කොළඹ මහජන පුස්තකාලය ප්‍රසිද්ධ වැසිකිළියක් ද?

Published in පුවත්
Wednesday, 29 July 2015 08:03

කොළඹ මහජන පුස්තකාලයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා මීට හය මසකට පමණ ඉහත දී වසා දමා තිබිණ. ඊයේ සිට (2015-07-28) එය යළි විවෘත කර ඇත. ඒ, මේ දිනවල පැවැත්වෙන ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමීව ය.

බැලූ බැල්මට ඉහත ප්‍රවෘත්තිය සතුටුදායක ය. නමුත් මේ ලියන්නට යන්නේ ඒ සතුටුදායක ප්‍රවෘත්තියේ කනගාටුදායක තත්ත්වය පිළිබඳව ය. එනම් නව වැසිකිළි පද්ධතිය විවෘත කළ පසු එය භාවිතා කරන එක් අයකුගෙන් එක් වතාවකට රුපියල් 10ක මුදලක් අය කිරීම ය.



නගර සභා, සුළුනගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් පාලනය කරනු ලබන ප්‍රසිද්ධ බස් නැවතුම්පොළවල්වල සහ නගරවල පිහිටි වැසිකිළි භාවිතා කිරීම සඳහා මුදලක් අය කරයි. ඒ, එම වැසිකිළි ‘‘ප්‍රසිද්ධ වැසිකිළි’’ වන හෙයිනි. එහෙත් කොළඹ මහජන පුස්තකාලය එබඳු ස්ථානයක් නොවේ. එය පාඨක ප්‍රජාවගෙන් සාමාජික මුදල් අයකරගන්නා, අධ්‍යාපන කටයුතු සඳහා සහභාගි වන ශිෂ්‍යය ප්‍රජාවගෙන් ඒ සඳහා යම් සාමාජික මුදලක් අය කරගන්නා රාජ්‍ය සේවා ආයතනයකි. එම ආයතනයේ සේවය ලබාගන්නට පැමිණෙන අයගෙන් ඔවුන් ගේ සනීපාරක්ෂක කටයුතු සඳහා ද වෙනම මුදලක් අය කිරීම කෙතරම් යුක්තිසහගත ද?

ඒ එක් පාර්ශවයකි.

සියයට සියකින් ඉහළ දැමූ ශාලා ගාස්තු


පසුගිය ජනවාරි මාසයේ සිට කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේ සහ ප්‍රවේශාගාරය ඇතුළු සියලු ශාලා සඳහා අය කළ ගාස්තු ද ඉහළ දැමී ය. එය සුළුවෙන් නොව මහා පරිමාණයෙනි. එනම් එතෙක් එක් දිනකට රුපියල් 1,400.00ක් අය කළ ප්‍රවේශාගාර ගාස්තුව රුපියල් 4,000.00 දක්වා ඉහළ නැංවී ය. පොත් එළිදැක්වීම් සඳහා රුපියල් 1,000.00ක් සහ වෙනත් සම්මන්ත්‍රණ ආදිය සඳහා රුපියල් 3,000.00 දක්වා අය කළ ශ්‍රවණාගාරය සඳහා පැය හතරකට රුපියල් 5,000.00ක් සහ පැය අටක් සඳහා රුපියල් 8,000.00 දක්වා ඉහළ දැමී ය. එතැන් සිට මාස ගණනාවක් ප්‍රවේශාගාරය වසා තිබෙනු දක්නට ලැබුණි. මෙසේ මිළ ඉහළ දැමූව ද ඊට සාපේක්ෂව ලබාදුන් පහසුකම් අවම ය. වෙනසකට සිදු වූයේ ශ්‍රවණාගාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක් සවි කිරීම පමණි. ප්‍රවේශාගාරයේ නම් කිසිඳු වෙනසක් සිදු නොවුණි.

වැසිකිළි ආදායම දිනකට අවම රුපියල් 3,000.00 යි

තත්ත්වය එසේ තිබිය දි ඊයේ සිට වැසිකිළිය භාවිතා කිරීම සඳහා එක් වරකට එක් පුද්ගලයකුගෙන් රුපියල් 10ක් අය කිරීම පිළිබඳ කාරණයට යළි ප්‍රවේශ වෙමු.

මෙම ශ්‍රවණාගාරයේ අවම වශයෙන් ආසන තුන්සියයක් පැනවිය හැකි ය. ඇතැම් අවස්ථාවනිහි දී එහි පැවැත්වෙන රැස්වීම් සහ සම්මන්ත්‍රණ ආදියට තුන්සියය ඉක්මවා සහභාගි වන අවස්ථා ඇත. අදාළ රැස්වීම, සම්මන්ත්‍රණය හෝ ප්‍රදර්ශනය සංවිධානය කරන පුද්ගලයා හෝ කණ්ඩායම ඉහත කී ප්‍රමාණයේ මුදලක් ගෙවා ශාලාව වෙන් කළ ද ඊට සහභාගි වන පුද්ගලයන්ගෙන් එක් වරකට එක් පුද්ගලයෙක් වැසිකිළිය භාවිතා කරන්නේ නම් රුපියල් 10ක් අය කළ විට පුද්ගලයෝ සියයක් එක් දිනක දී වැසිකිළිය භාවිතා කළේ නම් එවිට මහජන පුස්තකාලයේ බලධාරින් ඒ මිනිසුන්ගෙන් අය කරගන්නා මුදල රුපියල් 3,000.00 කි. ඒ එක්පුද්ගලයෙක් එක් වතාවක් වැසිකිළිය භාවිතා කළේ නම් පමණි. ඇතැම් විට දවස පුරා රැස්විම් සහ සම්මන්ත්‍රණ පැවැත්වෙන අවස්ථාවන්හි දී එක් පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැසිකිළිය භාවිතා කරන අවස්ථා බහුල ය. එවිට මෙම මුදල රුපියල් 4,500.00 සිට 6,000.00 ද ඉක්මවිය හැකි ය. වැඩේ නරක නැත. මහජන පුස්තකාලයේ බලධාරින් මුදල් සෙවීම සඳහා හදුන්වා දී ඇතී උපක්‍රමය කදිම ය.

ශිෂ්‍ය ප්‍රජාවගෙන් ද මුදල් අය කෙරේ

අධ්‍යාපන කටයුතුවල නිරත වීම සඳහා මෙම පුස්තකාලයට දිනකට සියයකට දෙසියකට ආසන්න ශිෂ්‍ය ප්‍රජාවක් සහභාගි වෙති. ඔවුන් උදෑසන 08.00 සිට සවස 06.00 දක්වා එහි අධ්‍යාපන කටයුතුවල නිරත වෙති. එවිට ඔවුහු අවම වශයෙන් දිනකට තෙවතාවක් වැසිකිළිය භාවිතා කළ යුතු වේ. මෙම ශාලාවට පැමිණෙන්නේ ධනපති පංතියේ ශිෂ්‍යයන් පමණක් නොවේ. කුලී වැඩකින් එදා වේල සරිකරගන්නා දෙමාපියන්ගේ දරුවෝ ද මෙම ස්ථානයේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පැමිණෙති. ඔවුහු රටේ අනාගතය යි. ඒ එක් ශිෂ්‍යයකුගෙන් හෝ ශිෂ්‍යාවකගෙන් එක් වරකට රුපියල් දහයක් අය කළ විට අවම වශයෙන් තෙවරක් වැසිකිළිය භාවිතා කිරීමට දිනකට රුපියල් 30.00ක මුදලක් වැය කිරීමට සිදු වේ. දින පහක් පුස්තකාලය පරිහරණය කරණ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යයාවක් එක් සතියක් තුළ තම සනීපාරක්ෂක කටයුතු සදහා පමණක් රුපියල් 150.00ක් වැය කළ යුතු ය. මෙය කෙතරම් සාධාරණ ද යන්න කොළඹ මහජන පුස්තකාලයේ බලධාරින් නැවත නැවතත් සිහිපත් කළ යුතු ය.

කාන්තා ප්‍රජාවට තවත් අසාධාරණයක්

තවද මෙහි දී සැලකිය යුතු තවත් කරුණක් ඇත. එනම් වැඩිහිටි කාන්තාවන් සහ ශිෂ්‍යාවන් ගේ පාර්ශවයෙනි. කාන්තාවක ගේ මාසික ආර්තව දිනයන් හිදී ද අදාළ කටයුත්ත සඳහා අවම වශයෙන් දෙවතාවක් හෝ වැසිකිළිය යා යුතු ය. එහි දි කාන්තාවන් මතු නොව ශිෂ්‍යාවන් ද මුදල් ගෙවිය යුතු ය. මෙය කෙතරම් ආශ්චර්යයක් ද?


තණකොළ කපන්නට කිතුලට නැගි මිනිසා

මෙම කොටස ද මෙයට ම ඈඳිය යුතු ය. ඒ ඇතැම් විට මේ සදහා බලධාරින් නගන මූඪ තර්ක මෙසේ විය හැකි ය.

‘පුස්තකාලයේ වැසිකිළිය බාහිර පුද්ගලයෝ ද භාවිතා කරයි. එහෙයින් එය නිරන්තරයෙන් පිරිසිදු කළ යුතුය. ඒ සඳහා මුදලක් වැය කළ යුතු ය.’ යනාදි තර්ක ගෙනහැර දැක්විය හැකිය.

ගොඨාභය ගේ තාප්ප භිතිකාවේ අතුරු ඵල

සැබැවින් ම පසුගිය ආණ්ඩු සමයේ එම ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට තිබූ තාප්ප භීතිකාව හේතුවෙන් මහජන පුස්තකාලය සහ විහාර මහාදේවි උද්‍යානය වෙන් කළ තාප්පය ද ඉවත් කෙරිණ. අනතුරුව ඒ අවට සිටි යාචකයෝ ද, පාදඩයෝ ද, කුඩු උරන්නෝ සහ වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ ද රැයක් දවාලක් නොමැතිව මෙම වැසිකිළි භාවිතා කළෝ ය. එහි දී වැසිකිළි පද්ධතිය දැඩි ලෙස අපිරිසිදු විය. දැන් මුදලක් අය කරන්නේ එලෙස බාහිර පුද්ගලයන් පැමිණිම වැළැක්වීමට යැයි තර්කයක් ඉදිරිපත් කළ හැකි ය. එය මැස්සන් පැමිණීම වැළැක්විම සඳහා පැළ ඉනි වැටක් බැන්දා හා සමානය.

කළ යුත්තේ එය නොවේ. ‘‘කොළඹ මහජන පුස්තකාලය’’ නමැති ආයතනයේ අනන්‍යතාව රැකෙන පරිදි යළි තම සීමාවන් සලකුණු කර ගැනීම ය. එවිට බාහිර පුද්ගලයෝ පැමිණිම ස්වයංවම වැළකෙති. තාප්ප කඩා බිඳ දැමීමට පෙර මෙලෙස අනවශ්‍යය පුද්ගලයෝ මහජන පුස්තකාල භූමියට ඇතුළු නොවූ බව බලධාරින් පිළිගත යුතු ය. එසේ නොකොට පය බරවායට පිට කොන්දේ බෙහෙත් බැඳීමෙන් රෝගය සුව නොවන බව කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනිය ප්‍රමුඛ බළධාරීන් වටහා ගත යුතු ය.

සුභ සාධක සංගමයයේ අසුභ වැඩ පිළිවෙළ


ලිපිය අවසන් නැත... පසුගිය අප්‍රියෙල් මාසයේ මෙම ආයතනයේ පිහිටි ආපන ශාලාවට පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබන ලදී. ඒ, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, ගබඩා කර තබාගැනීම සහ අපිරිසිදුතාව හේතුවෙනි. එහෙත් අධිකරණයේ දඩ මුදලකට යටත් වු සැණින් එම කොන්ත්‍රාත්කරු ම යළි ආපන ශාලාව විවෘත කළේ ය. ටෙන්ඩර් පටිපාටියට අනුව යම් ආකාරයකින් මහජන සෞඛ්‍යයට තරජනයක් වන ආකාරයෙන් ආපන ශාලාව පවත්වාගෙන ගියේ නම්, ආපන ශාලාව පවත්වාගෙන යන පුද්ගලයා හෝ කණ්ඩායම ඒ සදහා අධිකරණයෙන් දඬුවම් ලැබුවේ නම්, එය හේතු කර ගෙන අදාළ ටෙන්ඩරය අහෝසි කළ හැකි ය. එහෙත් පසුගිය ආණ්ඩු සමයේ වුවා සේ ම වරදකරුවාට ම යළි ආපන ශාලාව පවත්වාගෙන යන්නට ඉඩකඩ විවර විය.

වැටත් නියරත් ගොයම් කන්නේ නම්

මෙහි උත්ප්‍රාසය වන්නේ මෙය නොවේ. කොළඹ මහජන පුස්තකාලය පාලනය වන්නේ කොළඹ මහනගර සභාවෙනි. එහි ද මහජන සෞඛ්‍යය පරීක්ෂණ අංශයක් පවතී. එසේ තමන් යටතේ පාලනය වන ආයතනයක ආපන ශාලාවේ සුදුසුකම හෝ නුසුදුසුකම සොයා ඒ සඳහා දඬුවම් පැමිණවීමට ඉදිරිපත් වන්නේ නගර සභාවට ඉහළින් සිටින පාරිභෝගික අධිකාරිය යි. මෙසේ වන්නේ ඇයි?

මෙම ආපන ශාලාවේ කටයුතු සොයා බැලීම භාරව පවතින්නේ කොළඹ මහජන පුස්තකාලයේ සේවක සුභ සාධක සංගමයට ය. මෙම සංගමයේ 2014 නිලවරණයෙන් තේරි පත්වූයේ අලුත් ම පිරිසකි. එය ද කූට සැලැස්මක ප්‍රතිඵලයක් බව පුස්තකාලයේ අභ්‍යන්තර තොරතුරුවලින් පැහැදිලි වෙයි. කෙසේ වෙතත් අභිනව නිලමඬුල්ලේ ඉහළ ම නිලධාරියාගේ සිට පහළ ම නිලධාරියා දක්වා වු සියලු දෙනා ම පෙර කී ආපන ශාලාවෙන් තමන්ට අවශ්‍යය ආහාර පාන ලබාගන්නේ කිසිඳු මුදල් ගෙවීමකින් තොරව බව ද සැල විය. කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයෝ මෙම ආපන ශාලාවට නොපැමිණියේ මේ හේතුවෙන් බව එහි අභ්‍යන්තර තොරතුරු මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ ආදර්ශය පිළිලයක් වේ ද?

මේ කොළඹ මහජන පුස්තකාලයේ අවකල් ක්‍රියා පිළිබඳ බිඳක් පමණි. පුස්තකාලය පරිහරණය කිරීම සඳහා පැමිණෙන පාඨක ප්‍රජාවගේ අවශ්‍යතාවන් නිසිපරිදි ඉටු නොකරන බලධාරින් වැසිකිළි ගාස්තු වැඩි කිරීමෙන් පමණක් ස්වයං වින්දනයක් ලබාගැනීම අභාග්‍යකි. මොවුන් මේ ආකාරයට දිගින් දිගට ම කටයුතු කළ හොත් මෙය ආදර්ශයට ගෙන මතු දිනක දී: කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලය, කොළඹ ජාතික කෞතුකාගාරය, ජාතික ලේඛනාගාරය, කොළඹ නව නගර ශාලාව සහ කොළඹ මහනගර සභාව ද විවිධ කටයුතු සඳහා අදාළ ආයතන වෙත පැමිණෙන මහජනයාගෙන් වැසිකිළි කැසිකිළි භාවිතය සදහා මුදල් අය කිරීමට පෙලඹෙනු ඇත. මෙම අසාධාරණ ක්‍රියාවට මහජනයා එරෙහි විය යුතු අතර මේ සඳහා ඉහළ බලධාරින්ගේ ද අවධානය යොමු විය යුතු බව ද සිහිපත් කළ යුතු ය.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us