ගම්පොළ වැළිගඟ බෙර දවුල් හා වංගෙඩි කර්මාන්තයේ පිරිසක් ජීවත් වෙති. එම ජනතාව සිය සහජ දක්ෂතාවෙන් ජීවන රටාව ගොඩනගා ගන්නට යත්න දරන්නේ කිසිවෙකුටත් අතනොපා ජීවත්වන සිය පාරම්පරික උරුමයන්ට ද වටිනාකම් දෙමින්! ය. අලංකාර බෙර, දවුල්, තම්මැට්ටම්, රබන් පමණක් නොව ගෘහණියට අත්‍යවශ්‍ය වංගෙඩිය පවා නිෂ්පාදනය කරන්නේ සිය ඩා බිඳු මහපොළවට හෙළමින් ය.
කොස්, නැදුන්, පොල් ආදී ලී කොට ගෙන අලංකාර කරමින් සැකසෙන ලී කොටය අවසානයේ බෙරයක් බවට පත්වන ආකාරය ගැන කරුණු කී ගම්පොළ වැළිගඟ බෙර කර්මාන්තයේ නියැළෙන ප්‍රේමදාස මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.
''අපේ මුල් පදිංචිය කොත්මලේ වටද්දර කියන ගම්මානයේ. එහෙත් කොත්මලේ ජලාශය නිර්මාණය කිරීමත් සමඟම අපේ ගම්මාන ජලයට යට වුණා. ඉන් පස්සේ අපි ලංකාවේ තැනින් තැන පදිංචි කළා. අපට ගම්පොළ වැළිගඟ ගම්මානයේ පදිංචි වෙන්න සිදුවුණා. අපි පරම්පරා පහක පමණ අතීතයකට
උරුමකම් කියන කර්මාන්තකරුවන්. ඒ කාලයේ බෙර, දවුල්, තම්මැට්ටම්, රබන් වගේම වංගෙඩි කර්මාන්තයට හොඳ ඉල්ලුමක් තිබ්බා. ඒත් කාලයත් සමඟ ම අපේ කර්මාන්තයටත් කණකොකා හඬන්න ගත්තා. බඩු මිල හරිම ඉහළයි. කොස් කොටය, පොල් කොටය අධික මිලකින් යුක්තයි. මේ වැනි දේවලින් තමයි මේ කියන බෙරය නිර්මාණය වෙන්නේ. මුලින්ම කොටය ශුද්ධ පවිත්‍ර කරගෙන කොටයේ කුහරය නිර්මාණය කර ගන්නවා. ඉන් පසුව පොලිෂ් කර අනෙකුත් ආම්පන්න සූදානම් කරගෙන තමයි “බෙරය” හදාගන්නේ. ඉතින් එළු හම්, හරක් හම් වගේ හම තමයි බෙරයට යොදා ගන්නේ.
සත්තුන්ගේ හම් ගේන්නේ මහනුවර වගේ ප්‍රදේශවලින්. හමක් දැන් රුපියල් හත්සිය පනහක් අටසීයක් විතර වෙනවා ඉස්සෙල්ලා තිබ්බේ රුපියල් තුන්සීයක් තුන්සිය පනහක් වගේ මිලකට. දැන් හරිම ගණන්. ඉතින් මේ ක්‍රියාව සංකීර්ණ දෙයක්. අපට තියෙන ලොකුම ගැටලුව තමයි ලියවන පට්ටලයක් නැතිකම. ලියවන පට්ටලයක් තිබ්බා නම් අපට කර්මාන්තය කරගෙන යන්න පුළුවන් කියන කාරණය කිව යුතුයි.
''කොටයක් සුමටව ලස්සනට හදාගෙන අවසානයේ ඇහැට ප්‍රියමනාප නිර්මාණයක් බවට පත් කිරීම ආරම්භයේ සිට අවසානය දක්වා සංකීර්ණ දෙයක්. බෙරයක් නිර්මාණය කිරීමට කොටයක් වගේම පට්ටම්, සත්ව හම ආදිය වගේම ඒවා පොලිෂ් කිරීමට අවශ්‍ය පොලිෂ් පවා වුවමනා වෙනවා. එහෙත් මේ සියලු දේ අද වනවිට අධික මිලකින් යුක්තයි. රුපියල් තුන්සීයට තිබ්බ පොලිෂ් බෝතලය අද වනවිට හය ගුණයකින් විතර ඉහළ ගිහින් තියෙන්නේ. අද පොලිෂ් බෝතලය රුපියල් එක් දහස් හයසීයක් වෙනවා. මේ කියන කර්මාන්තය ට අවශ්‍ය ආම්පන්න ද ඉතා ඉහළ මිලක් වෙනවා. වැඩකරන පුද්ගලයකුට ඒ කාලේ ගෙව්වේ රුපියල් දාහක් වගේ මුදලක්. ඒ වුණාට අද වනවිට රුපියල් දෙදහස් පන්සියයකට තුන් දහසකට ආසන්න මුදලක් දෙන්න ඕන.''
කේ. ප්‍රේමසිරි මහතාද ගම්පොළ වැළිගඟ ගම්මානයේ බෙර කර්මාන්තයේ නියැළෙන අයෙකි. මේ ඔහුගේ අදහසයි.
''ඉස්සර කාලයේ මේ කර්මාන්තයට හොඳ ඉල්ලුමක් තිබ්බා. අපි අපේ භාණ්ඩ ලක්සල වගේ ආයතනවලට අලෙවි කළා. ඒත් මේ වනවිට ඒ වගේ ආයතනවලින් ඇති ඉල්ලුම සම්පූර්ණයෙන්ම වාගේ අඩුවෙලා. අපි දැන් ටවුන්වලට අරගෙන ගිහින් තමයි විකුණන්නේ. එහෙත් ප්‍රවාහනය, දෛනික වියදම් ආදීය සැලකීමේ දී ඇති ලාභයක් නැති බව කියන්න ඕන. මේ වගේ කර්මාන්ත බොහෝමයක් දෙනා කරන්නේ නැහැ. කරන්නේත් බොහෝම අවශේෂ පිරිසක්. අපි බෙරයට වුවමනා කොට සපයා ගන්නේ පොල් වගේ ගහක් අරගෙන. අදවනවිට පොල් ගහක් රුපියල් පන්දහක් විතර වෙනවා. ඉස්සෙල්ලා පොල් ගහක් රුපියල් දහට එක්දහස් පන්සීයට පමණ ගත්තේ. අහිංසක අපට අතහිත දෙන්න පුළුවන් නම් ඒක ලොකූ පිනක් බව පැවසිය යුතූයි.''
සිය දෙපාවලට පින් සිද්ධ වෙන්න එදා දවසේ විකුණගන්න බෙරයකින් හෝ දෙකකින් ජීවිතය ගැට ගහ ගන්නා සුමනරත්න මහතා සිටින්නේ ද ගම්පොළ වැළිගඟ ගම්මානයේ ය. මේ ඔහුගේ අදහසයි.
''උරහිස් දෙක ගැලවෙන්න තරම් එන වේදනාව අමතක කරලා තමයි මම මේ රස්සාව කරන්නේ. දවසට බෙරයක් දෙකක් කොහොම හරි විකුණා ගන්න ගව් ගාණක් ඇවිදින්න ඕන. ඉස්සර නම් බෙරයක් දවුලක් විකුණා ගන්න එච්චර මහන්සි වෙන්න ඕන නැහැ. ඒත් අද වන විට මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒ විතරක් නෙවෙයි සංගීතයට නැටුමට ආදරය කරන මිනිස්සු අඩු වෙලා. හෑන්ඩ් ෆෝන් එකේ සින්දුවක් දාගෙන කොල්ලො කෙල්ලෝ නැටුවට බෙරයක් ගහලා, ඩොල්කියක් ගහලා සින්දුවක් කියන පිරිස් අඩුයි. ඉතින් ඒ නිසාම අපේ කර්මාන්තය කරගෙන යන්න තියෙන ඉඩකඩට වඩා මේ කර්මාන්තය නවතා දමන්න තියෙන ඉඩකඩ එන්න එන්නම වැඩිවෙනවා මහත්තයෝ කියලා තමයි කියන්න තියෙන්නේ.''
චිවිධ හැඩයන්ගෙන් යුත් බෙරය, තම්මැට්ටම්, දවුල් පමණක් නොව රබාන ද ඔවුන්ගේ අලෙවි ද්‍රව්‍ය අතර ප්රමුඛස්ථානයක් ගනී. එපමණක් නොව ගෘහයට, ගෘහණියට අවශ්‍ය වංගෙඩිය පවා ඉතා සාධරණ මුදලකට අලෙවි වන ගම්පොළ වැළි ගඟ බෙර හා ඒ ආශ්රිත නිෂ්පාදන පිළිබඳව යළිත් කරුණු කී ප්‍රේමදාස මහතා පැවසුවේ මෙවන් දෙයකි.
''පරම්පරාවෙන් රැකගෙන ආ මේ වගේ කර්මාන්ත රැකගැනීමට උදවු කිරීම සෑම අංශයකම වගකීමක් බව පැවසිය යුතුයි. විශේෂයෙන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, පළාත් කර්මාන්ත අධ්යක්ෂ කාර්යාලය වගේ ආයතන මැදිහත් වෙලා අපට උදව් කරනවා නම් අපිට මේ කර්මාන්තය ඉදිරියටත් කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන් මේ හැම නිෂ්පාදනයක්ම අප කරන්නේ අපි හදා ගත්ත කුඩා කුඩා උපකරණවලින්. එහෙත් “ලියවන පට්ටලයක්" වගේ තිබ්බා නම් අපිට අපේ කර්මාන්තය ඉතා ලෙහෙසියෙන් හා පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. අපට කවුරුන් හෝ උදව් කරනවා නම් ඒක ලොකු පිනක්.''
Lankadeepa FT