පාස්කු ප්‍රහාරයේ 'මහ මොළකරුවා' ඔබද විය හැකිය ..! Featured

Wednesday, 21 April 2021 12:25

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විග්‍රහයක්...

පාස්කු ප්‍රහාර මහමොළකරු අවතාරයක්ද?

අදට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අවුරුදු දෙකක් ගතවී ඇත. එසමගින් වූ වෙනස්කම් රාශියකි. ජනාධිපතිවරයා හා රජය වෙනස්වීම සහ එහි ප්‍රතිපලයකින් ව්‍යවස්ථාව සංශෝධනයක් විය. අවාසනාවකට, කොවිඩ් 19 මුළු ලොවම බිලිගති. මේනිසා පාස්කු ප්‍රහාරය අඩු ප්‍රමුඛතාවයක් ලැබුවත්, වින්දිතයින්ට එම සිද්ධියවත්, ප්‍රතිපලවත් සුළුපටු නොවේ. පාස්කු සිද්ධීන් ප්‍රති–විමසුමක් පාස්කු කොමිසමේ වාර්තාව ජනගතවීමෙන් සිදුවුනි.

ලෝක ඉතිහාසයේත් මෙවැනි සිද්ධි සංඛ්‍යාව විශාලය. ශ්‍රී ලංකාවේද මෙවන්ම සිද්ධීන්ගෙන් දහස්ගණනක් මියැදී ඇත. බටහිර රටවල මෙන්ම, ඒ නිසා හමුදාමය, පරිපාලන, දේශපාලන බලධාරීහු රාජකාරියෙන් ඉල්ලා අස්නොවුහ. උසාවිගත නොවුහ. සටන් වැදුණු නිලයන්ට දෝෂ දර්ශනයන් – සාවද්‍යව හෝ නිරවද්‍යව – ජිනීවාහිදී ඉදිරිපත් කළවිට, රජය ඔවුන්ගේ වගවීම ප්‍රතික්ෂේප කළේය; අදද කරයි. තවද ත්‍රස්ත ගැටුමින් විවිධ වාර්ගීය පිරිස් දහස් ගණනින් නොයෙක් අන්දමින් මියැදුණු කළ, වගවීම ගැන ඝෝශා කලේ අතලොස්සකි.

මේ විනාශයන් සිදුවනුයේ ආරක්ෂක තීරණ දුබලතා, උපායමාර්ග බිඳවැටීම, අතපසුවීම, අවධානය හීනවීම, ආයතනික අක්‍රීයත්වය වැනි කරුණු නිසාය. පසුගිය දෑවුරුද්ද තුල පාස්කු ප්‍රහාරය නිසාම ආරක්ෂක හා දේශපාලන අංශ විවේචනය විය. දැනට බොහෝ විවේචනය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, ආරක්ෂක අමාත්‍යංන්ශීය දෙටු නිලධාරීන්, බුද්ධි හා පොලිස් නිලයන්ය.

ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනී සිටින්නෝ ප්‍රහාරයට කලින් එතුමා දැනුවත් නොවූ බව පවසති. ප්‍රහාරය දත් කිසිවෙකු එකී තොරතුරු ජනාධිපති සිරිසේන සමග බෙදාහදා ගත් බව නොපවසති. ඔහු ප්‍රහාරය දිව්‍යඥානයෙන් හෝ දැන සිටිබවට සැකයක් දේශපාලන හා ආගමික නායකයින් අදහස් කරන්නා සේය. අන් නිලයෝද නිදහසට සිය කරුණු දක්වති.

කෙසේවුවද,. ජනාධිපති ප්‍රහාරය නොදැන සිටියේය යන්න මත, ව්‍යසනය ප්‍රහාරයට ලඝුකිරීමට ජනතාව සූදානම් නැත. ප්‍රහාරයේ මුල–අග හාරා බලන්නට ඔවුන්ට අවශ්‍යය. පාස්කු කොමිසමේ වාර්තාවට බැහැරව ප්‍රහාරයට පෙර සිද්ධි–විශ්ලේෂණයක් අවශ්‍ය බවට කෙරෙන ඉල්ලීම් ඇසේ. එය ඉටුකළොත් පෙර රජයන් සැම පිරික්සේ. ‘යහපාලනයට’ ප්‍රහාරය පැටවුවහොත් පෙර රජයන් “ගොඩය”. වාර්තාවේ පිටු 282 සිට 286 දක්වා වගුගත සිද්ධීන් සිරිසේන ජනාධිපතිතුමාගේ ධුරකාලයට ගැලපුමක් දක්වන්නේ කලින් රජයන් අමතක කරමිනි.

ආරක්ෂක, බුද්ධි අංශ හා අන්තවාදීන්

2021 මාර්තු දෙවැනිදා ‘ඩේලි මිරර්’ පත්‍රයට රනිල් වික්‍රමසිංහයන් කළ ප්‍රකාශ දෙකක් උපුටමි. පළමුවැන්න නම්: “ගැටුම් කාලේදී මේ මුස්ලිම් කණඩායම් සමහරක් හා ආරක්ෂක ඒකක සමහරක් අතර සහයෝගිතාවයක් තිබුනා.” දෙවැන්න නම්: “මම කම්පනයට පත්වන්නේ ආරක්ෂක අංශයට සම්බන්ධිත යමෙක් කෙටි පාරෙන් යන විධිය දන්නවා. කොහොම හරි සහරාන් හා කල්ලිය ආරක්ෂක පද්ධතිය දැනගෙන ඉඳල, හැංගිලා, නොපෙනෙන්නට දුරස් වෙලා හිටියා. මේක බොහොම කම්පනයට හේතුවන කරුණක්, මොකද අනාගතයේදී ඒකම සිද්ධ වෙන්න පුළුවන් නිසා..”

රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයන්ගෙන් රටේ කලබැගෑනියක් ඇතිකිරීමට උත්සාහ කරතැයි කෙනෙකු පවසන්නට පිළිවන. ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ගිරිබාවේදී කොමිසම් වාර්තාව (පිටු 306) උපුටමින් යහපාලනයට ඇඟිල්ල දිගුකරන්ට පෙර වික්‍රමසිංහයන් මෙසේ ප්‍රකාශ කළේ. ජනාධිපති සිරිසේනට හිතවාදීවීමට නොවේ. ඔහුගේ ප්‍රයත්නය ප්‍රහාරයේ වගවීම යහපාලනයට පමණක් ලඝුකිරීම වැළැක්වීමට වියහැකිය. ඒ හැරත්, ජනතා ඉල්ලීමවන ප්‍රහාරයේ මහමොලකරුවන්ට යුද්ධ / බුද්ධි “ඉතිහාසයක්” ඇති බව හෙවත් ප්‍රහාරයට හමුදා– අන්තවාදීන් හවුලක් ඉඟිකිරීමට වියහැකිය.

වික්‍රමසිංහයන් තරමක් සත්‍ය කරමින් කොමිසමද අන්තවාදීන් සමග බුද්ධි අංශ සාමූහිකව ක්‍රියාකර ඇති අවස්ථා වාර්තා කරයි. මීට” ඉතිහාසය” විශ්ලේෂණය අවශ්‍යය. වාර්තාවෙන්ම උපුටතොත් පිටු 234 හයාතු මෝහමදු අහමදු මිල්හාන් ගැන, ඔහු 2006 දි න මිල්හාන් එල්ටීටියට එරෙහි සටනේදි ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවය කරමින් සිටි රාසික් මොහමඩ් ෆායිස් ගැනත්, පසුව “මිල්හාන් පොලිස් ෆායිස් සමග ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවය” කළ බව පැවසේ.

එසේම අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් 1997 සිට ජිහාඩ් ව්‍යාපාරයේ සිටි බවත්, 2004 සිට හමුදා බුද්ධි අංශය සමග සම්බන්ධතා තිබුණු බව වාර්තාවේ පිටු 241 පැවසේ. වාර්තාවේ 230- 234 දක්වා පිටුවල අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් ඔස්ට්‍රේලියාවේදී “රැඩිකල්වාදී” වී, 2014 දී සර්ඵාස් නිලාම් සමග සමස්ත ලංකා තහුවිද් ජමාත්හි සම්බන්ධතා ගොඩනගාගෙන, අයිඑස් සංවීධානයට බැඳෙන්නට තුර්කියට ගිය බවත්, (231 පිටුව) පැවසේ. පිටු 233දී 2016 දෙසැම්බරයේ සිට ජමීල්ව ආගමික අන්තවාදියෙකු ලෙස හමුදා බුද්ධි අංශ හඳුනාගෙන සිටි බව පැවසේ.

රහස් පොලිසිය සහරාන් ගේ මස්සිනාවන අන්සාර් තොරතුරු සපයන්නෙකු ලෙස යොදාගත් බව කොමිසම හෙළිකරයි. (පිටු 501). එහි කාල නිර්ණයක් නොදක්වන නිසා හා වනාතවිල්ලු සිද්ධියට සම්බන්ධය නිසා සමහරවිට යහපාලන සමයේදීද මෙය සිදුවන්නට ඇත. මේ අනුව සියලුම රජයන් “වරදෙහි” බැඳුණියයි චෝදනා කළ හැකිවේ.

පාස්කු වාර්තාවේ තවත් උපුටන කිහිපයක් අනුව අන්තවාදය පැටව්ගැසීම් ගැන පැවසිය හැකියි. සයින්දමරුදුහිදී 26-4-2019 දින හමුදාව අතින් මියගිය අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් බහරේනයට පලාගොස් සිට 2018 ශ්‍රී ලංකාවට පැමිණ ඇත. (පිටු 241) ඔහු ගැන පවසන කොමිසම ඔහු 1997 සිට කාත්තන්කුඩියේ ජිහාඩ් ව්‍යාපාරයේ සිටිබවත් 2004 සිට හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධතා පැවැත්වූ බවත් පවසයි.

කොමිසමේ වාර්තාව 11 පිටුවේත් පසුව 16-17 පිටුවලත් පූර්ව රැඩිකල්කරණය, පෞද්ගලික අනන්න්‍යතාවය නිර්මාණය, අන්තර් ග්‍රහණය මගින් පියගැටානුසාරයෙන් ජිහාද්කරණය සිදුවන බව පවසයි. 2015 පෙර සිද්ධීන්වූ අලුත්ගම, බේරුවල, ධර්ගා නගරයේ ගැටුම් ඉස්ලාම් භක්තිකයන් ජිහාද්කරණයට පොළඹවන්නට ඇත. කළහයන්ට උදාහරණ දිගන, අම්පාරේ හා ගින්තොට සිද්ධීන්ගෙන් තහුවුරුවේ. පියගැටානුසාර න්‍යායාත්මකව බැලුවොත්, 2015 අන්තවාදී නොවුනෙකු 2016 අන්තවාදී ත්‍රස්තවාදියෙකු වීම, 2015 පෙර සිටම එවැන්නෙකු අන්තවාදීකරණයේ න්‍යාය–මූලයන්ගෙන් පරිනාම වීයයි සිතීමට පොළඹවයි.

අපේ සමහර මුස්ලිම් දේශපාලන නායකයින්ට ‘මුස්ලිම් රැඩිකල්, අන්තවාදී, අයිසිස් පාක්ෂිකව ක්‍රියාකළ’ බවට කොමිසම වාර්තාව නිකුත්වීමට පෙරත්, පසුත් සංඝයා වහන්සේලා චෝදනා කරති. දේශපාලන වේදිකාවලත් මේ චෝදනා එල්ලවේ. එහෙත් ලංකාවේ ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දුන් අය වශයෙන් මෙසේ විවේචකයින් විසින් හඳුනාගත් සමහරුන්ට දණ්ඩනයට කොමිසම දක්වන අඩු සැලකිල්ල විවේචකයෝ ප්‍රශ්න කරති. කෙරෙන විවේචන අනුව සැක පහළවන්නේ, යහපාලනය මෙන්ම කලින් සිටි සැම රජයන්ද, සහරන් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් ගැන කළ විමර්ශනවල දුබලකමින්, ඔවුන්ට නිදැල්ලේ ශක්තිමත්වීමට ඉඩකඩ සැලසුනු බවය.

වාර්තාවේ 13-14 පිටුවල 2006 දෙසැම්බර මාසයේ තව්හීඩ් අනුගාමිකයින් විසින් සුෆී නිවාස හා ආයතන 117ට ප්‍රහාරය, සුෆී ආධ්‍යාත්මක නායකයාගේ දේහය සොහොණෙන් ගොඩදැමීම, 2007 කාත්තන්කුඩියේ සිද්ධීන්, 2009 ජුලි මාසේ සුෆී පූජකයින්ට වූ හානි ආදිය විස්තර කෙරේ. ඒ වගේම වාර්තාවේ 5 පරිච්චේදයෙහි ශ්‍රී ලංකාවේ වහාබ්වාදය ගැන දිග විස්තරයක් ඇත. එහි 2015ට පසු යොමුකිරීම් සංසන්දනාත්මකව අඩුය. එහෙයින්ද “ඉතිහාසය” විමර්ශනය නිරවද්‍ය මාර්ගයක් වියහැකිය. වාර්තාව 2015ට පෙර ඒ වර්ධනය වැළැක්වීමට ගත් උත්සාහ විස්තරාත්මකව නොපැවසන්නේ ඔවුන්ගේ අන්තවාදී පෝෂණය රජයන්ට ගැටලුවක් නොවූ නිසාද, නැත්නම් අන්තවාදීන් කොටින්ට එරෙහි මෙහෙයුම් සඳහා වටිනා වත්කමක් නිසා එරෙහිවීමට අක්‍රීයශීලීවූ නිසාද යන ප්‍රශ්න මතුවේ.

වාර්තාවේ පිටු 72 අනුව 2015 ජුලි මාසය වනවිට ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සිරියාවට ගිය බව රාජ්‍ය බුද්ධි සේවය අනුව නිරාවරණය වේ. මීට කලින්ද, මෙසේ විදේශගතවීම් සිදුවී ඇත. එසේ සිදුවූ විගමන පසුවිපරමක් සඳහා ගත් පියවර කුමක්ද යන ප්‍රශ්නයද කෙනෙකුට සිහිවේ.

වාර්තාවේ 82 පිටුව “2009 වනවිට සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් සතුව ටී 56 ආයුධ කිහිපයක්” තිබුණු බව කියවේ. ඒ 2015 පෙරයි. හමුදා සඳහා පමණක් ආනයනික ටී 56 රැවුල කපන රේසරයක් මෙන් මිලදී ගත නොහැකියි. ඒ නිසා ටී 56 ආයුධ ගැන සිතනවිට රනිල් වික්‍රමසිංහ සැකකරන අන්දමින් හමුදා බුද්ධි සම්බන්ධතා මගින් ලැබුනේද, අයිසිස් අන්තර්ජාතික ජාලයෙන් ලැබුනේද, වෙනත් මූලාශ්‍රයකින් ලැබුනේද, රේගුවෙන් හොරෙන් ගෙනාවේද වැනි ප්‍රශ්න මතුවේ. කුමන අන්දමින් ලැබුනද එය අදාළ රජයන්ගේ දෝෂයකි.

සහරාන් වෙනත් මුස්ලිම් කණ්ඩායම්වලට තර්ජන කිරීම් ගැන නැගෙනහිර පළාතේ හමුදා ආඥාපති මේජර් ජේනරාල් ලාල් පෙරේරා ප්‍රතිචාර වී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලීන්ගෙන් වලකින ලෙස ඔහුට “අවවාද” කිරීමෙනි. (පිටු අංක 84). මෙම හැසිරීම එකල රජය සහරාන් වැන්නවුන් “හුරතල්” කරන මට්ටමකට පත්වී සිටියේදැයි සැක උපදවයි. මේවන් සිද්ධීන් නිසා අන්තවාදය සරුවුවද එයට වගකිවයුත්තන් ගැන කොමිසමේ නිගමන හෝ නිර්දේශ සැර බාලවී ඇත. එවන් ක්‍රියා හා පුද්ගලයින් කෙරෙහි දයානුකම්පාවක් කොමිසම දක්වා ඇතැයි විවේචනය කළහොත් එරෙහිවීමට අපහසුය.

පාස්කු වාර්තාව ආචාර්ය රොහාන් ගුණරත්නගේ ප්‍රකාශ විශ්වාසයෙන් උපුටයි. ඔහු 2015 පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දුන් බව සත්‍ය නම්, 2015ට කලින් අයිසීස් ප්‍රචලිතය, එමෙන්ම 2009 වනවිට සහරාන් කණ්ඩායම ළඟ ටී– 56 ආයුධ තිබීම, සහරාන් වහබ්වාදය දිගටම පතුරුවන විට, 70, 71 පිටුවල සඳහන් වන මොහමඩ් මුහුෂින් ඉෂාක් අහමඩ්, මොහමඩ් යුනිස් මොහමඩ් අමීන්, මොහමඩ් සුහීර් මොහමඩ් අරූස්, මොහමඩ් මුහුසීන් සර්ෆා නිලාම් වැන්නවුන්ගේ ක්‍රියාකාරකම්, ඔහුගේ විශේශඥ ඥානය මෙහෙයවා වලක්වන්නට මැදිහත් වුයේ නම් සමහර විට පාස්කු ප්‍රහාරය නොසිදුවන්නට ඉඩ තිබුනියි යමෙකුට තර්කකළ හැකියි. “මා ආරක්ෂක විධායෙකු නොවීය” යයි රිංගායාමට ඔහුට හැකිය. එවිට, විධායක බලධාරීන්ගේ අක්‍රීයත්වය හෙළිවේ.

මහමොලකරු සැඟවී සිටීද, සඟවලාද?

මුලින්ම කිවයුත්තේ “මහමොලකරු”(mastermind) වචනය මුළු වාර්තාවේම ඇත්තේ තුන්පොලකය. 143, 528 හා 402 හිය. මුල් දෙපල බංග්ලාදේශ අවන්හලට බෝම්බ ගැසූ සිද්ධිය අලලාය. තුන්වැන්න 402 පිටුවෙහිය. එහි උපුටනය:.

“පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ මහමොලකරු ලෙස කටයුතු කළ වහබ්වාදියා වන සහරාන් වර්ෂ 2009 සිට නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශනා පවත්වමින් ඔහු විසින් අනුදක්නා ලද ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටියේය”

මේ කිසිවෙකුගේ සාක්ෂ්‍යක් නොව, සහරාන් හඳුන්වන කොමිසමේ ස්වාධීන මතයයි. සහරාන් වහාබ්වාදය පැතිරවීම දිගුකල් කල්ක්‍රියාවකි. එහෙයින් උපුටනයේ වැදගත් නිගමනය නම් ‘සහරාන් මහමොලකරුවූ බව’ කොමිසම නිශ්චය කිරීමයි. මහ මොලකරුවෙකු වාර්තාවෙන් හෙළි නොවෙතැයි කාර්දිනල්තුමා, රජයේ / විපක්ෂයේ ප්‍රකාශකයින් පවසන්නේ, වාර්තාවේ මේ උදෘතය පරිස්සමින් නොකියවා යයි සිතේ. .

එහෙයින් මහමොලකරු ගැන මුල් ප්‍රශ්නයට පිළිතුර වන්නේ “නොදනී” කියාය. ඒ නිසාම සමහරු අන් අයට “මහමොලකරු”, “දැනුවත්කරු,” “නියම මහමොලකරු” ආදී චෝදනා ඉදිරිපත් කරති. එය වත්මන් ජනාධිපතිට (ටැමිල් ගාර්ඩියන් 14-5-20, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී එස්. ශ්‍රීධරන් උපුටමින්), හිටපු ජනාධිපතිට (කාදිනල්තුමා උපුටමින්) හා පොදුවේ සියල්ලන් විසින්ම අයිසිස් හා සම්බන්ධ මුස්ලිම් දේශපාලඥයින්ට චෝදනා එල්ලකෙරේ.

සැනසීමකට මෙන් සරත් වීරසේකර ඇමතිතුමා මහමොලකරුවන් වන්නේ නෞෆර් හා හජ්ජු අක්බාර් නම් න්‍යායාචාර්යවරුන් සොයාගත් බව පවසයි. ඉස්ලාම් ආගමික සංවිධානවල ප්‍රමුඛ ක්‍රියාකාරීන් වූ හෙයින් මෙසේ සොයාගැනුනේයි සිතිය හැකිය. ඔහු වාර්තාවට අනුගත වෙමින්, වික්‍රමසිංහයන්ගේ නිර්මාණයෙන් හමුදාව බේරා ගනියි.

පසුගිය ඉරිදා (18/4/21) කාදිනල්තුමා පැවසුවේ ‘එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගැනීමට වෙරදැරූ පිරිසක්’ කියායි. එය පිලිගන්නේනම් රනිල් වික්‍රමසිංහයන් සමහරවිට පැවසීමට තැත්කරන හමුදා/ බුද්ධි සම්බන්ධතා හෝ වීරසේකර ඇමතිතුමා පවසන න්‍යායාචාර්ය සම්බන්ධය හෝ කොමිසම දැඩිව ඉදිරිපත් කරන වහබ්වාදී අන්තවාදීන්ට අමතරව තවත් ප්‍රහාරක කණ්ඩායමක් වේදිකා ගතවේ. එසේනම් අලුතින්ම මහමොළකරුවන් සෙවීමටද සිදුවේ. දේශපාලනය ගෑවෙන හෙයින් මෙම විමර්ශනය දේශපාලනඥයන්ගෙන් තොර කණ්ඩායමක් කළ යුතුවේ. නැවත මෙවන් ප්‍රහාරයක් නොවීම රාජ්‍යාරක්ෂාවට වැදගත් හෙයින් මෙය ඉක්මනින්ම සිදුවිය යුතුවේ. මියැදුණු අන්තවාදීන්ට අමතරව තවත් අන්තවාදීන් සිටිය හැකි හෙයින් වීක්‍රමසිංහයින් පැවසූ “මොකද අනාගතයේදී ඒකම සිද්ධ වෙන්න පුළුවන් නිසා.” යන්න සිදු නොවියයුතු හෙයිනි.

ප්‍රහාරයට අන්තර්ජාතික බන්ධන

ප්‍රහාරයට අන්තර්ජාතිකය සම්බන්ධ කිරීමට ප්‍රයත්නයන්ද දරා ඇත. ඒවා පිළිගතහොත් මහමොලකරු විදේශයක වුවද සිටිය හැකිය. 2021 පෙබරවාරි 21 දින ටැමිල් ගාර්ඩියන්හි වාර්තාවකින් බීබීසී සිංහල සේවය සහරාන් මහමොලකරු නොවෙතියිද, හිටපු පා..ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස උපුටමින් ඉන්දියාව ප්‍රහාරයට ගාවන්නට ඉඟි කරයි. ඒ අනුව අන්තර්ජාතික බලවේග හෝ අන් සිද්ධීන් හෝ ප්‍රහාරයට හේතුවුවාද යන්න විමසීමට පෙළඹේ. එහෙයින්, මෙම ප්‍රකාශයද දේශපාලන කලබැගෑනියකට විවරයක්ද විය හැකිය. කෙසේවුවත්, එය මහමොලකරු සෙවීම තවත් සංකූල කරයි. එහෙයින්ම මේවා පරිස්සමින් සැලකිය යුත්වේ.

අන්තර්ජාතිකය ප්‍රහාරයට ගෑවෙන පාස්කු ප්‍රහාරය ගැන විකල්ප අර්ථකථන කිහිපයකි.

චීනයේ “බෙල්ට් ඇන්ඩ් රෝඩ්” (බීආර්අයි) ව්‍යාපෘතිය පාදකව ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිදු කළබව පැවසේ. 2019 මාර්තු 13දා පකිස්තානයේ ග්වදාර්වල බීආර්අයි ව්‍යාපෘතියක දසදෙනෙකු මරාදැමීම, කරච්චියේ චීන කොන්සල් කාර්යාලයකට ‘බලුකිස්තාන් ලිබරේෂන් ආමි’ ප්‍රහාරය, ඇෆ්ගනිස්තානය, නිකරගුවා, මියන්මාර්හි චීන ව්‍යාපෘති ආශ්‍රිතව විරෝධතා අනුව යමින් මේ ප්‍රහාරය ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතියේ අස්ථාවරබව හෙලිකිරීමට යමෙකුට අවශ්‍යතාවයක් වීම.

2050දී චීනය ලෝකයේ වැඩිම ක්‍රිස්තියානි ලබ්ධිකයින් සිටින රට වෙතැයි අදහසකි. (එමැනුවෙල් පියෙට්‍රොබොන් ‘ප්‍රව්ඩා’හි). ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ චීනය සමග සම්බන්ධතා සාමාන්‍යකරණයට හා බීආර්අයි ව්‍යාපෘතියට ඉතාලිය බද්ධකිරීමට රාජ්‍ය තාන්ත්‍රිකව දක්වන උනන්දුවට ඍන–ප්‍රතිචාරවීමට.

පිලිපීන –ඇමෙරිකා දිගු කාලීන යුදමය සම්බන්ධතා අතහැර 2016 දී චීනය දෙසට හැරෙන්නට තර්ජනයක් පිලිපීන ජනාධිපති දැක්වූවිට අයිසිස් ත්‍රස්තයෝ මරාවි නගරයේ ප්‍රහාරයක් කළහ. අයිසිස් ප්‍රභවයට/ වෘද්ධියට බලගතු ජාතීන්ගේ සබඳතා තිබුණි. (උද: ඇමෙරිකාව, ඊශ්‍රායලය, සවුදි අරාබිය, CIA ආයතනය). පිලිපීනයේ මෙන් අපටද වැඩිදියුණුවන ශ්‍රී ලංකා– චීන මිත්‍රත්වයන් නිසා වින්දිතයන් බවට පත්කිරීමේ අවශ්‍යතාවය.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය ඉස්ලාම් භක්තිකයන්ට එරෙහිව නිසා ලංකාවේදී ක්‍රිස්තියානීන්ට එල්ල කළබව පැවසුනද (පිටු 151) , නවසීලන්තය මෙය ප්‍රතික්ෂේප කළාය. තවද, විස්තීර්ණව, සූක්ෂ්මව කළ පාස්කු ප්‍රහාරය සිද්ධි දෙකේ කාල පරාස අන්තරය කෙටිහෙයින්ද නොපිලිගැනුනි.

අයිසිස් බලය ඉරාකයේ හා සිරියාවේ බෙලහීනවීම නිසා අන් කලාපයක බලය තහුවුරුවට 2012දී පමණ පෙළඹීම.

තරු පහේ හෝටල් තෝරා බේරා ප්‍රහාරයට ලක්කිරීමද බටහිර වැසියන් හෝටල්වල ගැවසෙන නිසායි තර්කයකි.

අයිසිස් ව්‍යාපාරය නිසා පුළුල් අනතුරකට අප කලාපය මුහුණපායි. කාශ්මීර හා පකිස්තානය අතර ‘විලෙයත් ඊ හින්ඩ්’, ඇෆ්ගනිස්තානය හා පකිස්තාන් මායිමේ ‘කොරසාන්’, බංග්ලාදේශයේ ‘ජමාත් උල් මුජහිදීන් බංග්ලාදේශ්’, මියන්මාරයේ ‘අරකන් රෝහින්ග්‍යා සැල්වේෂන් ආර්මි’ ආදියද මීට සමානයි. ඇෆ්ගනිස්තානය අනාගතයේදී අයිසිස් මධ්‍යස්ථානයක් වේදැයි සමහරු සැක පහල කරති. ඉන්දියාව හා පකිස්තානය හරහා අයිසිස් ප්‍රහාර සිදුවේද කියා සැකයකි. එහෙයින් මෙය කලාපීය සංසිද්ධියක එක් පුරුකක්ද?

මේනිසා පාස්කු ප්‍රහාරයට පසුබිම් අර්ථකතන සංකූලය. උදාහරණයකට චීන විරෝධයද, අයිසිස් බල ව්‍යාප්තියද, ඇමෙරිකානු හෝ ඉන්දියානු දේශපාලන බල ව්‍යාප්තියේ අතුරුපලයන්ද , ඔවුන්ගේ දේශීය ප්‍රතිපත්ති ආදී සංකූලතා ඇත. නිශ්චිත හේතු විශ්ලේෂණයක් මගින් මහමොලකරුද තීරණය වියයුතුය.

නෞෆර් – අක්බාර් මහමොලකරුවන්වීම

සරත් වීරසේකර ඇමතිතුමන් වුවද න්‍යායාචාර්යවරුන්වූ නෞෆර් හා හජ්ජු අක්බාර් මහමොලකරු ලෙස තෝරාගත්තා (කලම්බුපේජ්-6-4-2021) මිස එය පාස්කු වාර්තා පදනමින් නොවේ. එහෙත් මහමොළකරු සහරාන් යයි පැවසූ කොමිසම, ‘නිගමන’ පරිච්චේදයේදී එසේ සටහනක් නොකර, නෞෆර්ගේ නම අන් නම් දොළහක් සමග වරක් පමණක් සදහන් කරයි. නිර්දේශ පරිච්චේදයේ වරක්වත් නෞෆර් නම සඳහන් නොවේ. 18 පරිච්චේදයේ නෞෆර් නම 28 වරක් ඇතත් මහමොලකරු බව නොපවසයි.

හජ්ජුල් අක්බාර් පාස්කු ප්‍රහාරයට නොව ඉස්ලාමීය රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කුමන්ත්‍රණයට එරෙහිව නීති මගින් කටයුතුකිරීමට කොමිසම නිර්දේශ කර ඇත. ඔහු ගැන වාර්තාවේ සඳහන් වන්නේ පරිච්චේද 3 (එකවරක්), 18 (18 වරක්), 31 (එකවරක්) පමණි. 18 පරිච්චේදය පුරාම පාස්කු ප්‍රහාරයට නොව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තුල අක්බාර්ගේ ක්‍රියාකාරකම් හා ඔහුගේ චින්තනය විස්තරාත්මකව පැවසේ. ප්‍රහාරයට ඔහුගේ ඍජු පුරුකක් සඳහන් නොවේ. ඔහු හැර අන් අයද මේ වහාබ්වාදී පරමාර්ථයෙන් ක්‍රියා කළ බවද 18 පරිච්චේදයෙන් හා අන් තැන්හි පෙනේ. එහෙත් ඔවුන් මහමොලකරුවන් ලෙස සහරාන් ගැන මෙන් කොමිසම වාර්තා නොකරයි. මෙවන් දෙදෙනෙකු මහමොලකරුවන් ලෙස ඇමතිවරයා ප්‍රකාශ කිරීමට ඉඩක් ඇත්තේ කොමිසමට හා ජනතාවට නොමැති අන් රහස්‍ය තොරතුරු එතුමාට ඇති නිසාවන්ට ඇත. නැතිනම් හිතළුවකි.

වාර්තාවේ 16 පරිච්චේදය ප්‍රහාරයට සම්බන්ධවූ සහරාන් හැර ප්‍රධාන චරිත දහයක් ව්‍යාපාරයට සම්බන්ධවූ අයුරු දක්වයි. ඉන් නෞෆර් සහරාන් කණ්ඩායමේ දෙවනියාද, න්‍යායාචාර්යද, ඉස්ලාමීය රාජ්‍යය පිලිබඳ ප්‍රමුඛ දේශක පුහුනුකරුවෙකුද වීය. ඉල්හාම් ශැන්ග්රිලා ප්‍රහාරයෙන් සහරාන් සමගින් මියගොස්ය. ජමීල් දෙහිවලදීද, හස්තුන් කටුවපිටියෙහිදීද, අසාද් මඩකලපුවේ සියොන් පල්ලියේදීද, මුබාරක් කින්ස්බෙරි හෝටලයේදීද මියගොස්ය. රිල්වාන්, ෂයිනි හා නියාස් සෛන්ත්මරුදු පිපිරීම්වලදී මිය ගොස්ය. නෞෆර් හා මිල්හාන් අත්අඩංගුවේය. එහෙයින් නෞෆර් හා කොමිසමෙන් අධිකරණයට ගෙනයාමට නිර්දේශිත හජ්ජුල් අක්බාර් මහමොලකරු කිරීම පහසුවී ඇත.

වාර්තාවේ 7 පරිච්චේදයේ සහරාන්ගේ මුල් වකවානුව ගැන පවසයි. සහරාන් කාත්තන්කුඩියේදී නවුෆර් මෞලවී හඳුනාගනී. (පිටු 79).වාර්තාවේම 225 පිටුවේත් 2004 දී ඔවුන් නැවත හමුවේ. 2009 වනවිට සහරාන් ජාතික තහුවිඩ් ජමාත් පිහිටුවාගෙන තිබුණි. වාර්තාවේ පිටු අංක 225 අනුව 2008 සිට 2016 දක්වාම නවුෆර් කටාර්වල සිටි හෙයින් සහරාන්ට අන්තවාදී හා අයිසිස් ත්‍රස්තවාදී පෝෂණය නෞෆර්ගෙන් ඍජුව ලැබීම සැක සහිතයි. තවද මේ දෙපොළ 2009 වන විට විරසකද වුහ. (81 පිටුව). සමහරවිට විරසකය රැවටීමක්දයි සැකයකි .

සහරාන් පාක්ෂිකයින් ගැන විමර්ශන හෝ පරීක්ෂණ නොකිරීම හා අක්‍රීයශීලීවූ ආරක්ෂක යාන්ත්‍රනය පාස්කු ප්‍රහාරයට පසුතලයෙන් බලපෑ ඇතිමුත්, කොමිසම යහපාලන යුගයේ අඩුපාඩු උලුප්පා දැක්වීය. බලධාරීන් දැක්වූ මුක්තභාවය නිසා සහරාන් ක්‍රමයෙන් බලවත්වීයයි උපගමනය කළ හැකිය. ඔහුගේ මැදිහත්වීම ඉස්ලාමීය මනස දැඩි පෝෂණයට ලක් කිරීමටද, සිංහල සංවිධාන, ප්‍රකාශන හා පුද්ගලයින්ට එරෙහිවීමටද ඉස්ලාමීයන්ව පොළඹවන්ට ඇත. මේ සියල්ල 2019 අප්‍රේල් 21 දින සිද්ධියෙන් පමණක් පුපුරා ගියා සේ සැලකීමේ සාධාරණත්වය ප්‍රශ්නාභිමුඛය.

එමෙන්ම, වාර්තාවේ නවුෆර් මෞලව් සහරාන් හසුරුවන්නා නැත්නම් මහමොලකරු වීයයි නොකියවේ. සහරාන් හා මෞලව් කිට්ටු සම්බන්ධයක් තිබුණු බව සත්‍යයයි. ඔහු පුහුණු හා රැස්වීම් සංවිධානයට සම්බන්ධවූ බව පිටු 235න් පෙනේ. සමහර විට සහරාන්ගේ භාර්යාව හෝ අන් කිට්ටුවන්තයෙකු දුන් රහස්‍ය ප්‍රකාශ මත කොමිසම පෙරකී නිගමනයට ආවේයැයි සැක කළොත්, එය වාර්තාවේ නිගමන වලට ඇතුලත් නොකිරීමෙන් තොරතුරු ගවේෂණ අගය දියාරුකරයි.

මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්, සහරාන් හා ඉතා කිට්ටුවෙන් සිටියේය. 229 පිටුව අනුව “සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුදල් සපයන්නෙකු වූ ඉල්හාම් සමග ඔහුගේ සහෝදර ඉන්ශාෆ් ද වීය” ලෙස සටහන්වී තිබේ. සිරියාවට මුදල් යැවීම ගැන දෙදෙනා සාකච්චා කළ බව පෙනෙන හෙයින්ද දෙදෙනා අතර හිතෛෂීභාවය නවුෆර්ට වඩා ආසන්නයයි සැක කළ හැකිය. මුදල් කතාකරන හෙයිනි!

පිටු 231 අනුව 2019 මුල් භාගය වනතුරුම සහරාන්ට අයිසිස් සංවිධානය සමග තිබු සම්බන්ධතා පුරුක අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් බව වාර්තාව පවසයි. අයිසිස් බලපෑම නිසා ඔහුද සහරාන් මෙහෙයුමට ඉඩක් තිබේ. සහරාන්ගේ පුහුණු කඳවුරුවලදී ආයුධ පුහුණුකිරීම් කළ හයාතු මෝහමදු අහමදු මිල්හාන් සහරාන්ගේ කිට්ටුවරයෙකු වීය. මේ විධියට බැලුවිට නවුෆර් හැර අන් කිහිපදෙනෙකුමත් සහරාන්ව මෙහෙයවීමට අවකාශයක් වීයයි සිතේ.

අවසානය

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නම්කිරීමට කාදිනල්තුමාත්, විපක්ෂයත්, මාධ්‍යයත්, පොදුවේ ජනතාවත් ඉල්ලීම් කරති. ජනාධිපති සිරිසේන කොමිසමට දුන් අධිකාරයේ අංක 9 මගින් සියලුම පාර්ශවකරුවන් සොයාගැනීමක් අපේක්ෂිත වුවද කොමිසම ඍජුව මහමොලකරු ගැන (402 පිටුවේ හැර) සඳහන් නොකරන නිසා, කොමිසම් වාර්තාවෙන් ප්‍රයෝජන ගෙන හෝ නොගෙන, මෙකී අංශ තෘප්තිමත් කිරීමට “මහමොලකරුවෙකු” කෙසේ හෝ අධිකරණයට ගෙන යායුතුය” යන පීඩනයට බලධාරීන් ලක්වී ඇත්දැයි නොදනිමු.

ඒෂියන් ට්‍රිබියුන්හි ලියමින් ලසඳ කුරුකුලසූරිය “නම් නොකරන ලද ඇමෙරිකන් තානාපති කාර්යාලීය නිලධාරියෙකු බදාදා පුවත් කලාවේදීන් කණ්ඩායමකට පවසා ඇතැයි වාර්තාවන්නේ දිවිනැසුණු ප්‍රහාරකින්ගේ දුරකථන එෆ් බී අයි විමර්ශකයින් විශ්ලේෂණයට භාරගෙන ඇති බවයි” පවසයි. මෙය සත්‍ය නම්, විශ්ලේෂිත තොරතුරු විමර්ශකයින්ට නොලැබුනොත් ප්‍රහාරකයින්ගේ මහමොළකරුවන් හඳුනා ගැනීම කෙදිනකවත් සිදුනොවනු ඇත. සයිඩ් නක්වී නම් ඉන්දීය විචාරකයා පාස්කු ප්‍රහාරයෙන් පසු ‘ද ඉකොනොමික් ටයිම්ස්’ හි පැවසුවේ ව්‍යසනයක් වූ විගසම බලවත් බුද්ධි අංශ සහායට පැමිණ, කලක් තිස්සේ උපදෙස්දී, අභ්‍යන්තරයට කිඳාබැස, ප්‍රතිපත්ති සැදීමට බලපාන බවයි. අපට අන්තර්ජාතිකයෙන් මෙය සිදුවීම නිසා මහ මොළකරුවන් සොයාගැනීම “කඩාවැටී” හෙවත් “අලවී” ඇත්දැයි සැකයකි.

බුද්ධි තොරතුරු කළමනාකරණය යනු කෛරාටික ක්‍රීඩාවකි! කොමිසමට මහමොලකරුවෙකු නිත්‍ය ලෙසම සොයාගැනීමට නොහැකිවූයේ මේ නිසාමදැයි දන්නේ දෙවියන් පමණි. එමෙන්ම විදේශවලින් පැමිණ විමර්ශන පැවැත්වූ සියලුම බුද්ධි ආයතන හා මුල්වූ රටවලට (අමෙරිකාව, ඊශ්‍රායලය, ඉන්දියාව, බ්‍රිතාන්‍ය) අයිසිස් හා ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග ඔවුන්ගේ රටවල ගැටළු තිබුණු හෙයින්, අප මහමොලකරුවන් සෙවීමට වඩා ඔවුන්ගේ දත්ත පදනම ශක්තිමත් කරගැනීමේ ආත්මාර්ථකාමී අභිලාෂයෙන් ක්‍රියාකළා නිසැකය. මොවුන්ට අයිසිස් සමග බුද්ධි ගනුදෙනුද තිබුණු බව දනිමු.

කෙසේවුවද, වික්‍රමසිංහයන්, වීරසේකර ඇමතිතුමන්, කොමිසම, හා දැන් කාදිනල්තුමන් කරන නිරාවරණයන්, පිළිවෙලින් හමුදා–අන්තවාදීන්, වහාබ්වාදීන්, දුබල ආරක්ෂක පිලිවෙත් හා දේශපාලනඥයින්ගේ බල තන්හාව පාදකව මහමොලකරුවන් සෙවීමට රජය පොළඹවයි. මේ තත්ත්වය සියලුම බලධාරින් අසීරුවට පත්කරයි. ඔවුන්ගේ ප්‍රකාශ පරස්පර කරයි. විශේෂයෙන්ම කාදිනල්තුමාගේ ඉරිදා ප්‍රකාශය බලතන්හාධික සියලු දෙශපාලනඥයින් අසීරුවට පත්කරයි. දේශපාලනඥයින් ගෑවුණු පසු නියම මහමොලකරුවන් සොයාගැනීම පිළිබඳව විශ්වාසයක් තබා ගැනීමට කිසිවෙකු ඔට්ටු නොඅල්ලනු ඇත. බලධාරීන් මහමොලකරුවන් කිරීමට විමර්ශකයින් බිය හෙයිනි. යම්හෙයකින් එවන් මහමොලකරුවෙකු සමුවුනොත් එය බොහෝවිට අවතාරයක් ලෙසින් පමණි.

colombotelegraph.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us