අධ්‍යාපනයට සංස්කෘතිය ඇමිණූ ජීව විද්‍යාත්මක ක්‍රමය

Published in Gossip
Wednesday, 07 October 2015 21:43

මේ කාලයේ හැම දෙයක්ම දෙමුහුන්ය. ඒ කියන්නේ හයිබ්‍රීඩ්ය. තවත් තේරෙන බාසාවෙන් කියන්නේ නම් හැම දෙයක්ම තවත් දෙයක හැමනිලාය. යා දෙක නොරත රත සමඟ පෑසීමක් නැත, කිවාට ඒක දැන් පරණ කතාවකි. අලගියවන්න මුකවෙටිතුමා දන්න හරිය ඔච්චරය.

දැන් නොපෑහෙන දේවල් යස අගේට පැහෙයි. එජාපයයි ශ්‍රී ලනීපයයි එකට එකතුවෙලා ආණ්ඩු කොරයි කියා කවුරුවත් හිතුවේ නැත. ඒත් දැන් ඔය කොරන්නේ. කොළ කවුද නිල් කවුද කියා බේරගන්න තියා රතු කවුද කියාවත් දැන් හොයන්න බැරිය.

කොහොම හරි කියන්න ගියේ අලුත් ආණ්ඩුවේ ඇමැතිකම් බේදිල්ල ගැනය. මහා මාර්ගයි විශ්ව විද්‍යාලයි එකම තැනකට ගිය එකටත් ගහට ගිය මිනිහාට කියන්න දෙයක් තිබුණා වාගේ හේතුවක් තිබිණි. ඒත් සංස්කෘතියයි, පාස්පොර්ට් කන්තොරුවයි, අයිඩෙන්ටි කාර්ඩ් කන්තොරුවයි එකට පැහුණේ ඔහොමදැයි තාම කවුරුවත් දන්නේ නැත.

ඒක හොයන්න අගිය අල්ල පනල්ලේ අධ්‍යාපනයට සංස්කෘතියේ ලොකුම කැලි ටික ඇමිණුන හැටි තවත් අපූරු හැමනිල්ලකි.

ආණ්ඩුව හැදුවාට ඇමැති මණ්ඩලයේ ලොකු පොඩි කම් දැන ගන්න මාසයකම ගියේය. ඒ ඒ ඇමැතිකම් වලට ඒ ඒ ආයතන පවරන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් සොයා ගැනීමට කල්ගිය නිසා එහෙම වෙන්ට ඇති බව හුදූ ජනයා කල්පනා කළාද අපි දන්නේ නැත.

මේ ආයතන පැවැරීම කළේ මණ්ඩලයකිනි. මණ්ඩලයට යහපාලන ලොක්කාත් ලොක්කාගේ පාසල් මිතුරාත් තවත් විශ්වාසවන්තයින් කිහිප දෙනෙක්ද සිටියේලු.

ඒ කවුරු හිටියත් අධ්‍යාපනේට, සංස්කෘතියේ ලොකු කෑල්ල ඈදුනේ ජීව විද්‍යාත්මක සිද්ධාන්තයකට අනුවලු. එක කොහොම වෙතත් අන්තිමට ගැසට් එක ලොකු තැනගේ අනුමැතියට යැවිනි. පෑන් ඉරි තොගයක් ගසා ආපසු එවා තිබු අතර අධ්‍යාපනයට ඇමිණූ සංස්කෘතියද කැපී තිබිණි.

මළ හත් ඉලව්වකි. ඒක දැන ගත්තු වෙලේ ඉඳන් එකෙක් බිම හැපි හැපී අඬන්න ගත්තේ මිනිහා දාලා ගිය ගෑනියකු වාගේය. 'මං ඒකට ආසයිනේ. ඒක මට ඕනෙමයි, ඔයා හරි නරකයි, ඒක දෙන්නැත්තම් මේකත් එපා, ඔයාවත් එපා., අනේ අයියේ එක මට කොහොම හරි අරං දෙන්නකෝ....." කඳුළු පෙරමින් මේ අඬන හැටි දැක්කාම කාටද දුක නොහිතෙන්නේ. යහපාලන ලොක්කා ගේ ටිකිරි මොලේට මතක් වුණේ දඩු ඇමැතියාය.

'අනේ කොහොම හරි ලොකු තැනට කියලා මේක කරල දෙන්න. මේක මට ලොකු ප්‍රශ්නයක්..'
දඬු ඇමැතියා ලොකු තැන හමුවෙ කීවේ. 'අරක පවුල් ප්‍රශ්නයක් . රටේ සංස්කෘතියට, සංස්කෘතිය නැති වුණට කමක් නෑ.. මේ අහිංසක පවුල කඩා ඉහිරවන එක මේ වෙලාවේ හොඳ වැඩක් නොවේ'. කියාය. ලොකු තැන ගේ අනුකම්පාවද දොරේ ගලා ගොස් මේ පවුල යළි එක් කළේය.

අන්තිමට, සංස්කෘතියෙන් කරන්න දෙයක් නැති නිසා වරියපොළ ගොයියාට පාස්පොර්ට් කන්තෝරුවයි, අයිඩෙන්ටි කාර්ඩ් කන්තොරුවයි ලියා දීලා ඒ වැඩෙත් ෂේප් කරගෙන ගැසට් එකට අත්සන් කළේ විශ්වකර්මගේ වාස්තු විද්‍යා ඥානයෙන් ආණ්ඩුවේ අත්තිවාරම සකසාගෙනය.

Last modified on Wednesday, 07 October 2015 22:43

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us