14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස විජිත් වැලිකල මහතා පත්කර ඇත.
එහි සෙසු සාමාජිකයින් වන්නේ…
ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන්තිස්ස, සමන්ත ප්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම් කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ සහ නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ය.
මෙම කාර්ය සාධක බලකායේ වගකීම් වන්නේ
1. හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වාගෙනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරීම
2. විවිධ භෝගයනට අවශ්‍ය කාබනික පොහොර හඳුනා ගැනීම හා එම පොහොර නිෂ්පාදනය කිරීම
3. කෘමිනාශක හා වල්නාශක නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම
4. දේශීය නිෂ්පාදන මඟින් අවශයතා සැපිරීමේදී ඇතිවිය හැකි හිඟයන් උසස් ප්‍රමිතියෙන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතීන් යටතේ සීමිත ලෙස ආනයනය කිරීමේ ක්‍රමවේදයන් හා අධීක්ෂණ ක්‍රියා හඳුනා ගැනීම.
5 කාබනික ආහාර නිෂ්පාදන හා පාරිභෝජනයේ සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රතිලාබ ජනගත කිරීම සංනිවේදන කටයුතු ප්‍රචලිත කිරීම.
6. මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයෙහි සක්‍රීය දායකත්වය ලබා ගැනීම හා ක්ෂේත්‍ර මට්ටමෙන් කාබනික කෘෂිකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීම. යන කටයුතු ඉටුකිරීමය.
කෙසේ නමුත් මීට පෙර පසුගිය මැයි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ 'හරිත සමාජයක් ඇති කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය' පිහිටුවනු ලැබීය. එහි ප්‍රධානියා ලෙස ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ පත්කර තිබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම කාර්ය සාධක බළකායක් පිහිටුවීමට පෙර ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තමන් කටයුතු කරන බව ප්‍රකාශ කර ඒ සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, කැබිනට් මණ්ඩලය එය ඒකමතිකව අනුමත කර තිබිණි.
එම යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රසායනික පොහොර භාවිතය නිසා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් ඒ නිසා ගොවීන් ලාභ ලබන බවත්ය. එහෙත් වැව්, ගංගා, ඇළ දොළ සහ භූගත ජලය දූෂණය වීම හේතුවෙන් රටට සිදුවන විනාශය එම ලාභයට වඩා වැඩි බව පෙන්වා දුන්නේය. රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රට තුළ ව්‍යාප්ත වී ඇති බව ද ඒ හේතුවෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය රසායනික පොහොර යෙදීමෙන් ලැබෙන ලාභයට වඩා ඉහළ බව ද ප්‍රකාශ කර තිබිණි .
මෙම තීන්දුව පිළිබඳව සැබෑ පරිසර හිතකාමින් සහ විද්වතුන් තම සතුට පළ කළ නමුත් ඇතැම් පිරිස් මේ තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය බිඳවැටී අනතුරකට පත් වනු ඇතැයි අනාවැකි පළ කරන්නට පටන් ගත්හ. රජය ක්ෂණිකව මෙවැනි තීරණයක් ගැනීම හේතුවෙන් ගොවීන් අපහසුතාවට පත්වන බව ද ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රමාණවත් තරම් කාබනික පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවෙළකින් තොරව මෙවැනි තීරණයක් ගැනීම විශාල අර්බුදයකට හේතු වන බව ද ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත.
එවැනි ප්‍රකාශ නිසා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමේ යෝජනාව කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳවත් එවැනි යෝජනාවක් සැබැවින් ම රටට හිතකර ද යන්න පිළිබඳවත් මහජනතාව තුළ මෙන්ම ගොවි ජනතාව තුළ සැකයක් ඇතිවූ අතර අද වන විට එහි නරක ප්‍රතිපල දක්න්නට ද තිබේ. එහෙත් හරිත සමාජයක් ඇති කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම තුළින් අපේක්ෂා කළේ මෙම ගැටළු වෙනුවෙන් පිළිතුරු සැපයීමටය.
රසායන පොහොර කෘමිනාශක සහ වල්නාශක භාවිතය නැවැත්වීමට රජය තීරණය කර ඒ සමගම ඒවා රටට ගෙන්වීම ද තහනම් කරනු ලැබීය. එකවරම ඒවා තහනම් කිරීම නිසා කෘෂිකාර්මික කටයුතු අඩාළ වනු ඇති බවට අදහසක් එවකට ප්‍රචාරය විය. එහෙත් රජය විසින් ඒ වන විට අවශ්‍ය පොහොර ප්‍රමාණය ආනයනය කර තිබිණි. එම කන්නයේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 385,000 වුවත් ඊට වැඩි පොහොර ප්‍රමාණයක් ආනයනය කර තිබිණි.ඒ අනුව රජය පොහොර ආනයනය නැවැත්වූයේ කඩිමුඩියෙන් නොව මෙම කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පොහොර ආනයනය කිරීමෙන් පසුවය. එසේ නොවන්නට ආනයනකරුවන් විසින් තවත් වසර ගණනාවකට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට ඉඩ තිබුණි.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද හරිත සමාජ කාර්‍ය සාධක බළකායේ ප්‍රධාන වගකීමක් වූයේ කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර කෘමිනාශක සහ වල්නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිත කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වාභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීමයි. ඊට අමතරව පරිසරය සුරැකීමට අදාළ කරගන්නා කරුණු 24ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ද මෙම බළකායට පවරා තිබිණි.
ඊයේ නැවත 'හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකාය' පිහිටුවා ජනාධිපතිවරයා අපේක්ෂා කරන වසෙන් විසෙන් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වන වැඩසටහන තව දුරටත් ඉදිරියට ගෙන යෑමට ඔහුගේ ඇති කැමැත්ත සහ අධිෂ්ඨානය ප්‍රකට කර ඇත.