ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි. මෙහෙම වුනේ කොහොමද?

Published in පුවත්
Sunday, 27 October 2024 09:07

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද 50% ඉක්මවා ගිය ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකි වී තිබීම විශේෂ සිදුවීමකි.

මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට මාසයක් ඉක්ම යන මොහොතේ පැවැති මෙම මැතිවරණයේදී ලබාගෙන ඇත්තේ 47.64%ක ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබා ගෙන තිබුණේ 42% ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයකි.

එමෙන්ම මෙවර මාලිමාව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ කොට්ඨාෂ 15ක් ජයග්‍රහණය කළද විපක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව එකතු කළ විට ඔවුන්ද ආසන 15ක් ලබා සම ස්ථානයක සිටීම විශේෂත්වයකි.

elpitiya 1

රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඇල්පිටිය ප්‍රතිපලය ගැන තැබු සටහනක්

ඇල්පිටිය ඡන්දය - නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය

මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයින්, හෝ වෙනත් විචාරකයින් නොකියන නිසා හිතවත් ඔබගේ දැන ගැනීමට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන ලියා තබන්නෙමි.

ඇල්පිටිය ඡන්දය ගැන මා ලියූ සටහන කියවූ අයට නම්, මේ ඡන්ද ප්‍රතිඑලය ගැන කිසිම පුදුමයක් තිබිය නොහැකිය. ජවිපෙ කොට්ඨාශ 17 දිනාගැනීම කළ නොහැකි බව (අභියෝගයක් බව), පුටුව - අමිල කාරියවසම් සාධකය, කුල සාධකය, රූපවාහිනිය සලකුණ යටතේ ඉල්ලන කණ්ඩායම ආසන දිනන බව, මා ලියා ඇත. විදුලි බල්බයට අසුනක් ලැබීම හැර අනෙක් සියල්ල මම සති තුනකට පෙර ඇල්පිටිය ගොස් ඇවිත් ලියා තැබුවෙමි.

අවිත්තාව හා පිටුවල සජබ අපේක්ෂකයින් දෙදෙනා අති දක්ෂයින් ය. ගයන්ත හැර, පක්ෂයේ කිසිදු නායකයෙකු නැතිව ඔවුන් ජයගැනීම සුවිශේෂය. සජබ ජයග්‍රහණයට මුස්ලිම් ඡන්ද බලපෑ බව කියන අදහස සත්‍යයක් නොවේ.

මේ ඡන්දය ගැන මැතිවරණ නිරීක්ෂකයින් ඔබට නොකියන දෙය නම්, මේ ඡන්දය දිනයේ එක් පක්ෂයක් (මාලිමාව නොවේ) වාහන යොදා ගනිමින් සංවිධානාත්මක ලෙස ඡන්දදාකයින් ඡන්ද පොළ වෙත ප්‍රවාහණය කළ බවය. එය අවසන් ප්‍රතිඑලයට තීරණාත්මක බලපෑමක් කළේය.

සජබ ය ඔබට නොකියන දේ නම්, පක්ෂ නායකයා, සහ සෙසු අවශේෂ නායකයින් පලාතේ යන්නේ නැතුව ලැබුණු ඡන්ද සංඛ්‍යාව ගැන ඔවුන් සතුටු විය යුතු බවය. නැතිනම්, පක්ෂ නායකයින් පැත්ත පලාතේ නොයා ගමේ කොට්ඨාශයේ අය ඡන්දය කිරීම (පාර්ලිමේන්තු ඡන්දයේ දී ත්) සජබට අතිශයින් වාසි සහගත බවය.

සජබ ඔබට නොකියන්නේ, ජනාධිපතිවරණයේ දී බෙන්තර ඇල්පිටියේ ඔවුන් ලැබූ 27.35% ක ප්‍රතිශයත, පලාත් පාලන ඡන්දයේ දී 21.83% දක්වා පහත වැටී ඇති බවය. එහි ව්‍යවහාරික අරුත අතිශයින් සංකීර්ණය. 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ලක්ෂ 55 ක් ලැබූ ඔවුන්, පාර්ලිමේන්තු ඡන්දයේ දී එය ලක්ෂ 27 දක්වා පහත වට්ටවා ගත්තේය. 2024 ජනාධිපතිවරණයේ දී, ඡන්ද ලක්ෂ 34 ක් ලැබූ ඔවුන්ට උතුරු නැගෙනහිර හිමි වූ ඡන්ද ලක්ෂ 11 මහා මැතිවරණයේ දී ලැබෙන්නේ නැත. එයින් ද, 15% ක් වත් සජබයෙන් අඩුවන්නේය. ඇල්පිටියේ ප්‍රතිඑලයට අනුව නම්, මහා මැතිවරණයේ දී (එනම් සිංහල, බෞද්ධ, ගොවිගම - කරාව - සලාගම සාධකය මත) ලබන ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 21 හෝ 22 කි.

ජාතික ජනබලවේගයේ හිතවතුන් ඔබට නොකියන්නේ, ඔවුන්ගේ 49.37% ක ඡන්ද ප්‍රමාණය 47.64% ට අඩු ව ඇති බව ය. එදා විපක්ෂයේ සිටි ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දැක්වූ රුචිය, අද ආණ්ඩුවේ සිටින විට ජනතාවට නැතිවී ඇති බව ය. අවම වශයෙන් හරිනි අමරසූරිය දවස් දෙකක් ඇල්පිටියට ගියා නම්, මේ ප්‍රතිඑලය එම පක්ෂයට ධනාත්මකව වෙනස් වනු ඇත්තේය. (විපක්ෂයේ සියළු පක්ෂ එහි ගොස් මැතිවරණ උණුසුම ඇති කළ යුතු බව මම මෙයට පෙර ලියා තිබුණි)

රූපවාහිනිය ලකුණින්, ස්වාධීන කණ්ඩායම ක්‍රියාකාරී දේශපාලනයේ ප්‍රධාන පක්ෂයකින් කැපී ගිය නිසා ඉදිරිපත් වූ ලැයිස්තුවකි. ඔවුන් අසුනක්වත් දිනන බව ද මම ලියා ඇත. ඔවුන් දෙකක්ම දිනා ඇත. දක්ෂයින් කපන්නට යන කුමන ලොක්කාටත් අවසානයේ දී එහි වන්දිය පමාවී හෝ ලැබෙනු ඇත.

ලංකා දේශපාලනයේ කුල සාධකය ගැන ශාන් විජයලාල්, ජී.එල්., ඩිලාන් (චන්න ජයසුමන) ඇතුළු පිරිසගේ සජබ කරණම ඇසුරෙන් එදා මම විග්‍රයක් කළෙමි. මා කියූ දෙය එනම්, ඒ පැනිල්ලෙන් සජබට කිසිදු සෙතක් නොවන බවත්, සජබ ඡන්ද පදනම තවත් දුර්වල කරන බවත් ජනාධිපතිවරණයේ දී තහවුරු විය. කුල සාධකය පෙරදැරිව පක්ෂ මාරු කළ සියළු දෙනා එක්කෝ තරඟ වදින්නේ නැත. නැතිනම්, ජාතික ලැයිස්තුවේ ය.

කුල සාධකයේ දෙවැනි කථාව, කරාව කුලය බහුතරය වන කොට්ඨාශ දෙක හමාරකි. එහි ප්‍රතිඑලය සමස්ත ප්‍රතිඑලයේ අපගමනයක් ලෙස ඔබට දැකිය හැකිය. ලංකාවේ කුල සාධකය, තවමත් මැතිවරණයකට තීරණාත්මකය.

පොහොට්ටුව හෝ බැසිල් රාජපක්ෂ ඔබට නොකියන දෙය නම්, නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයේ ගත්තේ ඡන්ද 2571 කි. ඊයේ පොහොට්ටුවේ ගමේ උදවිය ඡන්ද 3600 ක් ගත්තේ සභික ආසන 3 ක් සමගිනි. නාමල් ට වඩා, ගමේ ‘පොල් ලෙලි‘ (අපහාසයක් නොවේ) ජනප්‍රිය ය. මහා මැතිවරණයේ දී, මේ පොහොට්ටුවේ මේ තත්වය, තවත් පුළුල් වනු ඇත. (බූකි භාෂාවෙන්, දෙකයි පනහේ රාජපක්ෂලා, දැන් 9.9% පොල් ලෙලි වී ඇත)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබට නොකියන දේ නම්, මෛත්‍රී, දයාසිරි, නිමල් සිරිපාල, අමරවීර ආදී වශයෙන් පතුරු ගලවා නොගත්තා නම්, මහා මැතිවරණයේ තීරණාත්මක බලය ඔවුන්ට පාර්ලිමේන්තුවේ හිමි කර ගත හැකිව තිබුණි. බොහෝ විට ශ්‍රීලනිප හිටපු ඇමතිවරු මේ බව මහා මැතිවරණයේ දී හොඳටම අවබෝධ කර ගනු ඇත. පුටුවට ලැබුණු ඡන්ද බහුතරය අමිල කාරියවසම් හිටපු සභාපති, ඔහුගේ පියා සහ සහෝදරයා ගේ දක්ෂතාවයකි. (ඇල්පිටිය ඡන්දයට ශාන් පැත්ත පළාතේ ගියේ නැත)

අමිල කාරියවසම් මම හොදින් දන්නා දක්ෂයෙකි. පුද්ගල පෞර්ශය, සමාජ සම්බන්ධතා ඉහළය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කිසිවක් ඔහුගේ දක්ෂතා හදුණා නොගත්තා පමනක් නොව, ඔහුට බිය වූවේය.

ජනාධිපතිවරණයට පෙර එජාප - සජබ එකතුවිය යුතු යැයි ඒ පක්ෂ කියූ ලෙස ම, ඔහු, සජබ - පුටුව එකතු කර ගෙන කොට්ඨාශ අපේක්ෂකියන් දිනා ගන්නට උත්සහ කළේය. ඇල්පිටිය සජබ නායක ගයන්ත පවසා සිටියේ සජබ ට ද, අමිල ඉල්ලූ කොට්ඨාශවල ප්‍රබල අපේක්ෂකයින් සිටින බවකි. ජනාධිපතිවරණයේ දී, නායකියන්ට වැරදුණු තැන ඇල්පිටියේ දී දිස්ත්‍රික් නායකයින්ට වැරදුණි.

අමිල කාරියවසම් ඊලඟ පලාත් සභාවේ අමාත්‍යවරයෙකු විය යුතු තරුණයෙකි. ඔහුට ගැලපෙන පක්ෂය මාලිමාව යි. සුදුසුම තැන, අම්බලන්ගොඩ සංවිධායක ධූරයයි. ඔහු අනුර කුමාර වැනිම, නූතන සමාජවාදියෙකි. අනුර තරමටම තිබුණු දේශපාලන සවිඥානිකත්වය ඇත්තෙකි. අමිල ගේ සහෝදරයා මාලිමාව සමඟ එක්ව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගත යුතු යැයි මම පුද්ගලිකව සිතමි. මන්ද, ජනතා කැමැත්ත පැහැදිලිවම ඇත්තේ එතැනය.

කුසලානය හා දැන් ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වන කණ්ඩායම ඔබට නොකියන දෙය නම්, ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ට ලැබී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් රනිල්ට ලැබුණු පුද්ගල ඡන්දයක් මිස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන/හිමිවන ඡන්දයක් නොවන බව ය. ජනාධිපතිවරණයේ රනිල් ගේ සිලින්ඩරයට ලැබුණු 16% ක ඡන්ද, කුසලානයට ලැබී නැති අතර 3.7%ට වැටී ඇත. පොහොට්ටුවේ ඡන්ද පදනම කුසලානයට ඇවිත් නැත. එය මාලිමාවට ගොස්, ඉතිරිය පොහොට්ටුවේම නැවතී ඇත. ඒ නිසාම, මහා මැතිවරණයේ දී, රනිල් ඇති සිලින්ඩරය සහ රනිල් නැති සිලින්ඩරය අතර වෙනස පැහැදිලිව ම පෙනෙනු ඇත.

විපක්ෂයේ කිසිවෙකුත් ඔබට නොකියන කරුණ නම්, දේශපාලන විචාරකයින් පලාත් පාලන ඡන්දයක සභික ධූර සංඛ්‍යාව තීරණය වන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයට මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්කයේ ප්‍රතිඑලය සැකසෙන බවය. මහා මැතිවරණයක තීරණාත්මකම සාධකය එක ඡන්දයකින් හෝ දිස්ත්‍රික්කයේ අංක එක ස්ථානය ලබා ගැනීම පමණී. මේ ප්‍රතිඑලය අනුව නම්, මාලිමාවට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය ස්ථිර ය. තුනෙන් දෙකට (2/3) නම් දුරය.

සජබ නායකයින් හෙට ඔබට නොකියන දේ නම්, 2019 දී කොට්ඨාශ සියල්ල පරාජයට පත් වූ නමුත් එජාපය සභික ධූර 7 ක් ලැබූ බව සහ මෙවර එය 6 ට අඩු වී ඇති බවය. අමුතුවෙන් කිව යුතු නැතත්, 2019 සිටියාටත් වඩා දුර්වල තැනකට අද සජබ පත්ව ඇත.

2020 දී පොහොට්ටුව දකුණේ ලැබූ ප්‍රතිඑලයම, මන්ත්‍රී සංඛ්‍යාව අනුව 2024 දී, මාලිමාවට පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබෙන්නේය. එක අසුනක් අඩු - වැඩි විය හැකි යැයි කියන්නේ මන්ත්‍රී ධූර ලබන පක්ෂ දෙක වෙනුවට මෙවර පක්ෂ 3 ක් ඇති නිසාය.

දැන් ඡන්දය අවසන් ය. සභාපති තෝරා පත් කර ගන්නට පලාත් පාලන කොමසාරිස් එරන්දී ට ඇල්පිටියේ යාමට සිදු වනු ඇත. ඇයට ඇත්තේ පහසුම රාජකාරියකි. මාලිමාවට ඇල්පිටියේ බලය අල්ලන්නේය. ඒ ස්වාධීන කණ්ඩායමේ දෙදෙනා ද, පුටුවේ දෙදෙනා ද, මාලිමාවට අවශ්‍ය පුද්ගලයා සභාපති කර ගන්නට ඉඩ සලසා දෙන නිසා පමණක් නොවේ. විපක්ෂයේ පක්ෂ හතර අතර පවතින එකාට එකා පෙනෙන්නට බැරි කම නිසාය.
ඇල්පිටිය පහසුවෙන්ම විපක්ෂයට දිනාගත හැකිව තිබු පළාත් පාලන ආයතනයකි. පුටුව ඉල්ලුවේ කොට්ඨාශ හතරක තමන්ට සජබ සහාය දෙන ලෙසය. ඉතිරි, 13 හි සහාය පුටුව විසින් සජබට ලබා දිය හැකි බව ය. උපක්‍රමශීලි නොවන දේශපාලන පක්ෂයකට ඡන්ද දිනන්නට බැරිය. පරාජය බාර ගැනීම හැර කුමන්ත්‍රණ කර වැඩක් නැත.

ඇල්පිටියේ දී මාලිමාව පැරදී නැත. ජයග්‍රහණය කර ද නැත. ඡන්ද දිනන්නේ සංවිධානය ශක්තිය මත ය. මාලිමාව ඇල්පිටියේ නොකළේ, පලාත් පාලන ඡන්දය සංවිධානය කිරීම පමණී.

විපක්ෂයේ සජබ, ගෑස් සිලින්ඩරය, පොහොට්ටුවේ නායකයින්ට කියන්නට ඇත්තේ ඔබලා ගමට නොයා තමන්ගේ මනාප සටන කරගෙන ඉදීම මහා මැතිවරණයේ කළ හැකි හොඳම දේ බව ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

Last modified on Sunday, 27 October 2024 09:10

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us