එහිදී ගොවි නායකයින් පෙන්වා දුන්නේ වත්මන් රජයේ තීරණයක් වන රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා කාබනික පොහොර වලින් පමණක්ම ගොවිතැන් කිරීමට ගත් තීරණය හොඳ තීරණයක් වන නමුත් එය එක්වරම ක්‍රියාත්මක කරනවා වෙනුවට ක්‍රමාණූකූලව සිදු කළ යුතු බවයි.
අනුරාධපුර පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානය රැසක ගොවි නායකයින් සහභාගී වූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගොවි නායකයින් එහිදී කියා සිටියේ,
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තියෙන්නේ 100% ක් කාබනික වගාවට යොමු කරවන්නේ 2025 වන විට කියලා, ඒකට තව අවුරුදු 04 ක් තියෙනවා, මේ අවුරුදු 04 තුළ 25% බැගින් රසායනික පොහොර භාවිතය අඩු කරලා, ඒ වසර 04 තුළ 100% ක් කාබනික වගාවට යොමු කිරීමට ගොවීන්ට පහසුකම් ලබා දෙන්න.වගාව තුළ බජිරි, ගොජිරි, බට දැල්ල, තප්පර කටු, තුනැස්ස, තුන්හිරිය වගේ ගොයමට අහිතකර වල් පැලෑටි විශාල වශයෙන් බෝ වෙනවා, මේවා මර්ධනයට කෘමි නාශක අවශ්‍යය වෙනවා, මේවා මර්ධනයට නොහැකි වුණොත් වගාව අත්හරින්න සිද්ධ වෙනවා. මෙම වල්නාශක ගොයමට අහිතකරයි කියලා අපි දන්නවා, ගොයම කහ වෙනවා මේවා ගැහුවම මේ ගොයමට නැවත පෝෂණය දෙන්නත් අපිට රසායනික පොහොර යොදන්න අවශ්‍යය වෙනවා.
අපි කාබනික පොහොර වලට එකඟයි,කාබනික පොහොර වගාවට අපි එන්න ඔ්න,අපේ මහ පොළව මැරිලා තියෙන්නේ,මේ මහපොළවේ ඉන්න අපේ මරණය ඉතා ලඟයි.මේ මැරිලා තියෙන මහ පොළවට කාබනික පොහොර එකතු කරලා,මේ මැරුණු මහ පොළවට පණ දීමේ වගකීම තියෙන්නේ ගොවියන්ට.ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැදිහත් වීම පිළිබඳව අපි ස්තූතිවන්ත වෙනවා. හැබැයි ඒ ප්‍රථිපත්තිය එහෙම වෙනගමන් බීජ වර්ග වල ගැටලුවක් තියෙනවා,පොහොර මිටි 05 ක් හෙක්ටයාරයකට දැනට අපිට ලැබෙමින් තිබුණා, ඒකවත් අපිට ප්‍රමාණවත් නෑ, දැන් ඒ පොහොර ටිකත් නෑ.ඒක ගොවියට තද බල විදිහට වැදිලා තියෙනවා.මේක ගොවියාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් වගේම රටේම ප්‍රශ්නයක්. බත් කනවාද? කටු අල කනවාද? නියඟලා කාලා මැරෙනවාද කියලා මේකෙන් තීන්දු වෙනවා. කාබනික පොහොර කරන්න කියලා දීපූ පොහොර බිලටවත් අපිට මේ සැරේ පොහොර ලැබුනේ නෑ,ඒක ප්‍රශ්නයක්, ලැබුණ මිනිහට ලැබුණා, නැති මිනිහට පොහොර ඇටයක්වත් නෑ, ගොවි නායකයෝ විදිහට අපිට ඉන්න නෑ, ගොවියෝ පොහොර ඉල්ලලා කරදර කරනවා.මේ කාබනික පොහොර වැඩේ අගේට කරන්න පුලුවන් මේකට මැදිහත් වෙන්න.මේ අනුරාධපුර වෙනසක් කරපු නායකයෙක්ගේ පුතෙක් හැටියට දුමින්ද ඇමතිතුමාගෙන් ඉල්ලන්නේ මේකට මැදිහත් වෙන්න කියලා ඉල්ලනවා, මේ කෘෂි ආර්ථිකය කඩා වැටුනොත් මේ අනුරාධපුරයම මැලවෙනවා. කාබනික පොහොර අත්‍යවශ්‍යයි, අපි ඒකට විරුද්ධ නෑ යැයි පැවසීය.
වැඩිදුරටත් පැවසූ ගොවි නායකයින් කියා සිටියේ,
කාබනික වගාවට අවශ්‍යය පොහාර අපිට හදාගන්න පුළුවන්, හැබැයි ඒ සඳහා අදියර දෙකකින් වගේ ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි මගේ යෝජනාව,අතිගරු ජනාධිපතිතුමා කාබනික ගොවිතැනට ගොවියා යොමු කිරීමට ගත් තීන්දුව හොඳ චේතනාවෙන් ගත් තීන්දුවක්, වකුගඩු රෝගය වැනි රෝග වලට ප්‍රභලවම මේ රසායනික පොහොර බලපානවා,ඒ නිසා මේ රසායනික ද්‍රව්‍ය නිසා කංකුන්, මුකුණුවැන්න. කිරිහැන්ද නෑ, ලියද්දට විතරක් නෙමෙයි, නියරටත් ගහනවා, පාරටත් ගහනවා රවුන්ඩ්අප්, ඒ නිසා මේවා පාලනය කළ යුතුයි. නියරේ, කෙත් ඇළවල් වල වල් මර්ධනයට ගොවි සංවිධාන සඳහා ඔබතුමා තණකොළ කපන යන්ත්‍ර ලබා දුන්නා.ඒ වගේ යටිතල පහසුකම් තව ලබා දෙන්න.ඒ වගේම රසායනික පොහොර එකවරම නවත්වන්නේ නැතිව අදියරෙන් අදියර කොටස් වශයෙන් අඩු කර කාබනික වගාවට අපි යොමු වෙමු.මේ කාබනික වගාව ප්‍රචලිත කිරීමත් සමඟ කූඨ වෙළදුන් රසායනික පොහොර වල මිළ, වල්නාශක, කෘමිනාශක වල මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ දාලා තියෙනවා.
දැන් ගොවියන්ට යන්න මගක් නෑ. අපි කියන්නේ කාබනික හා රසායනික පොහොර දෙකම එකට යා යුතුයි.අපිට අවුරුද්දකට කන්න දෙකයි වගා කරන්න තියෙන්නේ, ගොවිතැන අපේ වෘත්තිය, අපේ දරුවෝ කන්නේ බොන්නේ, පාසල් යන්නේ මේ ගොවිතැනෙන් ලැබෙන ආදායමෙන්, මේ ආදායම කඩා වැටුනොත් අපි ඉවරයි.පස ආරක්ෂා කරගන්න කාබනික වගාවට යන්න ඔ්න,එක පාරම මේකට ගිය එකයි මම දකින අඩුව,අවුරුදු දෙකක් අපිට දෙන්න කන්න 04 ක් තියෙනවා,ඉදිරියට 25% මේ කන්නයේ කාබනික වගාව, ඊළඟ කන්නයේ 50% යි, ඊළඟ කන්නයේ 75% යි, ඊළඟ කන්නයේ 100% ක් කාබනික වගාවට අපි යොමු වෙන්නම්.අවුරුදු 02 න් අපි කාබනික වලට යමු.ඒ හරහාම බිත්තර වී වෙනස් විය යුතුයි.ඒ වගේම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර, කෘමිනාශක හා වල් නාශක නිසි ප්‍රමිතයක් ඇතිව ලබා දෙන්න කටයුතු කරන්න. අපි කියන්නේ කාබනික පොහොර හා රසායනික පොහොර දෙකම එකට යමු කියලයි.අපි නිකං පොහොර ඉල්ලන්නේ නෑ, අපි කියන්නේ සල්ලි වලට පොහොර ගන්නම්, වෙළඳපලට ඒ රසායනික පොහොර නිකුත් කරන්න.අපි කාබනික පොහොර වලට විරුද්ධ නෑ, හැබැයි කොළඹ ඉඳන් මේ වගාවල් කරන හැටි කියන මහත්වරුන්ට කියනවා අපේ වගාවන්ට ඇවිත් ඔය කියනවා වගේ වල් නාශක නැතිව වල් අතින් ගලවලා පෙන්වන්න කියලා. යැයි පැවසීය.
එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
දැන් පොහොර ඇත්තට නෑනේ, යූරියා 80% යි ගෙනත් තියෙන්නේ, 20% ක්ම ගෙනත් නෑ, මේ තීන්දුව එක්වරම ක්‍රියාත්මක වුණ නිසා පෞද්ගලික අංශය ගෙන ආ පොහොර ඒ අයම මිශ්‍ර කරලා අලෙවි කරනවා, ආණ්ඩුව කොච්චර කිව්වත් මේක නොදී ඒ අය ලාභයක් ලබන්න මේවා අලෙවි කරනවා.රට තුළ මේ කන්නයට අවශ්‍යය පොහොර තිබුණට ඒක ගොවියෝ ගාවත් නෑ,ඒක තියෙන අය ගොවියන්ට දෙන්න ලෑස්තිත් නෑ, පොහොර නැති එක එක කාරණයක් මේක දිගටම ක්‍රියාත්මක වුණොත් ඉස්සරහට මේක බලපාන්නේ කොහොමද කියන එක තව කාරණයක්. අපිට තියෙන ලොකු අවධානම ඉදිරියට මේක කර ගෙන යන්නේ කොහොමද කියන එකයි.
දැන් පොහොර නිර්දේශයේ තියෙන ප්‍රමාණයටත් වඩා අපේ ගොවිමහත්වරු පොහොර යොදනවා,අපේ විශ්වාසයක් තියෙනවා වැඩියෙන් පොහොර ගැහුවොත් වැඩියෙන් හැදෙයි කියලා.හැබැයි ගහට අවශ්‍ය ප්‍රමාණය විතරයි ගහ අවශෝෂණය කර ගන්නේ.මේ පොහොර ප්‍රශ්නයත් එක්ක බඩඉරගු වගාව අඩු වුණොත් සත්ව අහාර හිඟ වෙනවා, එක කුකුල් පැටව් හදන, කුකුල්ලු හදන ක්ෂ්‍රේත්‍රයට බලපානවා, මස් නැති වුණාම පෝෂණය අඩු වෙනවා.එහෙම වුණාම මේක ගොවි මහත්වරු ලක්ෂයකට බලපාන දෙයක් නෙමෙයි, සමස්ථ රටටම බලපාන ප්‍රශ්නයක්.
1977 ඉඳන් මේ වෙනකල් අපේ රටේ ගොවිමහත්වරු ගෙදර කෙනෙකුට වකුගඩු අමාරුව හැදුනත්, වැඩියෙන් පොහොර දදා වැඩි අස්වැන්නක් ගන්න හිතුවත්,පරිභෝජනය නෙමෙයි බැලුවේ වෙළඳාමයි බැලුවේ. ගොවි තැන තමයි ගොවියාගේ ආදායම, වස විස නැති කෑමත් ඕන, ඉල්ලුමට සරිලන සැපයුමකුත් අවශ්‍යය වෙනවා. තිබුණ ආදායම ලබා ගන්නේ කොහොමද? තිබුණ අස්වැන්න ලබා ගන්නේ කොහොමද කියන ගැටලුවට විසදුම් ලබා ගැනීමයි කළ යුත්තේ. මම ජනාධිපතිතුමන්ට මේ පිළිබඳ දැනුම්වත් කරන්නම්.මේ අවස්ථාවේ 100% ක් රසායනික පොහොර භාවිතය තහනම් කිරීම වෙනුවට ක්‍රමාණූකූළව මෙය අඩු කිරීම කළ යුතුයි කියන එක ගොවීන්ගේ යෝජනාව කියලා මම ජනාධිපතිතුමන්ව දැනුම්වත් කරන්නම්.
රජරට ගොවි නායකයෙක් ලෙස ගොවීන් මේ අවස්ථාවේ පත්ව ඇති ගැටලුව සම්බන්ධයෙන් ගොවින් සමඟ ගැටලු හා විසදුම් සාකච්ජා කර විසදුම් ලබා දීමට පොරොන්දු වීම සම්බන්ධයෙන් ගොවීන් එහිදී රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට ස්තූතිය පුද කළහ.