ජවිපෙ හෘදසාක්ෂිය - මහින්දට කොහොමත් ඉඩ දෙන් නෑ.

Published in පුවත්
Sunday, 04 November 2018 14:59

බල සූදුවෙන් පත්වන රනිල් හෝ මහින්ද අගමැති ලෙස ජනතාව පිළිගත යුතු නැහැ...ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රගතිශීලී බලවේග සමග එක්ව සටන් කරනවා...ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද පැවැති මාධ්‍ය හමුවකදී සපත කර සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නියෝජිතයන් මෙසේද පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමර්ගවලට එරෙහිව එජාපයත්, ටීඑන්ඒ, මුස්ලිම් කොංග්‍රසය, රිෂාඞ් බදුර්දීන්ගේ පක්‍ෂය, ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂත් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂත් සමග ක්‍රියාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ඒ විතරක් නොව මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, සාමාජිකයින් ඉන්නවා. ඔවුන් සමගත් අපි ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්.

මෛත්‍රීපාල සිරිසේන විසින් නීතිවිරෝධීව, ප්‍රජතන්ත්‍රවිරෝධීව, සදාචාරවිරෝධීව මහින්ද අගමැති බවට පත්කළේ. එම ක්‍රියාව ජවිපෙ හෙළාදකිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන දේශමාමක ජනතාව එම ක්‍රියාව ප්‍රතික්‍ෂේප කරනවා. රටේ අනාගත පැවැත්මට ව්‍යවස්ථාව, දේශපාලන සදාචාරය ආරක්‍ෂා කළ යුතුයි. මහ ඉහළින් ආරක්‍ෂා කළයුතු යැයි ඔවුන්ම කියන රටේ මූලික නීතිය ඔවුන් විසින්ම උල්ලංඝනය කර තිබෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කලා. නීතිවිරෝධීව, ප්‍රජාතන්ත්‍රවිරෝධීව, පත්කළ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාත් අනතුරුව පත්කළ ඇමතිවරුත්, ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයත් අපි පිළිගන්නේ නැහැ. ජනතාවත් ඔවුන් පිළිගන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අගමැති පත්කළ යුතු බව ව්‍යවස්ථාවේ තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් නොවිමසා සිදුකළ පත්කිරීම විසින් රට අවුලකට ඇද දාලා. ඒ විතරක් නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න තිබෙන ජනතා නියෝජිතයින් නියෝජනය කරන පාර්ලිමේන්තුව විධායක බලතල පාවිච්චි කරලා වාර අවසන් කොට තිබෙනව. තනි පුද්ගලයෙකු තමන්ට හිතෙන හිතෙන වෙලාවට පාර්ලිමේන්තුව වාර අවසන් කරන්නේ කොහොමද? 1978දී මෙම වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල් කරන වෙලාවේ එන්.එම්.පෙරේරා ප්‍රශ්න කර සිටියා, පිස්සෙක් ජනාධිපති වුවහොත් ඇතිවන තත්වය මොකක්ද කියලා. අදත් ඒ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. පාර්ලිමේන්තුව වාර අවසාන කරන්නේ සාධාරණ හේතුවක් මත නොවෙයි. හැමදාමත් ජනාධිපතිවරයා තමන්ගේ බංකොළොත් බලය තහවුරු කරගැනීමට පාර්ලිමේන්තුව කල් දානවා. ඒ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න නොවෙයි. ප්‍රජාතන්ත්‍රවිරෝධී, සදාචාරවිරෝධීව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ඇති අත්තනෝමතික බලය ඉවත් කිරීම වෙනුවෙන් ජවිපෙ හැමදාමත් පෙනී සිටියා.

බල සූදුව ඇතුළේ අද මන්ත්‍රීවරුන් කුණු මාළු ගානට විකිණෙනවා. කෝටි 40ට, 50ට මිල නියම වෙනවා. මන්ත්‍රීවරු මිලටගැනීම වෙනුවෙන් සාකච්ඡා කෙරුනු හඬ පට එළියට එනවා. ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට මුදල්දීම, තනතුරු දීම අල්ලස් ලබාදීමක්. එය බරපතල වරදක්. නමුත් නීතිවිරෝධී ක්‍රියා එළිපිටම සිදුවෙනවා. එවැනි තත්වයකට අද දේශපාලනය පත්වෙලා. මන්ත්‍රීවරු විකිණීම වැළැක්වීමට අපි විවිධ ක්‍රියාමාර්ග ගත්තා. 19වැනි සංශෝධනය සම්මත වන වෙලාවේ පක්‍ෂ මාරුව නතර කරන්න වගන්ති ඇතුළත් කළ යුතු බව අපි යෝජනා කළා. නමුත් 19 සම්මත වන අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන එයට විරුද්ධ වුණා. එදා අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස එය අනුමත කරමින් යෝජනාව ඉවත්කර ගත්තා. එහි ආදීනව අද ජනතාව අත්විඳිමින් සිටිනවා.

එම නිසාම මන්ත්‍රීවරු පිල්මාරුව වැළැක්වීමට යෝජනාවක් 20වැනි සංශෝධනයට ඇතුළත් කොට තිබෙනවා. ජනතාවට තේරුම් ගන්න පුළුවන්, මන්ත්‍රීවරුන් නින්දිත ලෙස විකිණීම නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණේ ඇයි කියලා.

මන්ත්‍රීවරුන් තමන්ගේ පැත්තට පනින කොට හායි කියලා පිළිගන්න අයම තමන්ගේ පැත්තෙන් යනකොට විවේචනය කරනවා. රාජපක්‍ෂ කණ්ඩායම, ටීඑන්ඒ ෆෙඩරල් ඉල්ලන බවත් බෙදුම්වාදය ශක්තිමත් කරන බවත් පැවසුවා. අද මොකද වෙලා තියෙන්නේ. හමුදාව යොදා කුණු කාණු සුද්ද කළ යුතු බවත් සිංහල ජනතාව මුලතිව් ප්‍රදේශයේ පදිංචි වීමට දැඩිලෙස විරුද්ධ වූත් ටී.එන්.ඒ. මන්ත්‍රීවරයා මහින්ද පිලට අරගෙන. මඩකලපුවේ සර්යා විශ්වවිද්‍යාලයක් හදනවා කියපු හිස්බුල්ලාත් අද තමන්ගේ ඔඩොක්කුවට ආවාට පස්සේ මහාලොකු දේශප්‍රේමියෝ සද්දයක් නැහැ. ඒ තරමට මජර තත්වයට පත්වෙලා. දේශපාලන සංස්කෘතිය බිඳවැටිලා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ගමන් සෙල්ලම් ආණ්ඩුවක් හදලා ඇමතිවරු පත්කරනවා. තමන්ගේ උවමනාවන් ඉටුකරගන්න තෙක් පාර්ලිමේන්තුව වහල දාලා. ඔවුන්ට ඕනෑ විදිහට පාර්ලිමේන්තුව කැඳවන්න හදනවා. එහෙම කරන්න තියෙන අයිතිය මොකක්ද? එය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. සදාචාර විරෝධියි. යහපාලන ජනවරමට පටහැනියි. එම නිසා එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව අපි නැගී සිටිනවා. මෙම බල සූදුව කොහෙන් කෙළවර වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. තාවකාලිකව හෝ විසඳුමක් ලබාගැනීමට පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. 05වැනදා කැඳවනවා කිව්වා, 07වැනිදා කැඳවනවා කිව්වා. දැන් කියනවා 16වැනිදා කැඳවනවා කියලා. නමුත් එය විශ්වාස කළ හැකි නොහැකියි. අපි බලකරනවා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. සෙල්ලම් ආණ්ඩු හදලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන්න ඉඩ දියයුතු නැහැ. ඔවුන් ගේනවා කියන අතුරු සම්මත අයවැයත් නීත්‍යානුකුල නැහැ.
අද ඇතැම් පක්‍ෂ, මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ තම තමන්ගේ ගොඩට දාගන්න හදනවා. අපි පැහැදිළිව කියනවා, අපි එක පැත්තකටවත් සහාය දෙන්නේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු විශ්වාසභංගයට අපි පක්‍ෂව ඡන්දය දුන්නා. එම නිසා රනිල් අගමැති කරන්න අපිට කිසිදු උවමනාවක් නැහැ. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව පත්කළ මහින්ද අගමැති ලෙස පිළිගන්නෙත් නැහැ. අපේ ස්ථාවරය පැහැදිළියි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව කැඳවිය යුතු කියන සටනට අපි සහාය දෙනවා. එජාපයට හේත්තු කරලා ජවිපෙ නිශ්ශබ්ද කරන්න කාටවත් පුලුවන්කමක් නැහැ. රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාර විරෝධී, නීතිවිරෝධී ක්‍රියාමාර්ගයන් දෙස බලාගෙන ජවිපෙ නිහඬව ඉන්නේ නැහැ. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව එකතු කළ හැකි සියලු ප්‍රගතිශීලී බලවේග අපි එකතු කරනවා. ප්‍රගතිශීලී පක්‍ෂ, බහුජන සංවිධාන, බුද්ධිමතුන් සියලු දෙනා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. වෙනස්කම් තිබුණත් දේශපාලන මතය කුමක් වුණත් ජාති භේද, ආගම් භේද සියල්ල පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් එක්සත්ව ක්‍රියාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා

භාණ්ඩාගාරය ණය ගෙවාගන්න බැරිව අර්බුදයක හිරවෙලා කියලා ආණ්ඩුවම කිව්වා. එසේ තිබියදී පත්වුණා කියන ආණ්ඩුව බලසූදුව පවත්වාගෙන යන්න ජනතාවට කැරට් අල දෙන්න පටන් ගත්තා. තෙල් මිල, බඩුමිල, බැංකු පොලී අනුපාත අඩු කරන්න ගත්තා. මීට කලින් ආණ්ඩුවට අඩුකරන්න බැරි දේවල් එක පාරම අඩු කරන්නේ කොහොමද? මේ බලසූදුවට ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව පැන නැගෙන ජනතා විරෝධය යටපත් කරන්න තමයි කැරට් අල දෙන්න පටන්ගත්තේ. මේවා හරියට ඡන්ද කාලෙට ජනතාවට දෙන කැරට් අල වගේමයි. තමන්ගේ හොරා තමන්ට හොඳා කියන, තමන්ගේ පක්‍ෂයෙන් දෙන ඕනෑම අසූචි ගොඩක් වළඳන ජනතාවට නෙවෙයි අපි මේ කියන්නේ. මධ්‍යස්ථව සිතන රටේ ජනතාවට හිතන්න ඕනෑකරන වටපිටාවක් දැන් ගොඩනැගී තිබෙනවා. මේ සහන තාවකාලිකයි. මන්ත්‍රීවරු සල්ලිවලට ගන්න ක්‍රියාමාර්ගවලට එරෙහිව නැගෙන විරෝධය යට ගහන්න දෙන ලොසිංජර පමණයි. අපි ජනමාධ්‍යවලට කියනවා, මේවා පළකළ යුත්තේ සහන කියලා නොව ජනතාව රවටන්න දෙන ලොසිංජර කියලයි.

මන්තීවරු විකිණීමේ සූදුව පිළිබඳව පුදුම වෙන්න දේකුත් නැහැ. මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවේ දොරවල් කඩාගෙන නෙවෙයි, ජනතාවගේ ඡන්දෙන්. ඡන්ද කාලෙට රැකියාවට, බඩු මල්ලට, සාරියට ජනතාව විකුණුනා. ඒ ඡන්දෙන් පත්වුණු මන්ත්‍රීවරු ඊළඟ මැතිවරණයට සල්ලි හොයාගන්න මන්ත්‍රීකම්, ඇමතිකම විකුණනවා. සල්ලිවලට විකිණෙන පුද්ගලයින් ඇමතිතුමාලා, මන්ත්‍රීතුමාලා වෙන්නේ නැහැ. අපි තවදුරටත් එවැනි පුද්ගලයින්ට ඇමතිතුමා, මන්ත්‍රීතුමා, අගමැතතුමා කියන්න සූදානම් නැහැ. ජනතාවත් එයට සූදානම් නැහැ. අද මහින්දගේ පැත්තට විකිණෙන අය හෙට රනිල්ගේ පැත්තට විකිණෙන්න පුලුවන්. එවැනි පුද්ගලයින්ට මන්ත්‍රීතුමා, ඇමතිතුමා කියන්න ජනතාවට පුළුවන්ද? මාධ්‍යවලට පුළුවන්ද? මීට පස්සේ ඒ වරද කරන්න එපා. අපි ජනතාවගෙන්, මාධ්‍යවලින් ඉල්ලනවා, නරඹන්නන් නොවී එවැනි පුද්ගලයින්ට පණිවුඩයක් දෙන්න සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.

ජවිපෙ 20වැනි සංශෝධනය ගේනවා කියනකොට, වගන්ති දැක්කෙත් නැතිව 20න් රට බෙදනවා, රට අරාජික වෙනවා, රට කොටියට දෙනවා කියලා කියපු හාමුදුරුවරු පිරිසක් හිටියා. ටී.එන්.ඒ. මන්ත්‍රීවරයෙක් රාජපක්‍ෂලාගේ පැත්තට ආවා. 20ට විරුද්ධ වුණු හාමුදුරුවන් වහන්සේලාගෙන් අපි දැනගන්න කැමතියි ඒ ගැන මොකක්ද කියන්නේ? ටී.එන්.ඒ. මන්ත්‍රීවරු මහින්දගේ පැත්තට ගත්තාම රට බෙදෙන්නේ නැද්ද? පැහැදිළි කිරීමක් හාමුදරුවන් වහන්සේලාට කරන්න පුළුවන්ද? මේ සිදුවීම්වලින් 20වැනි සංශෝධනය තව තවත් තහවුරු වෙමින් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ඔප්පු කරනවා. 20හි වලංගුතාවය තමයි රනිල්-මෛත්‍රී-මහින්ද දැන් ඔප්පු කරමින් තිබෙන්නේ. අපේ රටේ ජනතාවට මග පෙන්වන්න ප්‍රගතිශීලී සිවිල් සංවිධානවලට පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ප්‍රතික්‍ෂේප කරන්න. ඒ වගේම අපේ රටේ මාධ්‍යවලට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. සමාජ මාධ්‍යවල, ප්‍රවෘත්ති වෙබ් අඩවිවල තමන්ගේ මතය ප්‍රකාශ කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහි වෙන්න කියලා අපි ඔවුන්ට විවෘත ආරාධනයක් කරනවා. අපි සියලු දෙනා එකතු වෙලා ජනතාවගේ ඡන්දයට අපහාස කරන ජනතා පරමාධිපත්‍ය හෑල්ලු කරන මෙම දේශපාලන කුමන්ත්‍රණ පරාජය කරමු. එය අපේ වගකීමක්. අද මෛත්‍රී-මහින්ද පෙන්වන මෙම ආදර්ශය ඉදිරියේදී තවත් කණ්ඩායමකට පූර්වාදර්ශයක් වෙන්න පුලුවන්. ඉදිරියේදී කවුරුන් හෝ මේ ක්‍රියාව කළොත් විරුද්ධ වෙන්න කාටවත් බැරිවෙයි. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා, ජනතා විමුක්ති පෙරමුණ එක එක ගොඩවල්වලට දාන්න හදන උත්සාහයන්වලට රැවටෙන්න එපා කියලා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්...

දැන් සිදුවෙන සිදුවීම්වලින් ජනතාවට තේරෙනවා, හිතන්න අවස්ථාවක් ලැබී තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06දෙනාට වඩා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වා නම් හොඳයි කියලා. දැන් සිදුවෙන මජර දේශපාලනය වෙනස් කරන්න ජවිපෙට මන්ත්‍රීවරුන් 25-30ක් හිටියා නම් ශක්තියක් ලැබෙනවා. මේ අවස්ථාව ජනතාවට ලොකු පාඩමක් කියා දෙනවා. එනිසා ජනතාව ඉදිරියේදී තමන්ගේ යුතුකම ඉටු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ජවිපෙ මන්ත්‍රීවරුන් 06දෙනාගෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේදී ගන්නවා. පාර්ලිමේන්තුවේ ඇතුළේ සටන වගේම එළියෙත් සටනක් තිබෙනවා. ආණ්ඩුවට පසුගිය 23වැනිදා කොළඹදී විශාල විරෝධතාවයක් සංවිධානය කළා. ඇතිවුණු නව තත්වය සම්බන්ධයෙන් රටපුරා පෝස්ටරයක් ගහලා ජනතාව දැනුවත් කළා. ඊට එරෙහිව 01වැනිදා සියලු ප්‍රගතිශීලී බලවේග එකතු කරගනිමින් නුගේගොඩදී රැලියක් සංවිධානය කළා. ඉදිරියේදීත් ප්‍රගතිශීලී බහුජන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ, සියලු දෙනා එක්කර ගනිමින් පාරේ සටන දියත් කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ජනතාවගේ විශ්වාසය කඩලා නැහැ. ඉදිරියේදීත් ජනතාවගේ විශ්වාසය කඩන්නේ නැහැ. එනිසාම අපේ රටේ ජනතාවට විශ්වාස කරන්න තිබෙන එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. තව දුරටත් එජාපය හෝ ශ්‍රීලනිපය විශ්වාස කළ යුතු නැහැ.

අපේ රටේ ජනතාව මෙම දේශපාලන බල සූදුව අනුමත කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහලාගේ බල සූදුවත් මහින්ද රාජපක්‍ෂලාගේ බල සූදුවත් මේ දෙපැත්තම ජනතාව පිළිගන්නේ නැහැ. එම කණ්ඩායම්වල උග්‍ර පාක්‍ෂිකභාවයෙන් සිටින සුලු පිරිසක් පමණයි මෙම බල සූදුව අනුමත කරන්නේ. බහුතරයක් අපේ රටේ ජනතාව මේ කණ්ඩායම් දෙකම ප්‍රතික්‍ෂේප කරනවා.

මහින්ද රාජපක්‍ෂලාගේ කණ්ඩායම දැන් පාර්ලිමේන්තු ක්‍රියාමර්ග සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වලා ආණ්ඩුවේ වැඩ පටන් ගන්න බවත් කියනවා. නමුත් අපි කියන්නේ ඔවුන්ගේ කණ්ඩායමට ඕනෑ පරිදි පාර්ලිමේන්තුවේ ක්‍රියාමාර්ග හැසිරවීමේ හැකියාවක් නැහැ කියලයි. හැම දේටම කලින් අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වාම සිදුවෙන්නේ මොකක්ද කියලා එදාට බලාගන්න පුළුවන්.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us