සිංගප්පුරුවේ රූපවාහිනී සේවාවක් සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පැවසුවේ මෙතෙක් එම නෞකාවේ ඉන්ධන කාන්දුවක් හඳුනාගෙන නොමැති බවය.
එම සංවාදයේ කොටසක් මෙසේය ,
"මෙම සිදුවීමෙන් ඔවුන්ගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇතිවූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කණගාටුව ශ්‍රී ලංකා ජනතාවට පළ කිරීමට. මෙම සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයින් සමග සම්බන්ධ වුණා. නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමගත් අපි වැඩ කරනවා. නමුත් මෙතෙක් නැවෙන් තෙල් කාන්දුවන බව හඳුනාගෙන නෑ."
ඔහු තවදුරටත් පැවසුවේ, "නැවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම තවම අමාරුයි. අපි රක්ෂණය කරලා තියෙන්නේ. ඒ නිසා අප ආයතනයට වන මූල්‍ය පාඩුව ඉතා අඩුයි."
ශ්‍රී ලංකාවේ ජනතාවට වන්දි දිය යුතුයි නේද?
"එය තක්සේරු කරමින් ඉන්නේ. නමුත් මතක තබා ගත යුතුයි...එය දීර්ඝ ක්‍රියාවලියක්. මෙම සිදුවීම නිමවීමෙන් අනතුරුව එහි හානිය තක්සේරු කළ යුතුයි. අපි මේවන විටම ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. අපි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව සමග එකතුව අවශ්‍ය කටයුතු කරනවා. මේ වන විටත් වෙරළ පිරිසිඳු කිරීම අරඹලා තියෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය සමහර උපකරණ සැපයීම කළා."
"මේ වනවිට නෞකාවේ කොටසක් ගිලිලා තියෙන්නේ. ඒක දැන් මීටර් 21ක් විතර ගැඹුරු මුහුදු පත්ලේ රැඳිලා තියෙන්නේ. අනෙක් කොටසුත් ගිලෙනවා. අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා නෞකාව සම්පූර්ණයෙන් මුහුදු පත්ලට ගිලෙනකම්..ඉන් පසුවයි කළ හැකිදේ ගැන බලන්න වෙන්නේ. මේ වන විට ගැලවුම්කාර විශේෂඥයින් සෙවිල්ලෙන් ඉන්නේ ඉන්ධන කාන්දුවක් වෙයිද යන්න ගැන." යනුවෙන් සදහන් කර ඇත.
මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. නෞකාව පරීක්ෂා කිරීමට අද (04) රජයේ රස පරීක්ෂකවරයා ගොස් තිබේ.
රජයේ රස පරීක්ෂකවරයා අද පෙරවරුවේ නැවට ඇතුළු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ද සමගිනි.
මේ අතර නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවේ කපිතාන්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
-පංචාලි අබේසේකර