තහනමට හේතු වී ඇත්තේ පාසැලේ විවිධ ප්‍රසංගය වෙනුවෙන් දෙමාපියන් විසින් සිදුකළ මුදල් එකතු කිරීමකි. මෙය බොහෝ දෙනා කියවා ඉවත්ව යන්නට ඇති අතර, බැලූ බැල්මට "යහපත් වැඩක්" යැයි සතුටු වන්නට ද ඇත.
වසර ගණනාවක් පුරා රජයයන් විසින් "නිදහස් අධ්‍යාපනය" වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කළ බව නොරහසකි. නමුත් රජයෙන් මුදල් ලැබෙන්නේ විධිමත් විෂය අධ්‍යාපන කටයුතු සඳහා පමණි. පාසැළක ශිෂ්‍යයන්ගේ දක්ෂතා කළ එළි දක්වන / පෞරුෂය වර්ධනය කරන/ ජාතික සංස්කෘතියට අනුගත කරන විවිධ ප්‍රසංග- ක්‍රීඩා උත්සව - අවුරුදු උත්සව - ආගමික වැඩසටහන් - අධ්‍යාපන චාරිකා - ක්ෂේත්‍ර චාරිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමක් රජයෙන් සිදුවන්නේ නොමැත.
ඒ් තියා, රජය මඟින් ඉදිකළ ගොඩනැඟිල්ලක සාමාන්‍ය දෛනික නඩත්තුව වෙනුවෙන් (තීන්ත ආලේප කිරීම/ කැඩෙන බිඳෙන පුටු බංකු අලුත්වැඩියාව/ සිමෙන්ති බිම කඩතොළු වීම/ කළු ලෑල්ලේ වර්ණ ගැන්වීම්) මුදල් ප්‍රතිපාදන වෙන්වීමක් නැත. වෙන්වූවද, ඒ වෙන්වන්නේ හොඳටම අබලන් වී ඔළුවට කඩාවැටෙන තුරු අබලන් වූ ගොඩනැඟිලි වෙනුවෙනි.
එසේම, විශේෂයෙන් ප්‍රාථමික පාසැල්වල ප්‍රධාන අධ්‍ය්‍යන අවධි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකරණ සහ අමුද්‍රව්‍ය වෙනුවෙන් මුදල් ප්රතිපාදනද රජය මඟින් ලැබෙන්නේ නැත. එසේම පන්තිය අතුගෑමට අවශ්‍ය කොස්ස, හුණුකූර, වයිට් බෝඩ් පවතීනම්, ඒවා සඳහා අවශ්‍ය මාකර් ආදියත්, ඉදල/ කුණු කූඩය/ පාපිස්ස/ පන්ති අලංකරණයට අවශ්‍ය මල් බඳුනේ සිට මේස රෙද්ද දක්වාම කිසිවකට රජයේ මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ නැත.
අනාදිමත් කාලයක සිට මේවා සියල්ලම පාසැල් තුළ සිදුවන්නේ දෙමාපියන්ගෙන් රැස්කරගන්නා මුදලින් පවත්වාගෙන යන "පන්ති භාණ්ඩාගාර" නම් සංකල්පය හරහාය.
පාසැල තුළ කිසිදු මුදලක් දෙමව්පියන්ගෙන් එකතු කළ යුතු නොවේ නම් මේ කටයුතු සඳහා ප්‍රතිපාදන සපයන බවට සහ සෑම පාසැළකම "රජයේ මුදල් මඟින්" මෙම අවශ්‍යතා සඳහා සුළුමුදල් පොතක් පවත්වාගෙන යාමේ අයිතිය රජය විසින් ආරක්ෂා කළ යුතුය.
පුද්ගලිකව මගේ දරුවන් තිදෙනෙකු මේ මොහොතේ රජයේ පාසැල් වල ඉගෙනුම ලබයි. ඉන් දෙදෙනෙකු කොළඹ ප්‍රමුඛම ජාතික පාසැල් වල ඉගෙනුම ලබන අතර පුංචිම පුතා පමණක් ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා පළාත් සභා ප්‍රාථමික පාසැළක ඉගෙනුම ලබයි. නව අගමැතිනිය සහ අධ්‍යාපන ඇමැතිතුමිය සැප්තැම්බරයේ දිව්රුම් දීමෙන් පසු පළමු කාර්යයක් ලෙස "නිකුත්කළ පෙර සඳහන් කළ චක්‍රලේඛයට" බොහෝ දෙනා ප්‍රසංශා කළ අතර, අගය කිරිමටද ලක් කළහ. මගේ පුතා ඉගෙනුම ලබන පළාත් සභා පාසැල ඇතුළු ප්‍රදේශයේ සෙසු කුඩා පාසැල් ඇමැති නියෝගය හිස් මුදුනින් පිළිගත්තද, මගේ අනෙක් පුතාලා ඉගෙනුම ලබන ජාතික පාසැල් හෝ ප්‍රදේශයේ වෙනත් ජාතික පාසැල් මේ නියෝගය පිළිගත්තේ නැත.
ඔවුන් බිග් සැච් සමරු කළඹ සඳහා මුදල් එකතු කරති. පන්තියේ මුදල් එකතු කර කැඩෙන කොස්සට කොස්සක් ගනිති. දාන මාන දෙති. චාරිකා යති. වර්ෂවසාන ත්‍යාග ප්‍රදානෝත්සව සහ විවිධ ප්‍රසංගද සාද ද පවත්වති. තවත් නියෝගයකින් තහනම් කළ පන්ති වට්ස්ඇප් සමූහ පවත්වාගෙන යති. ඔවුනගේ කිසිදු කටයුත්තක් අඩපණ වී නැත. එය සතුටට කාරණයකි. නමුත් මගේ පොඩි ප්රතාට වසරවසාන විවිධ ප්‍රසංගයේ සිට බොහෝ දේ මේ තීරණය නිසා අහිමි වී යමින් පවතී. අද වසරේ අවසාන අධ්‍යයන දිනය වන අතර, වෙනදා පාසැලේ කෙරෙන ත්‍යාග ප්‍රදානෝත්සවයද මෙවර පවත්වාගන්නට බැරිවිය. ළමුන් අගය කිරීම සිදුකරන්නට නොහැකි වන විට ඔවුන්ගේ දක්ෂතා කරළියට ගෙන එන්නට නොහැකි වන විට ඔවුන්ට සිදුවන හානිය ගැන අවබෝධයක් "අධ්‍යාපන බලධාරීන්ට" නැද්ද?
පාසැලට ඇතුළු වන දා සියළු සිසුන් සමාන මට්ටමේ නැත. සියලු සිසුන් සමාජානුයෝජනය කර පාසැළට උචිත පරිදි සකසා ගැනිම වෙනුවෙන් ප්‍රථමික පන්තියේ ගුරුවරිය ගන්නා මහන්සිය මිළ කළ නොහැකිය. එදා අම්මාගේ සාරිපොටින් ඉවත් නොවුණු බොහෝ දරුවන් දෙවසරක් අවසානයේ පාසැල් විවිධ ප්රසංගයේදී වේදිකාව සරසන්නේ තනිවම එහි නිසි පුහුණුව ඇතිව සරමින්ය. එය දෙමව්පියන් තම දරුවා ගැන ආඩම්බරයට පත්වන ජීවිතයේ අමතක නොවන අවස්ථාවකි. විවිධ ප්‍රසංගයට අවශ්‍ය ශබ්ද විකාශන/ ඇඳුම් පැළඳුම් / වෙනත් අවශ්‍යතා සඳහා අවශ්‍ය මුදල් එකතු කිරිමට නොහැකි නිසා, මගේ ලොකු පුතාලා දෙන්නාටම ලැබුණු ප්‍රාථමික "විවිධ ප්‍රසංගයක" සාමාජිකයෙකු වීමේ ඒ මහඟු අවස්ථාව මෙදා මගේ පුංචි පුතාට ලැබෙන්නේ නැත. මෙවර අපේ දරුවාගේ පාසැලේ විවිධ ප්‍රසංගයක් නැත. ජනප්‍රිය තීරණ ගෙන ආණ්ඩුවක් විසින් මේ කරන විනාශය විග්රහ කරන්නේ කෙසේද?
මගේ පොඩිම පුතාගේ වසරාවසාන දෙමාපිය හමුව පැවැත්වුණේ ඊයේය. නව පන්තියට මාරු කිරීම එහිදී සිදුවූ අතර පාසැලේ විදුහල්පති වරයාත්, පන්ති භාර ගුරුතුමියත් පවතින අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව අසරණ වි සිටිනු පෙණිනි.
දරුවාගේ නව පන්ති කාමරයේ බිම තැන තැන සිමෙන්ති බිඳි ගොස්ය. වටේ බිත්ති වල කඩතොළුය. කළු ලෑල්ල සුදුවී ගොස්ය. සමහර ඩෙස් පුටු අබලන් වී ඇත. ඒ්වා පිළිසකර කිරීම වහා කළ යුතුය. නමුත් පන්තියේ දෙමාපියන්ගෙන් මුදල් සම්මාදම් කිරීමට බැරිය. ගුරුතුමිය කියන ලෙසට කැමැති දෙමව්පියෙක් සිමෙන්ති රැගෙන ගොස් එය අනා තනිවම හෝ වෙනත් දෙමාපියෙකුගේ ආධාරයෙන් ඒ්වා පිළිසකර කළ යුතුය. සෙසු කටයුතුද එසේමය. ඒ් අනුව අවශය වන තීන්ත ලීටර් ගණනේ බරපැන තනි දෙමව්පියෙකු දැරිය යුතුය. වෙනදා සිදුවුණේ සමස්ථ ක්‍රියාවලියට ඇස්තමේන්තුවක් සකසා, එම වියදම පන්තියේ දරුවන් අතර සමසේ බෙදා, පන්ති සමායෝජකවරිය හරහා වියදම් ලැයිස්තුවක් තබාගෙන අදාළ කර්තව්‍යයන් පුහුණු ශ්‍රමිකයෙකු ලවා ඉටු කර ගැනීමය. මෙවර එය කරන්නට ක්‍රමවේදයක් නැත. අවසානයේ දෙමාපියන්ට විසිර යන්නට සිදුවූයේ එකඟතාවයක් නැතිවය.
දැන් රජයේ නියෝගය අනුව වට්ස්ඇප් සමූහයක්වත් පන්තිය වෙනුවෙන් පවත්වාගෙන යා නොහැකිය. පන්ති සමායෝජකවරියක් නැති නිසා, මූලිකත්වය ගන්නා අයෙකුද නැත.අවසානයේ ලබන සතියේ මගේ දරුවාට නව පන්තියේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට සිදුවන්නේ ප්‍රියමනාප පන්ති කාමරයකින් නොවේ. පාසැල් ගිය ඔ්නෑම අයෙකුට ඒ හැඟීම සිය ළමා කාලය සමඟ සසඳමින් යළි මෙනෙහි කළ හැකිය.
ජනප්‍රිය තීරණ ලෙස පෙනෙන චක්‍රලේඛ නිකුත් කළ හැකිය. සිද්ධියට මුහුණ නොදෙන සෙසු ජනතාවට එවැනි චක්‍රලේඛ ආතල් ලබා දෙන නමුදු පස්ස මසා බඩ යන්න බෙහෙත් දෙන චක්‍රලේඛ වලින් අදාළ සිද්දියට මුහුණ දෙන මිනිසුන් අපහසුතාවයට පත්වේ.
පාසැලේ දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සපුරා තහනම් වන්නේ නම්, මෙහි දක්වා ඇති ලුහුඬු කටයුතු, විෂය බහිර ක්‍රියා ප්‍රාථමික පළාත් සභා පාසැලක් විසින් සිදු කරන්නේ කෙළෙසද යන්න අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැහැදිළි කළ යුතුය. ඒ්වාට විසඳුම් නොදී සමාජයට ජනප්‍රිය වන දෙමාපියන්ගෙන් "මුදල් එකතු නොකිරීමේ" නීතියෙන් විනාශ වන්නේ සාමාන්‍ය පාසැල් සංස්කෘතියයි.
ගුරුවරුන් උදෙසා සාරි අරන් දෙන්නට / විදුහල්පතිට ශිතකරණ අරන් දෙන්නට දෙමාපියන්ගේ මුදල් එකතු කිරීමට මමද විරුද්ධ වෙමි. නමුත් වසර ගණනාවක් පාසැළක දියුණුවට කළාප අධ්‍යාපන කාර්යාල වලට බඩගාමින් සේවය කළ විදුහල්පතිවරයෙකු විශ්‍රාම යනදා කෘතගුණ සැළකීම වැරදි යැයි කිව හැක්කේ කාටද? කෘතවේදීත්වය ප්‍රදර්ශණය කළ යුතු තැන එය කළ යුතුය. ඒ් අපේ සංස්කෘතියයි. (සංස්කෘතිය අනවශ්‍යයැයි ජන මනසට කාවද්දන රාජ්‍ය නොවන සංවිධාන වල සාමාජිකාවක අධ්‍යාපන ඇමැතිවරිය වූ විට මෙවැනි චක්‍රලේඛ හරහා යටි අරමුණු මුදුන්පත් කරගන්නට උත්සහ දරණ බව පෙනේ.) නමුත් දෙමාපියන් අන්දා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කරන "ව්‍යාපාර කටයුතු" වලට වැට බැඳිය යුතුය. 3-4-5 ප්‍රශ්ණ පත්‍ර කට්ටල වෙළඳාම ඉන් එකකි. චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ අදාළ වංචාවන් නැවැත්වීමට මිසෙක, සාමාන්‍ය පාසැල් සංස්කාතියට හානි වන අයුරෙන් නොවේ.
පොල් රැක ගන්නට පොල් සම්බොල් කන්න එපා කියන, බල්ලන්ට බත් දීමෙන් හාල් නාස්ති වෙනවා කියන ආණ්ඩුවකින් මීට වඩා දෙයක් අධ්‍යාපනය වෙනුවෙන් බලාපොරොත්තු විය හැක්කේ ද නැත. අදාළ සෙසු කටයුතු සඳහා රජයෙන් ප්‍රතිපාදන දෙන්නට බැරිනම් සෑම පාසැළකටම පක්ෂයේ නායකයන්ට කන්න අඳින්න දෙන "ජයශාන්ත අයියලා" නම් කර කැපකරු ක්‍රමයක් රජය විසින් හඳුන්වාදිය යුතුය. නැතහොත් පෙර දක්වා ඇති දෛනික අවශ්‍යතා වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් එකතු කළ හැකි ක්‍රමයකට රජය විසින් අවසර දිය යුතුය.
මගේ කුඩා දරුවා සහ අපහසුතාවයට පත්වන රටේ සෙසු දරුවන් වෙනුවෙන්ද සාධනීය විසඳුමක් අපේක්ෂා කරමි.
Gnanendra Pradeep Pathirana
FB උපුටනයකි.