හෘද සාක්ෂිය පිළිබඳ ඛේදවාචකය: විජේවීරව පාවාදීම

Published in පුවත්
Wednesday, 23 September 2015 13:57

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගේ ඝාතනය හා එම අරගලයේදී මියගිය 60,000 ක් පමණ වන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට මේ දිනවල වන කතිකාව පෝෂණය කළ හැකි ලිපියක් අපවෙත ලැබී තිබේ.

ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයකුව සිටි අසේල නොහොත් සමන්ත යන නම් වලින් හඳුන්වනු ලැබූ මේ ක්‍රියාධරයා විසින් මෙම ලිපිය සම්පාදනය කොට තිබේ. විශේෂයෙන්ම පසුකාලීනව ජවිපෙ නායකත්වයට පත්වූ සෝමවංශ අමරසිංහ මහතා හා විජේවීර මහතා අත් අඩංගුවට පත්වීමේ සිදුවීම, සම්බන්ධයෙන් වන ගැටළුකාරී තත්වයන් ගැන ඔහු විමසීමක් සිදු කොට ඇත.

'සමාජ අසාධාරණත්වයට එරෙහිව අරගල කිරීම හෙවත් හෘද සාක්ෂිය පිළිබඳ ඛේදවාචකය ඔස්සේ සෝමවංශ අමරසිංහ හඳුනා ගැනීම' මැයෙන් අප වෙත යොමු කොට තිබු එම ලිපිය පහත පළවේ


ජීවිතයේ අවසාන කාලය ගෙවමින් සිටින ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන ඉතිහාසයක් සහිත නායකයා වන සෝමවංශ අමරසිංහ 2015 04 26 දින පක්ෂයෙන් ඉවත් වෙමින් අමුතුම තාලේ විහිළුවකට සැරසෙන අයුරු දැක ගැනීමට ලැබිණි. ඔහු පක්ෂයෙන් ඉවත් වීම සම්බන්ධව පැහැදිලි දේශපාලන හේතුවක් ඉදිරිපත් නොකරන අතර ජන.08 දින සිදු වූයේ යැයි කියන කුමන්ත්‍රණයක් සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නිහඬ ප්‍රතිපත්තිය ඉවත්වීමට හේතු ලෙස දක්වයි. ඒ අතරතුර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් තිබෙන බවත් ඔහුගේ ජීවිතය රැකගත යුතුය ආදී ලෙස අදේශපාලනික කතා ගොන්නක් ඉදිරිපත් කරමින් සිටියි. මෙලෙස තම ජීවිතයේ අවසාන කාලයේ විකාර දොඩවමින් හා විකාර කරමින් සිටින සෝමවංශ අමරසිංහ කවුරුන්ද යන්න සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.

නවරත්න බංඩා හරහා jvp යට සම්බන්ධ වන සෝමවංශ අමරසිංහ හට 71 අරගලයේදී බණ්ඩාරනායක මැතිනිය රොස්මිඞ් පෙදෙසින් පැහැරගෙන යන අවස්ථාවේදී අදාල රිය පැදවීමේ වගකීම පැවරුණ බව ඔහුගේ සමකාලීනයෝ පෙන්වා දෙති. රියපැදවීමේ හැකියාවත්, රියදුරු බලපත්‍රයක් හිමිවීමත්, ඉංග්‍රීසි දැනුමත්, වැදගතෙකු ලෙස හැසිරීමත් යන කරුණු ඒ සඳහා සුදුසුකම් විය. 1971 අප්‍රේල් 05 දින ඔහු කොටහේනේදී අත්අඩංගුවට පත්ව ඇත.

1971 ක්‍රියාධරයන් අත්අඩන්ගුවට පත්ව බන්ධනාගාරගත වීමෙන් පසුවත් දඬුවම් ලැබ සිරගත වීමෙන් පසුවත් සිරගෙය තක්සලාවක් බවට පත්කර ගනිමින් ඉතා බරපතල දේශපාලන සංවාදයක් ඒ තුළ ගෙන යන ලදී. 1971 අප්‍රේල ක්‍රියාමාර්‍ග සම්බන්දව මෙන්ම ඉදිරියේදී ගත යුතු මග සම්බන්ධව දීර්ඝ සංවාදයන් ඒ තුළ ඇති විය. මෙම සංවාදය තුළ විවිධ මත දරණ කණ්ඩායම් සිටි අතර ඒ එකම කණ්ඩායමකට හෝ ඇතුළත් නොවූ සෝමවංශ අමරසිංහ වැඩිපුර කිසිවෙකුත් සමඟ සම්බන්ධතාවයක් නොපවත්තා ගනිමින් එම සංවාදය තුළදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.

වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා සම්පාදනය කළ 71 කැරැල්ල නම් කෘතියට අදහස් දක්වන රංජිත් දිසානායක හෙවත් කළු රංජිත් “සෝමවංශ අමරසිංහ ” jvp ය පිළිබඳව කළකිරී jvp විරෝධී ස්ථාවරයක සිටි බවත් jvp යෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කළ බවත් පෙන්වා දෙයි. බන්ධනාගාරය තුළදී රෝහණ විජේවීර සහෝදරයාව විවේචනය කිරීම නිසා විජේවීර හිතවාදින් තමාට පහරදීමට ක්‍රියාකිරීමේදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ සෝමවංශ අමරසිංහ බව විරාජ් ප්‍රනාන්දු මෙහිදී අදහස් දක්වා ඇත. සිරගෙය තුළ සිදු වූ සංවාදයේදී විජේවීර මතවාදයට අනුගත වූ කණ්ඩායම් හා 71 ක්‍රියාමාර්ග විවේචනය කරමින් විවිධ විකල්ප මත දරණ පිරිස් සිටි අතර ඒ ඒ අය දැරූ මතයන් පිළිබඳව රෝහණ විජේවීර සහෝදරයා විසින් විටින් විට සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.

නිකම් හිටපු සෝමවංශ

ඒ අනුව 1976 පමණ “අවස්ථාවාදයද? නිර්දන පංති ජාත්‍යන්තරවාදයද?” යන නමින් තම ස්ථාවරය පැහැදිලි කරමින් චිරප්‍රසිද්ධ ලියවිල්ල ඉදිරිපත් කිරීමට රෝහණ විජේවීර සහෝදරයා පියවර ගනු ලැබීය. මෙම ලියවිල්ල සිරගෙය තුළ සාකච්ඡාවට ගත් අතර මෙම අවස්ථාවේදී සිරගෙය තුළ වූ සංවාදයෙන් බැහැරව සිටි සෝමවංශ අමරසිංහ එක්වරම විජේවීර වාදියෙකු බවට පත් විය. මෙතැන් සිට සෝමවංශ අමරසිංහ විජේවීරගේ සමීපතමයෙකු බවට පත් වූ අතර 88-89 වකවානුව වන විට විජේවීරගේ විශ්වාසවන්තම සගයෙකු ලෙස විජේවීරගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයෙකු විය. නමුත් 80-81, 82 (80 දශකයේ මුල් කාලයේදී) සෝමවංශ පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු ලෙස හෝ දිස්ත්‍රික් නායකයෙකු ලෙස හෝ සංවිධාන කමිටු නායකයෙකු ලෙස හෝ කිසිම වගකිවයුතු තනතුරක් උසුලා නොමැති අතර ලයනල් බෝපගේ ගේ අනේවාසිකයා ලෙස කටයුතු කර ඇත.

J.R.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ කීපයක් 1983 කළු ජූලිය දඩමීමා කරගෙන තහනම් කිරීමට පියවර ගන්නා ලදී. මෙසේ තහනමට ලක් වූ අනික් දේශපාලන පක්ෂ විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ තහනම ඉවත්කරවා ගැනීමට පියවර ගත් අතර නමුත් jvp ය තම තහනම ඉවත් කරවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපෝසත් විය. එය එසේ වුවත් jvp යේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බුද්ධි අංශ වල තක්සේරුව හා ජයවර්ධන ආණ්ඩුවේ තක්සේරුව jvp තහනම ඉවත් නොකිරීම කෙරෙහි අන් සියල්ලටම වඩා ඉතා ප්‍රබල ලෙස බලපාන ලදී. jvp ය මර්ධනය කර කුඩුපට්ටම් කිරීමේ ඉතා දැඩි වුවමනාවකින් JRජයවර්ධන ආණ්ඩුව පෙළෙන්නට විය. මෙම පසුබිම තුළ පක්ෂ ක්‍රියාකාරීත්ට තම පැවැත්ම පිළිබඳ බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදු වූ අතර එම ප්‍රශ්න සඳහා පැහැදිලි විසඳුම් පක්ෂ වැඩපිළිවෙල තුළද දක්නට නොලැබිණ. මෙහිදී තහනම තුළ සැඟවී සිටිමින් තම ජීවිතය නඩත්තු කරගෙන යාම පිළිබඳ බරපතල ප්‍රශ්නයකට jvp සාමාජිකයෝ මුහුණ දෙන්නට වූහ. එහිදී පක්ෂ කේඩර්වරුන්ට නීතී විරෝධී ක්‍රියා මාර්ග කරා තල්ලූ වන්නට සිදු විය. පක්ෂ භාවිතාව තුළ වෙන ගත හැකි ක්‍රියාමාර්ගයක් නොතිබූ අතර මෙම තත්ත්වය ජයහැනීම සදහා නිර්මාණශීලි වැඩපිළිවලක් ඉදිරිපත් කිරීමටද පක්ස අපොහොසත් විය.

නාගරික ගරිල්ලා ව්‍යාපාරයක්

මේ වකවානුව වන විට ද්‍රවිඩ සන්නද්ධ ක්‍රියාමාර්ග උස්සන්න වෙමින් පැවතිණි. ටෙලෝ, ටෙලා,E.P.R.L.F. ප්ලොට් යන සංවිධාන මෙන්ම LTTE සංවිධානය ද ගොඩනැගී ආයුධ පරිහරණය කිරීම දක්වා වර්ධනය වී තිබිණි. මෙම පසුබිම තුළ දයාන් ජයතිලක, පුන්සරා ලියනගේ, ජෝ සෙනෙවිරත්න, ලොකු සිල්වා, කල්‍යානන්ද තිරණාගම ඇතු`ඵ කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස මතුවෙමින් නාගරික ගරිල්ලා අරගලය පිළිබඳ අදහස මතු කලහ. මෙම මතවාදය ඔවුන් විසින් ඉංග්‍රිසියෙන් පලකරන ලද ගාඩියන් හා සිංහලයෙන් පලකරන ලද විකල්ප සඟරා මගින් ඉදිරියට ගෙන යන ලදී. එහිදී නිකරගුවානු අරගලය, ඉරාණ විප්ලවය සම්බන්ධ ඉතා ආකර්ශණීය ලෙස කතා කළ අතර මේ මොහොතේ ජනාතා විමුක්ති පෙරමුණ නාගරික ගරිල්ලා ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බව පවසමින් පරණ පුරුදු අරගල විදිහ මතක් කර දෙනු ලැබීය. එයින්ද නෙනැවතී උතුරේ ආයුද සන්නද්ධ ප්ලොට් EPRLF යන සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග හා මතුව ඇති අර්බුදය ජයගැනීම සදහා පැහැදිලි වැඩපිළිවලක් නොමැතිවීම සම්බන්ධව කලකිරීමට පත් මෙම ලියුම්කරු ඇතුඵ කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව jvp විකල්ප ලෙස ගොඩනැගෙන්නට වූහ. අනිත් පැත්තෙන් කොමියුනිස්ට් පක්ෂය තුළ සිටි ජයතිලකද සිල්වා, ඉන්දික ගුණවර්ධන ඇතු`ඵ පිරිස් කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වී වඩාත් රැඩිකල් දේශපාලන සාකච්ඡාවන් ඉදිරියට ගෙන යාමත් තිබූ අතර jvp විකල්ප පිල මෙම කණ්ඩායම සමඟ එකතු වුහ. නමුත් රට තුල පැවති මර්දනකාරී වාතාවරණය තුළ දකුණේ ක්‍රියාත්මක විකල්ප දේශපාලන කණ්ඩායම් බරපතල ප්‍රායෝගික ගැටඵ ගණනාවකට මුහුණ දෙන්නට වුහ.

මෙම කණ්ඩායම් සදහා පැහැදිලි නායකත්වයක්, මඟ පෙන්වීමක් , සංවිධාන ශක්තියක් , මූල්‍ය ශක්තියක් , සන්නද්ධ බලයක්, ආරක්ෂාවක්, නොතිබිණි. නමුත් උතුරේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් සතුව මේ සියල්ල තිබිණි. ඒ අනුව jvp විකල්ප පිල, ප්ලොට් සංවිධානය සමඟ සාකච්ඡා කරමින් ආරක්ෂාව, මුදල්, ආයුධ ඉල්ලා සිටි අතර ප්ලොට් සංවිධානය ඒ සියල්ල ලබා දීමට එකඟ වූහ. නමුත් දකුණේ බෝම්බ පිපිරවීමේ හා ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමේ කොන්ත්‍රක්කුව ඉටු කර ගැනීමට සූදානම් වූහ. එම කොන්ත්‍රක්කුව ප්‍රතික්ෂේප කළ jvp විකල්ප පිලේ ස්ථාවරය වූයේ දකුණේ වාමාංශික කණ්ඩායම් සමග සාකච්ඡා කර ඒකාබද්ධ වැඩපිළිවත් සකස් කරගත යුතුය; ඒ සදහා jvp විකල්ප පිලට මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කළ හැකිය යන්නයි. නමුත් මෙම සාකච්ඡාව අසාර්ථක විය. එය එසේ වුවත් දයාන් ජයතිලක කණ්ඩායම EPRLF සමඟ සම්බන්ධ වී දකුණට බෝම්බ හා අනිකුත් අවිආයුධ රැගෙන ආ අතර දකුණේ ත්‍රස්තවාදී ක්‍රියා සදහා ලක ලෑස්තිවීම සිදු කරමින් සිටියහ.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය

මෙම පසුබිම තුළ ජනතා විමුක්ති පෙරමුණ ලෙස සන්නද්ධ ක්‍රියා මාර්ග නොගත් අතර ඒ සදහා 'දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය' ගොඩනගනු ලැබීය. ඒ අනුව දේශප්‍රේමි ජනතා ව්‍යපාරය රටේ තැනින් තැන යම් යම් සන්නද්ධ ක්‍රියාමාර්ග ගනිමින් සිටි අතර පක්ෂයට එරෙහි ආණ්ඩුවේ මර්ධනය ද උත්සන්න වෙමින් තිබිණි. පක්ෂ සහෝදරවරු විශාල ලෙස අත්අඩංගුවට පත් වූ අතර මේ වන විට සුමිත් අතුකෝරළ සහෝදරයාව ද අත්අඩංගුවට ගෙන ඝාතනය කර තිබිණි.

මෙම පසුබිම තුළ මෙම සටන තනියෙන් තුළ නොහැකි බවට පක්ෂය තුළ මතයක් ඉදිරිපත් වන්නට විය. න්‍ගඍග ජයවර්දන ජනාපතිවරයාට විරුද්ධව රටතුළ පෙල ගැසෙමින් තිබෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , සමසමාජ, කොමියුනිස්ට්, විජය කුමාරතුංග කණ්ඩායම වැනි පක්ෂ සමඟ ඒකාබද්ද අරගලයට යා යුතු බව මෙම මතය ඉදිරිපත් කළ අයගේ අදහසවිය. නමුත් එම මතයට ප්‍රතිපක්ෂව යමින් රට තුළ මතුවෙමින් ආ උතුරේ බෙදුම්වාදී අරගලයට එරෙහි දේශප්‍රේමි මතවාදය සමඟ බද්ධ වෙමින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ දිසාවට පක්ෂය තල්ලූ විය. ඒ අනුව දේශප්‍රේමයට මුවා වී රටේ ඕනෑම අයෙකුට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සමඟ එක් වන්නට අවස්ථාව ලැබිණි. මේ අනුව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට රට තුළ යම් බලයක් ගොඩනැගුණු අතර යම් ජනතා විශ්වාසයක් දිනා ගැනිමට ද හැකි විය.ඒ තුළින් අස්වාදයට පත් මැද වංචනික ජනයා විශාල ලෙස ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වූහ. ඒ අනුව දේශපාලන ස්ථාවරයෙන් තොරව, සමාජ වුවමනාවෙන් තොරව විශාල හොර තක්කඩි පිරිසකට පක්ෂයට ඇතුල් වීමට අවස්ථා ලැබිණි. මෙම අචස්ථාවෙන් ප්‍රයෝජන ගත් පිරිහුණු යම් යම් කොටස් තම පෞද්ගලික අරමුණු කෝන්තර පිරිමසා ගැනිම සදහා මෙන්ම හමුදා පොලිස් බුද්ධි අංශ නිළධාරින් හට ද පක්ෂය තුළට රිංගා ගැනීමට අවස්ථාව උදා විය. මෙසේ පක්ෂයට රිංගා ගැනීමට හැකි වූ ඔත්තතුකරුවන් හට ප්‍රාදේශිය කමිටු, දිස්ත්‍රික් කමිටුවලට ඇතුළු වෙමින් පක්ෂයේ ඉහළම තනතුරු දන්වා යැමට හැකියාව ලැබිණි.

ධනේෂ්වර පංතියේ කුමන්ත්‍රණයක්

මෙම ක්‍රියාමාර්ග ඉතිහාසය තුළ විග්‍රහ කිරීමේදී එක මත එක යැපෙමින් සිදු වූ සිදුවීම් ලෙස විග්‍රහ කරනවාට වඩා පැවති තත්ත්වය හමුවේ එකිනෙකට සමාන්තරව එකිනෙකින් පෙළඹවිම් ලබමින් සිදු වූ සිදුවිම් ලෙස විග්‍ර කිරිම වඩාත් නිවැරදී වේ. ඒ අනුව එකිනෙක සිදුවීම් සිදු වූ ආකාරය දෙස බැලීමේදි මෙම තත්ත්වය ධනේෂ්වර පංතියේ කුමන්ත්‍රණයක් ලෙස හදුන්වා දිය හැකිය. මෙම කුමන්ත්‍රණය පිටුපස දයාන් ජයතිලක ප්‍රධාන කොට ඇති කණ්ඩායම, විවිධ වාමාංශික මුහුණුවරක් පෙන්නුම් කරමින් සිටි කණ්ඩායම් ක්‍රියාකාරී වූ බව පෙනේ. jvp ය මෙම කුමන්ත්‍රණයට පැහැදිලි ලෙසට හසු විය. එය කඩාගෙන එළියට ඒමට jvp ය උත්සාහ නොකළ අතර ඒ සදහා අසමත් ද විය. මෙම පසුබිම තුළ jvp ය මර්ධනය කිරීමේ යාන්ත්‍රණය ඉතා ප්‍රභල ලෙස ඉදිරියට ඇදෙන්නට විය. ඒ අනුව විශාල ලෙස පක්ෂ සහෝදරවරු අත්අඩංගුවයට පත් වු අතර අත් අඩංගුවට පත් වීම දරා ගැනීමට බොහෝ සහෝදරවරු දන්නා තොරතුරු හෙලි කළ අතර දන්නා අය පාවාදීමට ක්‍රියා කලහ. එය ඉතාම ස්වාභාවික තත්ත්වයකි.අත්අඩංගුවට පත් අයෙකුට තම ජීවිතය පිළිබඳ ආශාව අත් ඇරීමට ලැබෙනුයේ පැයක දෙකක කාලයක් පමණි. නොඑසේනම් දවස් කීපයක් පමණී.

දෙන දස වස දරා ගැනීමට නොහැකිව මොර දෙන හඬ, ටයර් සෑයේ පිච්චෙන මළමිණි, ගංගා ඇළ දොළ වල මළමිණි පාවෙන අයුරු මේ අයට දක්නට ලැබෙන අතර මියයනවාද , ජීවත් වෙනවාද යන උභතෝකෝටිකයට මේ අයට මුහුණ දෙන්නට සිදු වෙති. මෙවැනි පසුබිමක් තුළ කොතෙක් දස වද ලබා දුන්න ද පහල මට්ටමේ සහෝදරවරු බොහෝ දෙනෙක් කිසිවක් හෙලි නොකර තම ජීවිතය පූජා කළහ. ඒ සදහා බරපතල පන්නරයක් තිබිය යුතුය. නමුත් සංවිධාන තුළ ඉහළ මට්ටමේ සිටි බොහෝ සහෝදරවරු එවැනි පන්නරයක් නොතිබූ අතර තමන්ගේ ඊළඟ නියෝජිනයා පිළිබඳ තොරතුරු හා තමන් දන්නා අනිකුත් තොරතුරු හෙළි කිරීමට කටයුතු කරනු ලැබූහ. මේ සම්බන්ධව 'මෝසාට්' පුහුණුකරුවන්ගේ උපදේශය මෙසේ විය. “ඉනිමඟේ පහළ සිට ඉහළටම නගින්න. එවිට ඉහළ සිටින එකා අල්ලා ගත හැකිය.” මෙම උපදේශය අනුව රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා අල්ලා ගැනීම දක්වාම ආරක්ෂක හමුදා ක්‍රියාත්මක වු අයුරු අපට දැක ගැනීමට ලැබිණි.

දයා පතිරණව මැරුවේ විජේවීරගේ බොඩිගාඩ් මහීපාල

එලෙසම විවිධ හේතු, මත භේද, පුද්ගලික ගැටුම් නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩුන කණ්ඩායම්,විජය ඝාතනයෙන් පසු එම වෛරයත් සමඟ මහජන පක්ෂයේ කණ්ඩායම්, විවිධ වාමාංශික කණ්ඩායම් පොලිසිය, හමුදා කඳවුරු, විවිධ මර්ධන කණ්ඩායම් සදහා තොරතුරු ලබා දීමට ක්‍රියා කළහ. jvp යැයි සැක සිතන අයගේ නම් ලැයිස්තු පිටින් කඳවුරු වෙත භාර දෙනු ලැබූහ. එසේම පොඩිඅතුල, සුනන්ද, මාරසිංහ වගේ කණ්ඩායම් ද මේ අය ඝාතනය සදහා jvp ය ගත් උත්සාහය නිසා තමන්ගේ පැවැත්ම සදහා මෙම අය දන්නා පුද්ගලයින්ගේ විස්තර වවිධ හමුදා කඳවුරු වෙත ලබා දෙනු ලැබූහ. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ට ද වධකයින් ලෙස කටයුතු කිරීමට සිදු වූ අවස්ථාද තිබිණි. කෑගල්ලේ පීරිස් ලෙස හැඳින් වූ අය ලයනල් බලගල්ල සමඟ හමුදා ඇදුමින් සැරසී jvp සාමාජිකයන් අල්ලා දෙනු ලැබිය. ඉසුරුපාය වද කදවුරේ අත්අඩංගුවට ගත් සියළුම jvp සාමාජිකයන්ගේ බෙල්ල කපා ඝාතනය කිරිමට සිදු වූයේ මහිපාල සහෝදරයාටය. ඔහු කොට්ටාව පැත්තට සම්බන්ධ අයෙකි. රෝහණ සහෝදරයාගේ ආරක්ෂකයෙකු ලෙසද කටයුතු කර ඇත. දයා පතිරණ බෙල්ල කපා ඝාතනය කරනු ලැබුවේ මහිපාල සහෝදරයා විසිනි. එම හේතුව නිසා අත්අඩංගුවට පත් වීමෙන් පසු අකමැත්තක් හෝ තම දිවි පැවැත්ම සදහා අත්අඩංගුවට ගන්නා සිය`ඵම jvp සාමාජිකයිනගේ බෙල්ල කැපීමට ඔහුට සිදු විය.

අපි දයා වන්නිආරච්චි සහෝදරයාගේ අත්අඩංගුවට පත්වීම සලකා බලමු. ඔහු අත්අඩංගුවට පත් වන විට විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත් වී ඝාතනය කර අවසන්. දයා වන්නිආරච්චි සහෝදරයා පුදුම සහගත ලෙස සියට සීයක්ම විජේවීර සහෝදරයාට සමානයි. ඔහු විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත්විමෙන් පසු අභ්‍යන්තර ලේකම් ලෙස කටයුතු කර ඇති බව කිය වේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු කුමන හෝ හේතුවක් නිසා ඔහු නිදහස් වී ඇත. ඒ පිළිබද තොරතුරු අප සතු නොවුවද සෝමවංශ අමරසිංහ සහෝදරයා ගැන තොරතුරු අප සතුව ඇත. එම තොරතුරු විමසීමෙන් පසු ගමනායක සහෝදරයා, විජේවීර සහෝදරයා පාවාදුන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට විසදුම් සොයා ගත හැකිය. එපමණක් නොව ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි වැනි අය පාවාදීම පිළිබදව ද සලකා බැලිය හැකිය.

පක්ෂයේ ඉහලම මට්ටමේ සම්බන්ධතා සියල්ල අවසාන මෙහොතේ ගොඩනැගී තිබුණේ සෝමවංශ සහෝදරයාට පමණි. විජේවීර සහෝදරයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම, පදිංචිය සදහා සිය`ඵම ඉඩම් මිල දී ගැනීම, විජේවීර සහෝදරයාගේ සියඵම කටයුතුවලට අදාලව මුදල් පරිහරණය කිරිම, විජේවීර සහෝදරයා සමඟ සියඵ අය සම්බන්ධීතරණය කිරීම සිදු කරණු ලැබුවේ ඔහු විසින් බව සෝමවංස අමරසිංහ සහෝදරයා පිළිගෙන ඇත. එසේම ගමනායක සහෝදරයා සම්බන්ධව සැලකූ විටද තත්ත්වය එසේම විය. සැබෑ ලෙසම සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළේ ගමනායක සහෝදරයා ය. සමන් පියසිරි එහි නායකයා ලෙස පෙනී සිටිම පමණය සිදු කළේ. සන්නද්ධ අංශයේ පළමු නායකයා ලෙස සුමිත් අතුකෝරළ සහෝදරයා කටයුතු කළ අතර ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසු ගමනායක සහෝදරයා ඒ සදහා පත් විය. මේ හේතුව නිසා කුමන හේතුවක් නිසාවත් ගමනායක සහෝදරයා සිටි ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සාමාජිකයෙක් නොගිය අතර ඒ පිළිබඳව කිසිවෙක් දැන සිටින්නේ ද නැත. ඔහු ඩයස් මුදලාලි ලෙස ඇසුරු කරනු ලැබුවේ ව්‍යපාරිකයින්, පොලිසියේ හමුදාවේ ඉහල නිළධාරින්, ප්‍රාදේශීය ලේකම්, දිසාපති, වැනි සැලකිය යුතු මට්ටමේ අය පමණි. ඒ අනුව ඔහු සිටි තැන ඉතාම රහසිගත වූ අතර ගමනායක සහෝදරයා සමඟ ද සියඵ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ සෝමවංශ සහෝදරයා විසිනි.

රෝහණ සහෝදරයා 1987 නොවැ 12 දින මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට පත් වන අතර නොවැ 11 දින පැවතී අන්තිම මධ්‍යම කාරක සභා රැස්වීමේදී රෝහණ සහෝදරයාගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් අමරසිංහ සහෝදරයා විසින් මතු කරනු ලැබේ. රෝහණ සහෝදරයා සිටින ස්ථානය හෙළිදරව් වී ඇති නිසා ඒ සදහා මීගමුවේ ස්ථානයක් ලබාගෙන ඇති බවත් එම ස්ථානයේ පදිංචියට යා යුතු බවත් මෙහිදී ඔහු විසින් ප්‍රකාශ කර ඇත. නමුත් මධ්‍යම කාරක සභාවේ බොහෝ දෙනෙක් මෙම යෝජනාවට විරුද්ධ වී ඇති අතර දැනට පදිංචි ස්ථානය සම්බන්ධව ගැටඵවක් නොමැති බව රෝහණ සහෝදරයාත් මධ්‍යමකාරක සභාවත් පිළිගෙන ඇත. මේ කරුණු 2015/05/05 ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවටත් ලබා දෙමින් අමරසිංහ සහෝදරයා පිළිගෙන ඇත. එම සම්මුඛ සාකච්ඡාවේ පහත සදහන් ඡේදය වෙත අපි අවධානය යොමු කරමු.

“විජේවීර අත්අඩංගුවට ගත් බව ආරංචි වුණාට පස්සේ ගමනායක සහෝදරයාගේ ගෙදරට ගොස් තොරතුරු හෙව්වා. මිදුලේ ළමයි වගයක් සෙල්ලම් කරමින් සිටියා. මම ඇහැව්වා ගෙදර හිටපු කෙනා කෝ කියලා , ළමයි කිව්වා දන්නේ නෑ කියලා. ඊට පස්සේ තොරතුරු හොයන කොටදැන ගත්ත ඔහු අත්අඩංගුවට අරන් කියල. ඊට පස්සේ ගුණරත්න වනසිංහ සහෝදරයා බලන්න කොට්ටාවට ගියා. ඒ යන කොට එයාගේ ගෙදරට ටිකක් මෙහිදී එයාගේ අල්ලපු ගෙදර ඉන්න අම්ම කෙනෙක් අතදාල වාහනේ නැවැත්තුවා. නැවැත්තුවාම කිව්වා ඒ පැත්තට යන්න එපා කියලා. ඒ අම්ම මාව අඳුනගෙන තිබ්බේ. ඒ අම්ම තමයි මගේ ජීවිතය ඒ වෙලාවේ බේරුවේ. මොකද වනසිංහ සහෝදරයාත් මම ඒ යනකොට අල්ලගෙන ගිහිල්ලා . ඒ වගේ තවත් තැන් කීපයකට ගිහිල්ල අපේ සහෝදරවරු ගෙවල් වලින් වහාම පිටමන් කළා.”

සෝමවංශගේ සෝප් ඔපෙරා කතා

සෝමවංශ සහෝදරයා සිරස නාලිකාවේ විකාශනය කිරීමට සුදුසු ඉන්දියානු වර්ගයේ සෝප් ඔපෙරා කතා ගෙතීමට ඉතාම දක්ෂ බව මෙයින් ඔප්පු කර ඇත. මෙම කතාව තුළ ඔහු තවත් මෙවැනිම කුතුහලය දන්වන ජවනිකාවක් නිර්මාණය කරයි. ඔහු මීගමුවට යන විට එම බස් රථයේ ඔහුගේ අක්කා ඔහු සිටි අසුනට ඉදිරිපස අසුනේ වාඩි වී සිටිය ද ඔහුව හඳුනා ගැනීමට අක්කාට නොහැකි වූ බව පවසයි.

88 - 89 වකවානුව යනු රටේ ඉතාමත් කුරිරු භීෂණයක් පැවති හා පොලිසිය , හමුදාව විශේෂ හමුදා ඒකක නිල නොවන හමුදා , ප්‍රා, ස්‍රා, ක`ඵබලල්ලූ වැනි මිනිමරු කණ්ඩායම් රටේ අස්සක් මුල්ලක් නෑරම jvp නායකත්වය හා සාමාජිකත්වය දඩයම් කරමින් මෙහෙයුම් දියත් කරමින් හා ඒ සදහා ඔත්තු බලමින් සිටි කාලයකි. සෝමවංශ අමරසිංහ සහෝදරයා කියන කතාවට අනුව ගමනායක සහෝදරයා සිටි නිවසට යන විට එම නිවසෙහි මිදුලෙහි ළමයින් සෙල්ලම් කරමින් සිට ඇත. එසේම ඔහු පිළිබඳව විපරම් කර බැලීමක්ද සිදුකර ඇත. රට තුළ පැවති දැඩි භීක්ෂණකාරි වාතාවරණය තුළ අමරසිංහ සහෝදරයා කියන කතාවට අනුව කටයුතු කිරීමේ හැකියාවක් පැවතියේ ද යන්න බරපතල ප්‍රශ්නයකි. යම් නිවසක පදිංචිව සිටි අයෙකු ආරක්ෂක හමුදා විසින් පැහැර ගැනීමක් සිදු කර ඇති මෙහොතක දී එම නිවසේ මිදුලේ සෙල්ලම් කිරීමට යාම කෙසේ වෙතත් නිවෙස් වලින් එළියට නොබසින තත්ත්වයක් එකල රට තුල නිර්මාණය වී තිබිණි.

සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ කතාවට අනුව කොට්ටාවේ සිටි වනසිංහ සහෝදරයාගේ නිවසට යන අවස්ථාවේ දී සිදු වී ඇති දෙයද එතරම්ම පුදුම සහගතය. මෙම වාහනයේ එන්නේ සෝමවංශ අමරසිංහ සහෝදරයාය, ඔහු අනිවාර්යෙන්ම යන්නේ වනසිංහ සහෝදරයාගේ නිවසටය, යන්න ඉතා සහසුද්දෙන් දැනගත් ඔහු එනතුරු මගබලා සිටි දිවැස් සහිත අසල නිවසක ආච්චි අම්මා කෙනෙක් රථය නවතා එම නිවසට නොයන ලෙස දන්වමින් ඔහුගේ ජීවිතය බේරාගෙන ඇත. මෙම අම්මා එතරම් ලෙහෙසි පහසු තැනැත්තියක නොවන බව අපි සිතාගත යුතු වෙමු. jvp ය මර්ධනය සදහා ක්‍රියාත්මක කිසිම හමුදාවකට හෝ බුද්ධි අංශයකට හෝ මිනීමරු කණ්ඩායමකට හෝ කෙටියෙන් සදහන් කළහොත් තම සහෝදරියට හෝ හදුනා ගැනීමට නොහැකි වූ සෝමවංශ සහෝදරයාව හදුනා ගැනීමේ සුවිශේෂ හැකියාවක් මේ අම්මාට තිබී ඇත. (ඔහුගේ මෙම කතාව තුළ මෙම අම්මා දීර්ඝකාලයක සිට හඳුනන තැනැත්තියක ලෙස හෝ කිසියම් දේශපාලන සම්බන්ධතාවයක් තිබූ තැනැත්තියක ලෙස හෝ හදුන්වා දී නැත. ඒ බවට ඉගියකින් හෝ දක්වා නැත)

සෝමවංහ අමරසිංහ සහෝදරයා කිසිම හිරිකිතයකින් තොරව මෙවැනි කතා ගොතන්නේ සිරස ඉන්දියානු සෝස් ඔපෙරා නැරඹීමෙන් මෙරට ජනයාගේ සිරස අතුරැදහන්ව ඇති බවට නිගමනයකට පැමිණ ඇති නිසාද? නොඑසේනම් සෝමවංශ අමරසිංහ සහෝදරයාට සිරසක් නොමැති නිසා ද? යන ප්‍රශ්නාර්ථය අප සිත්තුළ මතු වේ.


විජේවීරව පාවා දුන්නේ ඩීඑම් ද ?

විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා අත්අඩංතුවට පත්වූ ආකාරය සම්බන්ධ නිවැරදි තොරතුරු මේ වන තුරු කිසිවෙකුත් සතුව නැත. එය ඒ තරමට අභ්‍යන්තරිකය. විජේවීර සහෝදරයා පාවාදීම සිදු කරනු ලැබුවේ ඩී.එම් ආනන්ද සහෝදරයා විසින් ය යන්න රටේ ප්‍රචලිත කර තබෙන මතය වේ. නමුත් ඩී.එම් ආනන්ද අත්අඩංගුවට ගනු ලැබුවේ විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත් වීමට මාස 3කට කලිනි. ඔහු මත්තේගොඩ කඳවුරේ ඇඟේ නූල් පටක් නැතුව මුළු ශරීරයම පිළිස්සුම් තුවාල සහිතව වේදනාවෙන් ගුලිවී සිටින අයුරු මෙම ලියුම්කරු දැක තිබේ.

ඩී.එම් ආනන්ද සහෝදරයාට මත්තේගොඩ කඳවුරේ දී දස වද දෙමින් ප්‍රශ්න කර ඇත. ඔහු පුටුවක බැඳ දමා දුව හා පුතා ඔහු ඉදිරියට ගෙනැවිත් එම දරුවන්ගේ සුළැඟිල්ලෙ, නාසයේ, කන් පෙති වල මස් කපා ඔහුට කවා තිබේ. එම මස් කටට දමා ඇන තිබේ. මෙලෙස දස වද දෙමින් පළමුව දරු දෙදෙනාව මරා දමා තිබේ. බිරිඳව ඔහු ඉදිරිපිටදීම දූෂණය කර මරා දමා තිබේ. මෙලෙස කෲර දස වද දෙමින් සිටියදී පවා ඔහු කිසිවක් හෙළි කර නැත.

ඩී.එම් ආනන්ද සහෝදරයා අත්අඩංගුවට පත් වන විට කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වළාගෙන ඇහැළියගොඩ ප්‍රදේශයේ ජීවත් විය. ඩී.එම් සහෝදරයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ විශාල වැඩ කොටසක් වර්තමානයේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරන අයෙකු නායකත්වය දැරූ කණ්ඩායමක් විසින් සිදු කර ඇත.

දයාන් ජයතිලක කණ්ඩායම කොළඹ විශ්වවිද්‍යාලය තුළ jvpයට තරඟකාරී ලෙස ස්වාධීන ශිෂ්‍ය සංගමය බිහි කරමින් jvp හා ගැටුමකට තල්ලූ කරමින් ඉතාම බරපතල ප්‍රතිගාමී වැඩ කොටසක් සිදු කළ බව පැහැදිලිව පෙනේ. මෙම අරගලයේ ප්‍රතිඵල ලෙස ස්වාධීන සංගමයේ දයා පතිරණ, ධර්මසිරි යන අය jvp ය විසින් ඝාතනය කරන ලදී. මෙම ඝාතනයන් සමඟ jvp ය කෙරෙහි බද්ධ වෛරයෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ 35 දෙනෙකු ගණේගොඩ කඳවුරේ හමුදා පුහුණුව ලබා නිල නොලත් හමුදාවන් ලෙස ක්‍රියාත්මක විය. මෙම පිරිස සඳහා රිවෝලරයක් විශේෂ හැදුනුම් පතක් හා ආරක්ෂාව ලබා දෙනු ලැබීය. මෙම හැඳුනුම්පතට විශේෂයෙන්ම හමුදාපතිවරයා විසින් අත්සන් කර ඇත. මෙම පිරිසට ඕනෑම වාහනයක් පරීක්ෂා කිරීමටත්, පෞද්ගලික වාහන ලබා ගැනීමටත්, ඕනෑම පොලීසියක රඳවා සිටි සැකකරුවෙක් රැගෙන යාමටත් විශේෂ අවසරයක් ලබා දී තිබිණි. මෙම අය වැලිකඩ පොලීසියේ රඳවා සිටි රැඳිවියන් තුන් දෙනෙකු ගෙන ගොස් මරා දමා ඇති අතර එසේ ඝාතනය කරනු ලැබුවේ ඝාතන ලැයිස්තුවේ මුල් පෙලට සිටි පියදාස රණසිංහ සහෝදරයා බව දත්වා ඇත .

මෙලෙස මිනීමරමින්, මංකොල්ලකෑම් සිදු කරමින්, ස්ත්‍රී දූෂණයන් කරමින් ක්‍රියාත්මක වූ මෙම පිරිස හට ඩී.එම් ආනන්ද සහෝදරයා ඇහැළියගොඩ ප්‍රදේශයේ සිටිනා බවට හඳුනා ගැනීමට හැකිව තිබේ. ඒ පිළිබඳ තොරතුරු හමුදාවට ලබා දීමෙන් අනතුරුව දවස් 3ක් තිස්සේ ඔහු ගමන්ගත් මඟ රැක සිට ඇත. බලාපොරොත්තු සුන්ව එම ස්ථානයෙන් ඉවත් වීමට සූදානම් වන මොහොතේ ඩී.එම් ආනන්ද සහෝදරයා ගමන් කළ වාහනය හා රියදුරා එම ස්ථානය පසුකර යෑමේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ඩී.එම් සහෝදරයාගේ රියැදුරාට දස වද දෙමින් දින 3ක් තිස්සේ ප්‍රශ්න කළද ඩී එම් ආනන්ද සහෝදරයා ට පැන යාමට අවස්ථාව සලසා දෙමින් ඔහු කිසිවක් ප්‍රකාශ කර නැත. අවසානයේ ඩී.එම් සිටි තැන ඩී.එම්. සහෝදරයාගේ රියැදුරා හෙළි කර ඇති අතර එම කාලය තුළදී පැන යාමට කොතෙකුත් අවස්ථාව තිබුණද ඔහු එසේ පැන ගොස් නැත. මෙලෙස ඩී.එම් ආනන්ද සහෝදරයා අත්අඩංගුවට පත් වීය.

විජේවීර සිටි තැන ඩීඑම් දැන සිටියේ නැත

සෝමවංශ අමරසිංහ සහෝදරයා ද කියනා පරිදි විජේවීර සහෝදරයා ඉතාම බරපතල ලෙස ඔහුගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වී ඇත. ඒ අනූව ඔහු සිටි තැන කිසිවෙකුටත් දැන ගැනීමට ඉඩ නොතැබීය. ඉහත සඳහන් කර ඇති පියදාස රණසිංහ යනු අති දක්ෂ, පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ මුල් පෙලේ සහෝදරයෙකී. මෙම සහෝදරයා පවා විජේවීර සහෝදරයා සිටි ස්ථානය දැන සිටියේ නැත. එම ස්ථානය දැන සිටියේ විජේවීර සහෝදරයාත් ,ගමනායක සහෝදරයාත් තුන්වැන්නෙකු ලෙස සෝමවංශ සහෝදරයාත් පමණි.

සෝමවංශ අමරසිංහ සහෝදරයා හා පක්ෂයේ පාවාදීම සම්බන්ධව සාකච්ඡා කිරීමේදී සෝමවංශ සහෝදරයා හා සිරිසේන කුරේ මහතා සමඟ ඇති ඥාති සම්බන්ධය කෙරෙහීද විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත. සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ වැඩිමහල් සහෝදරික විවාහ වී සිටිනුයේ සිරිසේන කුරේ මහතාගේ සහෝදරයෙකු සමඟය. සෝමවංශ අමරසිංහ සහෝදරයා ලංකාදීප පුවත්පතට ලබා දී තිබූ සාකච්චාවේ දී ඔහුගේ අක්කා ඔහු මීගමුව බලා ගිය බස් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී ගිය බව කියා ඇත.මෙය අහඹු සිදුවීමක් ලෙස ඇගවීමට ඔහු උත්සා කළ ද මෙම සිදුවීම අහම්ඹයක් නොවන බවත් ඔහු මීගමුවට යන තුරු ඔහුගේ අක්කා ඔහුට ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බව අප තේරුම් ගත යුතුය.

ඒ අනූව සෝමවංශ අමරසිංහ සහෝදරයා ප්‍රකාශ කරන බොහෝ කරුණු සත්‍ය සමඟ පරස්පර බැවින් ඒ සියල්ල ගොතන ලද ප්‍රලාපයක් බවත් ඉතා පැහැදිලිය. සෝමවංශ සහෝදරයා මෙලෙස බොහෝ කරුණු සම්බන්ධව ප්‍රලාපයන් ගෙනහැර දක්වන්නේ කුමන අරමුණකින් ද යන්න ඉතා බරපතල ප්‍රශ්නයකී.

සෝමවංශ අමරසිංහ සහෝදරයා ප්‍රකාශ කරන කරුණු අතර එක් සත්‍ය කරුණක් ඇත. එනම් විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකත්වය කවුරුන් විසින් හෝ පාවා දුන්නේය යන කරුණයි. මෙම පාවා දීම සම්බන්ධ කථාන්දරයේදී එම පාවා දීම ඩී.එම් ආනන්ද සහෝදරයා විසින් සිදු කළේද යන හමුදාව වසින් ගොතන ලද ප්‍රබන්ධය ඇති බව ද එම ප්‍රබන්ධය සත්‍යක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන බවද අපි දනිමු. ඩී.එම් ආනන්ද සහෝදරයා ඉතාමත් අමානුෂික ම්ලෙච්ඡ වද විඳිමින් පවා වචනයකුද පිට නොකර තමා පෙනී සිටි උත්තුංග අරමුණ වෙනුවෙන් ජීවිතය පූජා කළ සැබෑ විරුවෙකු බව ප්‍රකාශ කරමින් ඩී.එම් ආනන්ද සහෝදරයා විසින් කිසිවිටකත් විජේවීර සහෝදරයා පාවා නොදුන් බව මේ උත්තුංග විප්ලවවාදියාට සාධාරණය ඉටු කිරීම වස් මෙහි සටහන් කරමී. සත්‍ය වශයෙන්ම ඔහු විජේවීර සහෝදරයා සිටි ස්ථානය නොදැන සිටියේ ය.

එසේ නම් විජේවීර සහෝදරයා පාවා දුන්නේ කවුරුන් විසින්ද? මෙම ප්‍රශ්නාර්ථයේදී සෝමවංශ අමරසිංහ සහෝදරයා ප්‍රකාශ කරන ඉතා වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. විජේවීර සහෝදරයා සැඟව සිටි ස්ථානය පිළිබඳ තොරතුරු සෝමවංශ සහෝදරයාත් ගමනායක සහෝදරයාත් පමණක් දැන සිටියේය, යන්න පිළිගත හැකි සත්‍ය නම් ඔවුන් නොදන්නා කිසිවෙකු හෝ තව පිරිසක් මේ පිළිබඳ තොරතුරු දැන සිටියේද? මෙම ස්ථානය පිළිබඳ තොරතුරු මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ සිටි වෙනත් කිසිවෙකු දැන නොසිටියේද? එසේ දැන සිටියානම් සෝමවංශ අමරසිංහ සහෝදරයා කුමන හේතුවක් නිසාද ඒ බව හෙළි නොකර සිටින්නේ? ඔහු ප්‍රකාශ කරන පරිදි මේ පිළිබඳව වෙනත් කිසිවෙකු නොදැන සිටියානම් දෙදෙනෙකු පමණක් දන්නා ස්ථානයක් පිළිබද තොරතුරු ආරක්ෂක අංශ වෙත ලැබුණේ කෙසේද? එසේම මෙහිදී මතුවන තවත් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇත. එනම් සෝමවංශ අමරසිංහ සහෝදරයා විසින් විජේවීර සහෝදරයා මීගමුවේ නිවසකට යා යුතු බව යෝජනා කළේ කුමන හේතුවක් නිසාද?

විජේවීර සහෝදරයා සැඟව සිටි ස්ථානය දැන සිටි දෙදෙනාගෙන් අද ජීවතුන් අතර සිටින්නේ සෝමවංශ අමරසිංහ සහෝදරයා පමණි. ඉතා දැඩි මර්දනකාරී පසුබිමක් යටතේ සෝමවංශ අමරසිංහ සහෝදරයා ප්‍රකාශ කරන පරිදි ඔහුට ඉතා පහසුවෙන් බරපතල අභියෝගයක් නොමැතිව රට තුළ එහා මෙහා සැරිසැරිමටත්, අනතුරුව ඉන්දියාවටත් එතැන් සිට එංගලන්තයටත් පැන යාම සඳහා අවස්ථාව උදා වූයේ කෙසේද? යන ප්‍රශ්නාර්තය මෙහිදී මතුවේ.

මේ අනූව විජේවීර සහෝදරයා පාවා දුන්නේ කවුරුන්ද යන ප්‍රහ්නාර්ථයේදී මෙම ලිපිය තුළ පෙළගස්වා ඇති කරුණු ද අප විමර්ශනයට භාජනය කළ 15/05/03 දින ඉරිදා ලංකාදීප පුවත්පතට අමරසිංහ සහෝදරයා ලබා දුන් සම්මුඛ සාකච්චාවේ අඩංගු කරුණු ද මෙම සිදුවීම් වලට අදාළව විවිධ තැන්හී ප්‍රකාශයට පත්වූ විවිධ පරස්පරයන්ගෙන් යුත් කරුණු ද සියුම්ව විග්‍රහ කර බලා එම පාවා දෙන්නා කවුරුන්ද යන්න හඳුනා ගැනීමේ වගකීම මෙම ලිපිය කියවන බුද්ධිමත් පාඨකයන්ට භාර කරමි.

අසේල - jvp නව ප්‍රවණතාවය

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us