පරිසරය වනසන "ෆෝ වීල්" සංචාරයට විරෝධය!

Published in පුවත්
Tuesday, 29 July 2014 13:26

ශ‍්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතිය සහ ජෛව විවිධත්වයට දැවැන්ත හානියක් සිදු කරමින් කිලෝ මීටර් 775 ක දුරකින් යුත් ‘ෆෝ වීල් සංචාරයක් (Four Wheel Rally) සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ බලකාය සහ මෙරට ලියාපදිංචි වී නොමැති ෆෝ වීල් සංගමයක් කටයුතු කර ඇත.

එම සංචාරය ලබන අගෝස්තු 03 වැනිදා සිට 09 වැනිදා දක්වා උතුරු පළාතේ පේදුරු තුඩුවේ සිට ඌව පළාතේ කුඩා ඔය දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ෆෝ වීල් රථ 55ක් සහභාගි වන බව දැනට තහවුරු වී තිබේ.

මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ස්වභාවික වැලි පර, කලපු තීර, ස්වභාවික වනාන්තර, අභය භූමි සහ වැව් සහ ගංගා පරිසර පද්ධති හරහා මෙම සංචාරයේ ගමන් මග සකස් කර ඇත. මෙමගින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත, පරිසර ආඥා පනත, වෙරළ සංරක්ෂණ අණ-පනත් අමු-අමුවේ උල්ලංඝනය වන අතර, කුමන තත්ත්වයක් තුළවුවද මෙලෙස පරිසරයට දැවැන්ත හානියක් සිදු කරමින් මෙවැනි ක‍්‍රියා සිදු කිරීම නීත්‍යනුකූල නොවේ.

ජාතික අවශ්‍යතාවයකට හෝ ස්වභාවික පරිසර පද්ධතිය භාවිතා කරන්නේ නම් එවැනි ක‍්‍රියාවන් ස`දහා පරිසර ඇගයීම් තක්සේරු වාර්තාවක් සකස් කර, එහි බලපෑම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවම හානියක් සිදු වන පරිදි අදාළ ක‍්‍රියාවලිය සිදු කළ යුතුය. එහෙත් මෙම ෆෝ වීල් සංචාරය ස`දහා එවැනි කිසිදු පරිසර ඇගයීම් තක්සේරු වාර්තාවක් සකස් කිරීමට සංවිධායකයන් කටයුතු කර නැත.

එම නිසා මෙම සංචාරය සඳහා සහභාගි වන ෆෝ වීල් රථ 55 කට අධික ප‍්‍රමාණයකින් පිටවන අධික ශබ්දය සහ විෂ දුම් නිසා ජලජ පරිසර පද්ධතියට මෙන්ම සත්ත්ව විවිධත්වයටද බරපතළ හානියක් සිදු වේ. එමෙන්ම සතුන්ගේ හා ශාකවල වාසස්ථාන විනාශ වීමද මෙමඟින් සිදු වන බරපතළ පාරිසරික හානියක් වන අතර, එසේ සිදුවන වනාන්තර දෙකඩ වීම්, වාසස්ථාන අහිමි වීම් නැවත යථා තත්ත්වයට පත් වීමට වසර ගණනාවක් ගත වේ.

උතුරු පළාතේ පේදුරු තුඩුවෙන් ආරම්භ කිරීමට නියමිත මෙම ෆෝ වීල් රථ සංචාරය 2004 දෙසැම්බර් 26 වැනිදා පැමිණි දැවැන්ත සුනාමි රළ පහර රට තුළට ඇතුළු වීම වැළැක්වූ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ස්වභාවික වැලි පර මතින් චුණ්ඩිකුලම් අභයභූමියට පිවිස, නන්දිකඩාල් කලපුව තුළින් නැදුන්කර්නි වනාන්තර ප‍්‍රදේශයට පිවිසීමට නියමිතය. ඉන් අනතුරුව නයාරු කලපුව, කෝකිලායි කලපුව, කුච්චවේලි වනාන්තරය, පෙරියකච්චි වනාන්තරය සහ මෙරට ඇති සුන්දරම වෙරළ තීරයක් වන නිලාවේලි වෙරළ තීරය නාවික හමුදා අභයභූමිය ඔස්සේ ෆෝ වීල් රථ සංචාරය වැලිකන්ද ප‍්‍රදේශයට පිවිසීමට නියමිතය.

මේ අතරින් බොහෝ ප‍්‍රදේශ යුද සමයේදී වුවත් සුරක්ෂිතව පැවැති ස්වභාවික පරිසර පද්ධතීන්ය. ඇතැම් ස්ථානවල ජෛව විවිධත්වයේ ස්වභාවය පවා හඳුනා ගැනීම සඳහා සිදු කළ යුතු අධ්‍යයනයන් පවා මෙතෙක් සිදු නොවීම නිසා මෙම පරිසර පද්ධතීන්වල සැබෑ වටිනාකම් මේ වනතේක තහවුරු කරගෙන නැත. එම අධ්‍යයනයන් කර පරිසරය සුරක්ෂිත කරනවා වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සහ වන සම්පත් අමාත්‍යංශය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන වගකිවයුතු ආයතන පරිසරය විනාශ කිරීමට අවසර ලබා දී ඇත.

මෙසේ නාවික හමුදා අභයභූමිය ඔස්සේ රට තුළට පිවිසි ෆෝ වීල් රථ සංචාරය, වැලිකන්ද හා අවට ප‍්‍රදේශයේ පිහිටි එල්ලංගා පද්ධතිය (වැව් පරිසර පද්ධති) තුළින් තොප්පිගල වනාන්තරයට පිවිසීමට සැලසුම් කර ඇත. ඉන්පසුව නැගෙනහිර වෙරළ තීරයට ආසන්නයේ ඇති මහ ඔය, උහන, පොතුවිල්, උල්පස්ස-එගොඩයාය සහ පානම වැනි නොඉඳුල් වනාන්තර දෙකඩ කරමින් ෆෝ වීල් රථ සංචාරය ගමන් කිරීමට නියමිතය.

මෙම මාර්ගය වැදගත් වන්නේ පාරම්පරිකව අලි-ඇතුන් ගමන් ගන්නා අලිමංකඩ හා අලි-ඇතුන් ආහාර සොයා ගන්නා සංචරණ ප‍්‍රදේශ නිසාවෙනි. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට එකින්-එකට යාවූ වනාන්තර තුළින් කුමන හරහා යාල ජාතික වනෝද්‍යානයට අලි-ඇතුන් ගමන් ගන්නා ප‍්‍රධාන අලිමංකඩ මෙය වන අතර, ෆෝ වීල් රථ 55කට අධික ප‍්‍රමාණයක් අධික වේගයෙන් මෙම මාර්ගය හරහා ගමන් කිරීමෙන් අලි-ඇතුන්ගේ සංචරණයට තීරණාත්මක ලෙස බාධා එල්ල වේ.

පානම වෙරළ තීරයෙන් රට තුළට නැවත වරක් ඇතුළු වීමට නියමිත ෆෝ වීල් රථ සංචාරය ලාහුගල වනාන්තරය හරහා යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත ප‍්‍රදේශ පසු කරමින් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළින් ගමන් කිරීමට නියමිත බවට සැක මතු වේ. දැනට ප‍්‍රසිද්ධ කර ඇති ෆෝ වීල් රථ සංචාරයට අදාළ ගමන් මාර්ග සිතියම කතරගමින් අවසන් කර ඇත. එහෙත් මෙම සංචාරයේ අවසානය ලෙස සඳහන් කර ඇත්තේ ඌව-කුඩා ඔය කොමාන්ඩෝ බලකා කඳවුරයි. මේ නිසා කතරගමින් පසු කුඩා ඔය දක්වා රථ සංචාරය ගමන් කරන මාර්ගය පැහැදිලි නැත. එය ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළින් නීති විරෝධී ලෙස ගමන් කිරීමට පිඹුරුපත් සකසා ඇත බව මෙමගින් පැහැදිලි වේ.

මෙම ෆෝ වීල් රථ සංචාරය නිසා පරිසරයට සිදු වන හානිය සලකා තමන් ඒ සඳහා සහයෝගය ලබා නොදෙන බව මෙරට ජාතික හා ප‍්‍රාදේශීය මට්ටමින් නිල වශයෙන් ලියාපදිංචි ෆෝ වීල් ක්ලබ් දෙක දැනටමත් ප‍්‍රසිද්ධ කර ඇත. එසේ තිබියදී ආණ්ඩුවේ ඉහළම ප‍්‍රබලයකුගේ පුත‍්‍රයකු සම`ග සමීප සම්බන්ධකම් පවත්වන ව්‍යාපාරිකයකු සභාපතිත්වය දරන ලියාපදිංචි නැති ෆෝ වීල් සංගමයක් පමණක් මේ සදඟා දායකත්වය ලබා දීමට ඉදිරිපත් වී ඇත.

අදාළ සංගමය මේ වනවිට ප‍්‍රසිද්ධ කරමින් සිටින්නේ තමන් මෙම පරිසර හානි සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවත්, පරිසර සංවේදී කලාප අදාළ ෆෝ වීල් රථ සංචාරයේ ගමන් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත්ය. එහෙත් එවැන්නක් සිදු වී නැති බව පැහැදිලි වන අතර, ඔවුන් විසින් ෆෝ වීල් රථ හිමියන්ට ලබා දී ඇති පත‍්‍රිකාවල සඳහන් වන්නේ මෙම රථ සංචාරයේ ගමන් මාර්ගය නොඉඳුල් වනාන්තර ප‍්‍රදේශයන් හරහා වැටී ඇති බවයි.

රටේ සමස්ත නැගෙනහිර කලාපයටම දැවැන්ත පරිසර හානියක් සිදු කරමින් පැවැත්වීමට නියමිත මෙම ෆෝ වීල් රථ සංචාරය මෙරට පරිසර ඉතිහාසයේ කළු පැල්ලමක් නිර්මාණය කරන අතර, දැනට සංවර්ධනය කර ඇති මාර්ග ඔස්සේ මෙ සංචාරය පැවැත්වීමට හැකි නම් මෙමඟින් සිදු වන බරපතළ පරිසර හානිය වළක්වා ගත හැකිය. මේ නිසා දැනට මෙම සංචාරය සහ ඊට අදාළ සංවිධාන කටයුතු සිදු වන නීති විරෝධී ආකාරය සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය පළ කර සිටිමු.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්,
ජාතික සම්බන්ධීකාරක,
ස්වභාවදහම් අධ්‍යයන මධ්‍යස්ථානය.

Last modified on Tuesday, 29 July 2014 13:56

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us