ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා මේ වන විට පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා කොවිඩ් අභියෝගය ජය ගැනීමට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රි ලංකාව ගෙන ඇති සාධනීය පියවර ද ලෝක නායකයින් ඉදිරියේ පැහැදිළි කළේය. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවධානමකට ලක් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මුල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය.
රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිතුමා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට භූ උපාය මාර්ගික පිහිටීම සහ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණ ශ්‍රම බලකාය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම සියලුම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහි තම රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.
ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණ වන අතර මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානම් බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
ගෝලීය අභියෝගයක් වන ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට තම රජය සහතික වන බවත් පැවසීය.
තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මේ වසර මුල සිට රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක තහනම් කිරීමට තම රජය කටයුතු කළ අතර කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝජන දිරි ගැන්වීම කටයුතු කර තිබෙන බවද ජනාධිපතිතුමා කීය.
පොසීල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවත්, බලශක්ති ප්‍රතිපත්තිය මගින් වසර 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරු බලපෑම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇති බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රි ලංකාව සතු බවත් පැවසීය.
ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා තිරසර අනාගතයක් වෙනුවෙන් සැබෑ සහයෝගිතාවයෙන්, ත්‍යාගශීලීව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එක්ව කටයුතු කරමු යැයි ජගත් සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය
2021-09-22