ස්ත්‍රී රූපය අධිමානුෂීයත්වයට නංවා, වාණිජ්‍ය ස්ත්‍රී නිරූපණයට අභියෝග කිරීම

Published in කලා
Saturday, 24 October 2015 09:43

2004 හා 2010 වසරවල ලයනල් වෙන්ඩ්ට් දෘශ්‍ය කලාගාරයේ පැවැති කලා ප්‍රදර්ශනවල ප්‍රදර්ශිත සිතුවම් දෙකකි මෙහි දැක්වෙනුයේ. චිත්‍ර ශිල්පිනී චමරි තපස්වරගේ තරුණියයි.

පින්තාරු හා ඇඳීම් (paintings and Drawings) 2010, නමින් වූ ප්‍රදර්ශනයට අයත් ඉහත සිතුවම කොලාජ් මාධ්‍යයෙන් එනම් කැන්වසය මත කඩදාසි අලවා එමෙන්ම ඇක්‍රලික් මාධ්‍යයෙන් වර්ණ ගන්වමින් නිම කරන ලද්දකි. ඒ අනුව මෙම සිතුවමේ ශිල්ප ක්‍රමය “මිශ්‍ර මාධ්‍ය” ලෙස හැඳින්වේ.

මෙම සිතුවමේ දී චිත්‍ර ශිල්පිනිය අපට අභිමුඛ කරනුයේ ස්ත්‍රී රූපයකි. නරඹන්නන්ගේ නෙත් දෙස ඇය ඍජුව බලා සිටී. ඇයගේ දේහ විලාසයෙන් විද්‍යමාන වනුයේ තේජමානීය බවකි. එය ඉන්දීය හා ලාංකේය ඓතිහාසික කලාවේ දී හමුවන දේවතා හෝ යක්ෂණී රූපවල ප්‍රකාශන ගුණයට අනුව යන්නකි. එනම් එම රූපවල ප්‍රකාශනාත්මක ගුණය සමකාලීන සිතුවම් තුළට ගළපා ගැනීමට ගනු ලැබු උත්සාහයකි. උණුසුම් වර්ණ පදාස පෙර හා පසුබිම පිහිටුවමින් මෙම සිතුවම ගොඩනඟා ඇති ආකාරය දැකිය හැකිය. එමෙන්ම සැරසිලිමය රූපික අංග ද වේ. පෙරබිමෙහි රතට හුරු වර්ණ පදාසවලට ඉඩ දී එහි සැඟවෙන ලෙස සියුම් රේඛාමය ඇඳීම් භාවිත කර ඇති ආකාරය ද සිතුවමේ චිත්‍රමය ලක්ෂණ තුළ නිරීක්ෂණය කිරීමට පිළිවන.

women-1

ස්ත්‍රී ශරීරය යනු ධනෝද්පාදිත මිණි ආකරයක් ලෙස වෙළෙඳපොළ තුළට නතුකර ගත් ඉක්බිතිව මුද්‍රිත තාක්ෂණය ද එහි එක් ධන උපක්‍රමයකි. මෙහි දී සිතුවමට රැගෙනවිත් ඇත්තේ මුද්‍රිත වෙළෙඳ උපක්‍රමික සඟරා පිටුවක නාරි නිරූපණයකි. එහෙත් සිතුවම මත එම නාරි රුව වහ වහා දිව්‍යමය ඉඟි සහිත කාන්තා රූපයක් බවට පරිවර්තනය වේ.

මානවීයතාව අවප්‍රමාණික වූ සන්දර්භයක රූපික පිහිටුවීමක සිට ඊට ප්‍රතිපක්ෂව සිතුවම තුළ දී ස්ත්‍රී රූපය අධිමානුෂීය තලයකට රැගෙන එයි. සිතුවමින් මතු කරනු ලබන සංවාදය වනුයේ මෙම ප්‍රතිපාර්ශ්වීය සන්දර්භමය රූපික පිහිටුවීමයි. එකම ස්ත්‍රි රූ නිරූපණයක් මේ අයුරින් ප්‍රකාශනාත්මකව මානවීය අරුතින් ගොඩනැඟීම යනු සිතුවමේ ප්‍රබල තේමාත්මක එළඹුමක් ලෙස දැකිය හැකිය. පෙර බිමෙහි වර්ණිත හැඩතල මත රේඛාවෙන් චිත්‍රණය වී පවතිනුයේ මහී කාන්තා නිරූපණයයි. ඓතිහාසික කලාවක සංකේති අංගයක් වූ කාන්තා රුවක සංඥාව මෙහි දී සිතුවම තුළින් මතු කරයි. එය නැවත සමකාලීන චරිත හැසිරුමක් සමඟ ගැටෙන්නට සිතුවම තුළ දී ඉඩ හරී. ඒ අනුව සමකාලීන මොහොතක ස්ත්‍රිය නිරූපණය වීමේ, ස්ත්‍රිය පෙනී සිටීමේ සමාජමය සැකසුම දෙස විවෘත මනසකින් යුතුව පරීක්ෂාකාරී වීමේ සිතීමකට සිතුවම් රසිකයාගේ සිතුවිලි අවදි කරවයි. පාරිභෝගික සමාජ සැකසුමක් තුළ වාණිජමය අරමුණු අපේක්ෂිතව පුරුෂ කේන්ද්‍රිය චින්තන ලෝකයක් තුළින් ගොඩනංවනු ලබන, අනන්‍යතා ගන්වනු ලබන ස්ත්‍රී නිරූපණය මෙහි දී අභියෝගයට ලක්කිරීමක් සිදු කරයි. සරාගිකත්ව ප්‍රතීයමාන කළ ස්ත්‍රී රූපයම නැවත සිතුවම තුළ ස්ත්‍රිත්වයේ ශක්තිය දරාගෙන තේජමානීව නැඟී සිටී.

දිව්‍යමය ගැහැනිය (Divine Woman) 2004, කලා ප්‍රදර්ශනයට අයත් වූ මෙහි දැක්වෙන දෙවන සිතුවම තුළ අප දකිනුයේ චිත්‍ර ශිල්පිනිය ඇගේම සිරුර කැන්වසය මත කලා ප්‍රකාශනයට අදාළ කරගත් අවස්ථාවයි. කැන්වසය මත තෙල් සායම් හා ඇක්‍රලික් මාධ්‍යයෙන් නිමකර ඇති මෙම සිතු‍වමෙහි රූපික පිහිටුවීම ත්‍රිභංග කාය විලාසයක් දක්වන දිව්‍යමය චරිත සිහිපත් කරවන්නකි. ස්ත්‍රි නග්නත්වය කැන්වසයක් මත චිත්‍රණය බොහෝ විට පිරිමි සිත්තරුන් අතින් සිදුවන ක්‍රියාවකි. ස්වභාව ධර්මයේ සුන්දරත්වය චිත්‍රයට යොදාගන්නා පරිදිම ස්ත්‍රි සුන්දරත්වය ද ඔවුහු අභිරුචියෙන් චිත්‍රණය කර දක්වති. මෙහි දී සිදුකර ඇත්තේ චිත්‍ර ශිල්පිනිය ස්වකීය රූප කාය සිතුවම මතට ගෙන අභිරූපණමය ලෙස ඉදිරිපත් කිරීමකි.

එහිදී සිත්තරුන් අතින් චිත්‍රණය කෙරෙන කාන්තා රූපයක ශෘංගාරාත්මක සංඥා ඉවත් කෙරේ. චිත්‍ර ශිල්පීන්ගේ ලෝකයක් තුළ ප්‍රාර්ථනා කරන ස්ත්‍රී රූපය මතු නොවේ. මෙම සිතුවමත් සමඟ සිත්තරුන්ගේ කාන්තා නිරූපණ යනු ඔවුන් වෙත ගෝචර නොවන විෂය ප්‍රදේශයක් බවට පත්කරයි. මෙම කරුණ පැබ්ලෝ පිකාසෝ තම පරිණත අවධියේදී තේරුම්ගත් ආකාරය “වැලැපෙන ස්ත්‍රිය” සිතුවමින් පැහැදිලි වේ. එමෙන්ම ජගත් වීරසිංහගේ “ගැහැනිය ඇඳීමේ නොහැකියාව” සිතුවම් ප්‍රදර්ශනයේ කලා කෘති පෙළ මෙහි දී සිහිපත් වේ.

women-2

චමරිගේ සිතුවම් කලාව තුළ පොදුවේ දැකිය හැකි ලක්ෂණයක් වනුයේ චිත්‍ර ශිල්පිනියක ලෙස ස්වකීය කලා ක්‍රියාකාරිත්වයට තම ජීවිතයට සමීපව වස්තු විෂය තෝරාගන්නා ආකාරයයි. එමෙන් ම මානව රූපය ඇඳීමේ, පින්තාරු කිරීමේ කැමැත්ත එම සිතුවම් තුළින් දැකගත හැකිය. සමකාලීන කලාව අත්පත් කරගනු ලැබු සාධනීයතා මෙන්ම කලා ඉතිහාසයේ ආලෝකය ද ඇය තම කලාවට ගන්නා ගනු ලබන ආකාරය දැකිය හැක. “දුර්ගා මහීෂ මර්දනී” නම් දකුණු ඉන්දියානු ඓතිහාසික කලාවේ හමුවන දෘශ්‍ය කලා තේමාව ද බොහෝ විට සිතුවම් සමඟ ගළපා ගැනීමට ගත් උත්සාහය ඇගේ සිතුවම් තුළ වේ. විසි එක්වැනි සියවසේ දී විකසිත වීමට විසිවැනි සියවස අගදී මෙරට දෘශ්‍ය කලාවේ පැවැති ප්‍රබෝධය, පූර්වාදර්ශ, චමරිගේ පරම්පරාවට බලපා ඇති ආකාරය පැහැදිලිය.

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලද චමරි, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිය හිමිකර ගනුයේ 2000 වසරේදීය. එතැන් සිට 2001 දී මියැදෙන ගැහැනිය (Dying Woman), මගේ ලෝකය (My world), 2005 දී දිව්‍යමය ගැහැනිය (Divine Woman), 2010 දී පින්තාරු හා ඇඳීම් (Paintings and Drawings) ආදි ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශන ඇය විසින් ඉදිරිපත් කර ඇත.

women-3

2000 වසරේදී චිත්‍ර කලාව සඳහා රාජ්‍ය සම්මානයත්, එම වසරේදීම වසරේ විශිෂ්ටතම චිත්‍රකලා කෘතිය සඳහා පිරිනැමෙන සම්මානයත් චමරි විසින් හිමකර ගන්නා ලදී. ලුම්බිණි විද්‍යාලයේ චිත්‍රකලා ආචාර්යවරියක ලෙස කටයුතු කළ ඇය මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ චිත්‍ර කලාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

සිසිර කුමාර මහගම

silumina

Last modified on Saturday, 24 October 2015 09:45

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us