සමාජය යළි ගොඩනැගීමේ ඒකායන ඉලක්කයම ඉඳුරා පරාජය කෙරෙනු ලබන බවයි. යුද්ධයක් සහ අත්තනෝමතික පාලන තන්ත්‍රයක් වෙත නැවත නොයාමට ඇති හොඳම ක්‍රමය වන්නේ, ශ්‍රී ලංකාවේ නායකයන් නියෝජනාත්මක ආයතන පද්ධතියක් හරහා ජනතාවට වගවන බවට සහතික වීමයි.

එහෙත් අත්තනොමතිකත්වය මුළුමණින් ආපසු හරවමින්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සකල අරුතින් ස්ථාපිත කොට අපේ ආර්ථිකය යළි ගොඩනැංවීම අපට තනිව කළ හැක්කක් නොවේ. අපේ රටේ සම්පත්වලින් විශාල කොටසක් යුද්ධයෙන් විනාශයට පත්ව ඇත. දූෂණය හරහා තවත් ධනස්කන්ධයක් රට පටවා ඇත. කොටින්ම, බාහිර සහායකින් තොරව දේශය යළි ගොඩනැගීමේ යෝධ කාර්යභාරයට උර දීමට අවශ්‍ය කරන මෙවලම් අප සතුව නැත.

එසේ හෙයින්, ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මේ මොහොතේ අප සමග එකට සිටිය යුතුය. ඔවුන්ගේ සහාය අපට අවශ්‍ය කෙරේ. එසේ නොවුවහොත්, රටේ ජනතාව අධෛර්යට පත්විය හැකිය. ඊළඟ මැතිවරණය හරහා නැවත බලයට කුරුමානම් අල්ලමින් සිටින ප්‍රජාපීඩක බලවේගවලට ඔවුන් ගොදුරු විය හැකිය. දීර්ඝ කාලීන සාමයටත්, හවුලේ භුක්ති විඳිය හැකි සමෘද්ධියටත් ඇති ඒකායන මාර්ගය වන්නේ, ජාතික සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය, අනෙකා ඉවසීම සහ නීතියේ ආධිපත්‍යය වන බව අපේ ජනතාවට අප පෙන්නුම් කර දිය යුතුය. එහෙත් අවාසනාවට, මේ දක්වා අපට ලැබී ඇති සහාය, රට නැවත ගොඩනැගීම සඳහාත්, ලෝකය තුළ අපේ උපායමාර්ගික පිහිටීම යළි සැකසීම සඳහාත් මගේ ආණ්ඩුවට අවශ්‍ය කරන තරමට ප්‍රමාණවත් වන්නේ නැත.

එසේ වෙතත්, අපේක්ෂා දල්වා ගැනීමට තවමත් අවස්ථාව තිබේ. අපේ දේශපාලනික ආයතන රැඩිකල් පිලිසකර කිරීමකට ලක්කළ යුතු වෙතත්, මා ආඩම්බරයෙන් කිව යුතු එක දෙයක් තිබේ. එම ආයතන අන්තයටම දූෂණය කොට, මදයක් නැති පොත්තක් බවට ඒවා පත්කිරීමට රාජපක්ෂ හැම වීරියක්ම ගෙන තිබුණත්, මැතිවරණ කොමිසම සහ අධිකරණ නිලධාරීන් නීතියට අවනත වූ බැවින් අපේ ජයග්‍රහණය සාක්ෂාත් කරගත හැකි විය. ඒ හා සමානවම, ව්‍යවස්ථා විරෝධීව මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරමින් බලයේ රැඳී සිටීමට, ඡන්ද ගණන් කරන අවස්ථාවේ රාජපක්ෂ ගත් උත්සාහය අපේ හමුදා නායකයන් නිර්භීතව වළකාලමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට ඔවුන් දී ඇති ප්‍රතිඥාවන්ට අනුගතව කටයුතු කළ බවත් කිව යුතුය.

ශ්‍රී ලංකා රාජ්‍යය සහ සමාජය යළි පිහිටුවීමේ ශක්තිමත් පදනමක අංග වන්නේ එවැනි පෞර සුරුවිරුකම් ය. ලෝකයාගේද උදව්වෙන් අප සරිකර ගනු ඇත්තේ අන්න ඒ පදනමයි.


2014 අප්‍රේල් 14 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ We Will Rebuild Sri Lanka As A Free Society (අපි නිදහස් සමාජයක් සේ ශ්‍රී ලංකාව ගොඩනගමු)

නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us