පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති නොමැතිකම සහ මන්දගාමී තීරුබදු සාකච්ඡා ආයෝජක අවදානම් වැඩි කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන වලින් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් අහිමි වීමේ අවදානමක් ඇති බවත් මෙම කණ්ඩායම අනතුරු අඟවයි. සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති තීරණ වසර දෙකකට වඩා ගත වුවහොත් ආයෝජකයින් බොහෝ විට ඉවත් වන බව ගෝලීය අධ්‍යයනවලින් පෙනී යන බවත් මේ වන විටත් මෙම කාලය අවසන් වෙමින් තිබෙන බවත් පෙන්වා දෙයි.
මෙම බාධක විසඳා ගැනීමට සහ ව්‍යාපෘති තවදුරටත් ප්‍රමාදයකින් තොරව ඉදිරියට ගෙන යාම සහතික කිරීම සඳහා මෙම ආයෝජකයින් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ප්‍රධාන කොටස්කරුවන් සමඟ ඉහළ මට්ටමේ රැස්වීමක් නැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. කඩිනමින් ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව නරක අතට හැරිය හැකි බවත්, විදේශ ආයෝජන අධෛර්යමත් කළ හැකි බවත්, රටේ දිගුකාලීන තිරසාර උත්සාහයන් දුර්වල කළ හැකි බවත් ඔවුහු අනතුරු අඟවති.
දැනට ඇණහිට ඇති ව්‍යාපෘති ඉදිකිරීම් වලින් සෘජු රැකියා 10,000 කට අධික සංඛ්‍යාවක් සහ වක්‍ර රැකියා අවස්ථා 30,000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, නිලධාරිවාදී ප්‍රමාදයන් සහ නියාමන අවිනිශ්චිතතාවයන් ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය සඳහා තීරණාත්මක අවස්ථාවක රැකියා නිර්මාණයට සහ ආර්ථික වර්ධනයට බාධා කරයි.
මෙම ආයෝජක කණ්ඩායමට හේලීස්, ඒෂියා පවර්, සෙනොක්, අක්බාර් බ්‍රදර්ස්, ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සහ ලාෆ්ස් වැනි ප්‍රධාන ශ්‍රී ලාංකික සමාගම් සහ බහුපාර්ශ්වික ආයතනවල සහාය ලබන ජාත්‍යන්තර ආයෝජකයින් ඇතුළත් වේ. ඔවුන් එක්ව, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට අධික කැපවූ විදේශ සෘජු ආයෝජන (FDI) නියෝජනය කරයි.
පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 3,000 කට වඩා ජාලයට එකතු කර 2027 වන විට ක්‍රියාත්මක කළ හැකි බව මෙම කණ්ඩායම ඇස්තමේන්තු කරයි. ප්‍රමාදයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කවලට තර්ජනයක් වනවා පමණක් නොව, පොසිල ඉන්ධන මත අඛණ්ඩව යැපීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 15-20 ක පාඩුවක් ද ඇති කරයි.
තවද, ගල් අඟුරු, ඩීසල් සහ එල්එන්ජී මත යැපීම පරිසර දූෂණයට, ශ්වසන රෝග උග්‍රවීමට සහ සෞඛ්‍ය සේවා වියදම් වැඩි කිරීමට දායක වේ. ප්‍රමාද වූ පුනර්ජනනීය ව්‍යාපෘති ද පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කැපවීම් සහ 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70 ක් ලබා ගැනීමේ ඉලක්කයට වල කපයි.
පසුගියදා අදානි සමාගම අත්හැර දැමු මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර ද්විත්වය නිසා ද අනාගතයේ දී එකතුවීමට තිබු මෙගාවොට් 484 ක බලශක්ති ප්‍රභවයක් රටට අහිමි විය.
මෙම කණ්ඩායම මූලික ඉල්ලීම් ලෙස, කලාපීය ප්‍රමිතීන්ට අනුකූලව සාධාරණ, විනිවිද පෙනෙන සහ සූත්‍ර මත පදනම් වූ තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීම, 2024 මැයි 31 දිනැති අංක 24/1057/621/053 දරන කැබිනට් පත්‍රිකාව අනුව ශක්‍ය ව්‍යාපෘති ඇගයීම සඳහා රාමුවක් සකස් කිරීම, මූල්‍ය පියවීම සහ ව්‍යාපෘති නිම කිරීම සඳහා මාස 24ක දිගුවක් ලබා දීම. ( එවැනි දිගු කිරීම් මඟින් ආයෝජන අවදානම් සියයට 40 කින් අඩු කළ හැකි බව යෝජනා කරයි.), ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ දේශගුණික අරමුදල් සහාය සහතික කරන ලෙසත්ය