රට ගොඩ ගන්නේ කෙසේද .. Featured

Thursday, 14 April 2022 11:31

වසංගතය විසින් ලෝක ආර්ථිකයට එල්ල කළ පීඩනය ධනවත් හා බලවත් රටවල් අසීරුවෙන් දරා ගත්ත ද අප වැනි රටවලට එය දුෂ්කර කාර්යයක් විය.

වසංගතය හමුවේ ජන ජීවිත රැක ගැනීම පළමු කාර්යය ලෙස සලකා ක්‍රියාකරන රජයකට ඒ වෙනුවෙන් විශාල වැය බරක් අනපේක්ෂිතව දැරීමට සිදුවූ අතර රටට විනිමය ලැබෙන මාර්ග විශාල ලෙස ඇහිරී තිබිය දී සංචාරක කර්මාන්තය වැනි අංශවලින් එක් ඩොලරයක් හෝ නොලැබෙන පසුබිමක පවා බලශක්ති, ආහාර, විදුලිය ආදී අවශ්‍යතා නොපිරිහෙලා පිරිමසාලීම අභියෝගාත්මක විය. එහිදී ඇති වූ දුෂ්කරතා හා පීඩනය විඳ දරා ගැනීම ජනතාවට අපහසු වනවිට නොසන්සුන්කාරී තත්ත්ව ඇති වීම මෙන්ම බොර දියේ මාළු බෑමේ න්‍යායට අනුව ක්‍රියාත්මක වූ විපක්ෂ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සිය දේශපාලන න්‍යායපත්‍ර දිගහැරීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ජනතා පීඩනය පිළිබඳ සැබෑ හැඟීමකින් දියත් වූ ඒවා ලෙස සැලකිය නොහැකි අතර පවත්නා ගැටලු තවත් සංකීර්ණ කිරීම මිස ඒවාට පිළියම් යෙදීමට උපකාරක වූයේ නැති බව ද පැහැදිලිය. මෙවැනි අභියෝගාත්මක සමයක පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්ව එක්ව ප්‍රශ්නවලට විසැඳුම් සෙවිය යුතු වූවද එවැනි දියුණු දේශපාලන භාවිතාවන් මෙරට දේශපාලන සංස්කෘතිය තුළ තවමත් නිර්මාණය වී නැත. එහිදී නොයෙක් අදහස් මතිමතාන්තර යෝජනා, විවේචන ඉදිරිපත් විය යුතු අතර විසඳුම් මතු විය යුත්තේ ඒ අතරිනි. එසේ නැතිව විසඳුම් ඉබේ පහළ වන්නේ නැත. රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට පිළිතුරු දීමේදි අනුගමනය කළ හැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබඳ යම් අදහස් මෙන්ම යෝජනා ඉදිරිපත් වෙමින් තිබීම අගය කළ හැකි තත්ත්වයකි. එම යෝජනා සම්බන්ධයෙන් ද එකඟවීම් මෙන්ම එකඟ නොවීම් ද තිබේ.

රටක ආර්ථිකය හැසිරවීම හා කළමනාකරණය සම්බන්ධයෙන් මහ බැංකුවේ භූමිකාව තීරණාත්මක ලෙස වැදගත්ය. මහ බැංකුව ගනු ලබන තීන්දු තීරණ හැකිතාක් නිවැරැදි හා විද්‍යාත්මක මෙන්ම ප්‍රායෝගික වන තරමට එය රටක ආර්ථිකයේ මෙන්ම ජනතාවගේ ද හිතසුව පිණිස වේ. නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටින්නේ මහ බැංකුව ස්වාධීනව ක්‍රියාත්මක වනු ඇති බවය. එය වැදගත් කාරණයකි. බලපෑම් අවම වන තරමට තීරණ ගැනීම පහසුය. ගනු ලබන තීරණ සෑමවිටම රටේත් ජනතාවගේත් යහපත පිණිස වන බවට වන වගකීම ද ඔවුන් වෙත පැවරී තිබේ. පවත්නා තත්ත්වයට පිළියම් යෙදීමේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සමීපව කටයුතු කරන බව මෙම පළමු මාධ්‍ය හමුවේදී නව අධිපතිවරයා ප්‍රකාශ කළේය. එහිදී IMF හා ලෝක බැංකුවේ එළැඹෙන රැස්වීම් සඳහා ප්‍රබල ශක්තිමත් නියෝජිත පිරිසක් යැවීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි. කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා IMF සමඟ සාකච්ඡා ඉක්මනින්ම ඇරැඹෙනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද අදාළ ක්‍රියාමාර්ග ගනු ඇති බව මෙහිදී ආචාර්ය නන්දලාල් ප්‍රකාශ කර තිබේ. පවත්නා පීඩාකාරී තත්ත්වය යටතේ එය විශාල සහනදායි පියවරක් වනු ඇතැයි සැලකිය හැකිය. මේ පිළිබඳ සඳහන් කරමින් IMF සමඟ කටයුතු කර දීර්ඝකාලීන අත්දැකීම් ද ඇති නව අධිපතිවරයා කියා සිටියේ, මෙම සාකච්ඡාවල දී දිස්වනු ඇති එකම වෙනස ඊට ණය ප්‍රතිව්‍යුහගතකරණය එකතු වීම බවය.

ධුරයේ වැඩ ඇරැඹූ පළමු දිනයේම පොලී අනුපාත ඉහළ දැමීමට නව අධිපතිවරයා මූල්‍ය මණ්ඩලය සමඟ තීරණය කළේය. ප්‍රකෘති මූල්‍ය වෙළෙඳපොළක ස්වභාවය සැලකීමේදී මූල්‍ය වෙළෙඳපොළට බලපෑම් කිරීමක් නොවන නමුත් එය විකෘති වීමකට ලක්වූ විට නැවතත් ප්‍රකෘති තත්ත්වයට ගැනීමට සිදුවේ. පොලී අනුපාත පහත දැමීමෙන් සිදුවූ විකෘතිය එය මෙලෙස ඉහළ දැමීමෙන් යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇත. පොලී අනුපාත පහළ දැමීම ජනතාව ස්ථාවර තැන්පතුවල ආයෝජන කිරීම ආදිය උදාසීන කළ නමුත් පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ එම ආයෝජන ඉහළ යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයකි. ඉදිරියේදී උද්ධමනය පහත වැටීමට ද මෙම ක්‍රියාමාර්ග හේතුවනු ඇත.

නව මහ බැංකු අධිපතිවරයා මෑතකාලීන ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේ නූතන මූල්‍ය සිද්ධාන්ත යනුවෙනි. ඒවායේ ගලා යාම තරමක් දරුණු විය. මූල්‍ය ප්‍රතිපත්ති යන්ත්‍රණය කෙරෙහි මෙන්ම නම්‍යශීලී උද්ධමන අනුපාතයන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට හැකිවීම වැදගත් වනු ඇති බව ආචාර්ය නන්දලාල් පෙන්වා දී තිබේ. එබැවින් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් ස්වාධීනව තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඊට මුදල් අමාත්‍යාංශයේ ද සහාය ලැබෙනු ඇත. සමස්ත මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් තාක්ෂණික හා විවෘත ප්‍රවේශයකින් කටයුතු කරනු ඇති බව ද ඔහු අවධාරණය කර තිබේ. කිසිදු බාහිර පීඩනයක් ඇති නොවන අයුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු ස්වාධීනව පවත්වා ගැනීමට තවත් පියවර ගනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව ඇති තත්ත්වය ඔවුන්ගේ දුක් වේදනා තමන් දුටු බව හා ඊට පිළියම් යෙදීමේදී තමන්ට කාර්යයක් ඇති බව පෙනී ගිය බවයි. නව අධිපතිවරයා පැහැදිලි දැක්මක් සහිතව ඊට සූදානම්ය. දැන්, අපේ රටේ දේශපාලන පක්ෂ කළ යුතු වන්නේ ඔහුට සහ ඔහු නායකත්වය දෙන ආයතනයට එම කාර්ය කරගෙන යාමට සහාය දෙමින් ඊට බාධා ඇති නොකිරීම හා හැකි උපරිම සහාය ලබාදීමය. එවිට අප පසුකරමින් ඇති දුෂ්කර සමය කෙටි කලකින් නිමා කර ඉලක්ක කරා සෞභාග්‍ය කරා රට මෙහෙයවීමට හැකියාව ලැබෙනු ඇත. එය සාමුහික ජයග්‍රහණයකි.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us