දැල්පන්දුවේ කෙහෙවලූ පැටලීම

Published in ක්‍රීඩා
Thursday, 03 July 2014 21:25

ආසියානු දැල්පන්දු තරගාවලියට තවත් මාස තුනක් පමණක් තිබියදී ජාතික පුහුණුකාරිනී දිප්ති අල්විස් පසුගියදා එම තනතුරින් ඉවත් කර තිබීම දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කැළඹීමක් නිර්මාණය කරන්නක් ව තිබේ.

පසුගිය ජනවාරි මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මස දක්වා දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය ලෙස පත්වීම ලද අල්විස් මහත්මිය හිටිඅඩියේ ම ශ‍්‍රී ලංකා දැල්පන්දු අතුරු කමිටුවේ ලේකම් දමයන්ති ජයතිලකගේ අත්සනින් යුත් ලිපියක් මගින් තනතුරෙන් ඉවත් කර ඇත්තේ කරුණු කිහිපයක දී ම ඇය වෙතින් සිදුවී ඇතැයි කියනු ලබන නොසලකා හැරීම් කිහිපයක් හේතුවෙනි.

එහිදී ඔවුන්ගේ ප‍්‍රබලතම චෝදනාව වන්නේ එළැඹෙන ආසියානු තරගාවලිය ස`දහා සහභාගි වන කණ්ඩායම ප‍්‍රමාණවත් ලෙස පුහුණු නොකිරීම ය. එසේම තාක්ෂණික නිලධාරිනිය ලෙස පත්කරන ලද හයසින්ත් විජේසිංහ මහත්මියගේ සහ සහාය පුහුණුකාරිනිය යමුනා සදමාලිගේ සේවය නොසලකා හැරීම ද ආබාධයකට ලක්ව සිටි දිප්ති අල්විස්ගේ දියණිය වන සේමිණි අල්විස්ගේ එම තත්ත්වයන් වසන් කරමින් පුහුණු කටයුතු සදහා යොදවා ගැනීම ද වේ.

බැලූබැල්මට ම මේවා ඉතා දරුණු චෝදනාවන් ය. දීප්ති අල්විස් කණ්ඩායම ගෙනයන්නේ අත්තනෝමතිකවය. ක්ෂේත‍්‍රයේ ආරංචිය වන්නේ මේ සියලූ දේ කිහිප දෙනෙකුගේ උවමනාවට සිදු වුණ බව ය. එසේ ම මේ හදිසි මැදිහත් වීම් මත ක‍්‍රීඩිකාවන් ද දැන් සිටිනුයේ තරමක දෙගිඩියාවෙනි. තමන් ද මේ තීරණයන්හි ගොදුරු බවට පත්වෙනු ඇතැ’යි සැකය මත ය.

අප මේ සම්බන්ධයෙන් දැල්පන්දු අතුරු කමිටුවේ සාමාජිකාවක වන නිල නොලත් මහේස්ත‍්‍රාත් නීතිඥ රංජනී හේරත් මහත්මියගෙන් විමසීම් කළ විට ඇය පැවැසුවේ ‘අපේ ළමයි දක්ෂයි. ඔවුන් විශාල කැපවීමක් කරනවා. විශාල ලෙස මහන්සි වෙනවා. එහෙත් අපිට අවිශ්වාසයි අපේ ගමන යන්න තරම් මට්ටමේ මේ ළමුන් ඉන්නවා ද කියලා. ඒත් අපිට මේ තරගාවලිය ජයගත යුතු වෙනවා. නොමැති නම් අවුරුදු දෙක තුනකට ලෝක මට්ටමේ තරගවලට සහභාගි වීමේ අවස්ථාව අපිට අහිමි වෙනවා. අපිට අවශ්‍ය ඒක වළක්වා ගන්න. අපි කරමින් සිටින්නේ ඒ භාරධුර කටයුත්ත. එය ඉටු කර ගන්න නම් අපිට වෙනස්වීම් කිහිපයකට යා යුතු වෙනවා. අපි මේ අවස්ථාවේ කරමින් සිටින්නේ එයයි’ යනුවෙනි.

ඇය පවසන මේ වෙනස්වීම් කිහිපය ඉතා ඉක්මනින් සිදුවෙනු ඇත. අපට එසේ සිතෙන්නේ අතුරු කමිටුව මේ වන විට ද දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස හයසින්ත් විජේසිංහ මහත්මිය පත්කර ඇති බැවින් ය. ඇය මේ දක්වා කටයුතු කළේ කණ්ඩායමේ තාක්ෂණික නිලධාරිනිය ලෙස ය. අවස්ථා කිහිපයක දී ම සංගමයට එපා වූ හයසින්ත් මේ අවස්ථාවේ දී ම අතුරු කමිටුවට වුවමනා වීම ද ප‍්‍රශ්නකාරී ය. ඒ මේ පිටුපස බළල් අත් රැඳී ඇති බැවින්යැ’යි අනුමාන කළ හැකි නිසා ය.

කෙසේ වෙතත් දීප්ති සේ ම හයසින්ත් ද ක්ෂේත‍්‍රයේ දක්ෂයන් බැව් ක්ෂේත‍්‍රයේ සැමගේ ම පිළිගැනීම ය. එවන් වූ අය එක් එක්කෙනාගේ උවමනාවන් වෙනුවෙන් භාවිත කිරීම අවකෙළියකි. දිප්ති සේ ම හයසින්ත් ද වරින් වර මේ අවකෙළියේ ගොදුරු බවට පත් වූ බැව් ඔවුන් අදටත් නොදනී ද යන්න දන්නේ ඔවුන් ම ය. නොමැති නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනදැනත් ඊට කැමැත්තෙන් ම ගොදුරු වෙති’යි යන්න සිතේ. මේ ක‍්‍රමවේදයේ කොතැනක හෝ වෙනසක් විය යුතුය. එසේ නොවන්නේ නම් එතැන ඇත්තේ ක‍්‍රීඩාව නොවේ.

දීප්ති ඉවත්කර හයසින්ත්ට එම වගකීම් පැවැරීම සම්බන්ධයෙන් හේරත් මහත්මිය පවසන්නේ මෙවැන්නකි. ‘දීප්ති මේ ක්ෂේත‍්‍රය වෙනුවෙන් මහා විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. ක‍්‍රීඩිකාවක්, පුහුණුකාරිනියක් මෙන් ම නිලධාරිනියක් ලෙසත් ඇය කළ කාර්යභාරය අතිවිශිෂ්ටයි. ගමේ සිට පැමිණ ඇය කළ දේවල් ක්ෂේත‍්‍රයේ කාටවත් අමතක කරන්න බැහැ. ඇය අපිට ක‍්‍රීඩිකාවන් විශාල ප‍්‍රමාණයක් හදුන්වා දී තිබෙනවා. ඔවුන් අද ඉහළින් ම සිටිනවා. ඒත් අපිට තේරුණා මේ තනතුරේ වෙනසක් අවශ්‍යයි කියලා. අපි ඒ තීරණය ගත්තා. සමහර විට අපිට කිසිවෙක් නොසිතන තවත් තීරණ ගන්න සිද්ධ වෙයි. මේ කිසිවක් වෛරයකින්, ක්‍රෝධයකින් ගන්න තීරණ නොවේ. මම කලිනුත් කිව්වනේ, අපි මේ දිනන්න යන ගමනක් කියලා. ඉතිං අපි දිනුවා කියන්නේ එහි කොටසක් දීප්තිලාටත් අයිතියි’.

හේරත් මහත්මිය පවසන පරිදි ඉදිරි කාලයේ දී දැනට තිබෙන ආසියානු තරගාවලියේ සංචිතය 21 දෙනා දක්වා වෙනස් වේ. ‘කණ්ඩායමේ සංයුතිය දිහා බැලූවාම අපිට මීට වැඩිය දක්ෂයන් ටිකක් ඇතුළට ගන්න ඕනෑ කියලා තේරුණා. ක‍්‍රීඩා කිරීමේ දී මීට වඩා දක්ෂතා වගේ ම තරගකාරිත්වයත් තිබිය යුතුයි. අපි නව තේරීම් කමිටුවක් යටතේ සංචිතයක් කැඳවනවා. කලින් හිටපු තේරීම් කමිටුවේ නිලධාරීන් වැරදියි කියලා කියනවා නෙමේ. නමුත් අපිට නව පුහුණුකාරිනියක්, නව ක‍්‍රමවේදයක් යටතේ දෙවැනි තීරණයකට යන්න සිද්ධ වෙනවා. මෙතැනදී ඉන්න ක‍්‍රීඩිකාවන් සේ ම අලූතින් අයත් එකතු වේවි. සමහරුන්ට යන්න වේවි. කරන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය දක්ෂයෝ. අවසානයේ අපි මේ අය අතුරින් තෝරාගන්නේ 12 දෙනායි. මේ සියල්ල කරන්න මේ තිබෙන කාලය හොදට ම ප‍්‍රමාණවත්…’

දැනට ආසියානු තරගාවලිය සදහා සහභාගි වන දැල්පන්දු සංචිතයේ ක‍්‍රීඩිකාවන් දෙගිඩියාවෙන් පසු වෙන්නේ හේරත් මහත්මියගේ මේ ප‍්‍රකාශය හේතුවෙනි. ‘අපි කණ්ඩායමක් ලෙස හොද සහයෝගයෙන් සිටිනවා. පසුගියදා පැවැති සුහද තරගවලදීත් අපි ජයග‍්‍රහණය කළා. ඒ ජයග‍්‍රහණ ඉහළට ගිහිල්ලා තිබුණේ වෙනත් විදිහට. ඒ කියන්නේ අපිව දෙකේ කොළයට දාලා. කාලයක් තිස්සේ අපි එකට පුහුණුවීම් කරලා දැන් මේ දවස් කිහිපයට තවත් අලූත් අය දාලා මේ අය කරන්න හදන්නේ අපි අතර විරසකයක් ඇති කරන්න ද කියලාත් හිතෙනවා. එහෙම නැත්නම් වෙනත් අපේක්ෂාවන් ඉෂ්ඨ කර ගන්න අපිව ආයුධයක් කර ගෙන ද කියලාත් හිතෙනවා’ සංචිතගත ක‍්‍රීඩිකාවක් අප සමග පැවැසුවා ය.

එසේ ම අම්මා වෙනුවෙන් දුවටත් දංගෙඩියට යෑමට සිදුව ඇති බවක් ද ක්ෂේත‍්‍රයේ මතය ය. ඒ දීප්තිගේ දියණිය සේමිණි අල්විස් ද චෝදනාවන්ට ලක් ව සිටිනා බැවිනි. ඇය ආබාධයක් සහිත වුවත් දීප්තිගේ අනුග‍්‍රහය මත කණ්ඩායමේ රැඳී සිටින බවට ද අතුරු කමිටුවේ චෝදනා ය. ඒත් මේ සම්බන්ධයෙන් සංචිතගත ඇතැම් ක‍්‍රීඩිකාවන්ගේ මතය වන්නේ ඇය පමණක් නොව තවත් ක‍්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම ආබාධිත තත්ත්වයේ පසු වෙන බව ය. එසේ නම් එතැන ද වරදක් ඇත. එක ම තත්ත්වයක දී කෙනෙක් වැරදි වෙන්නත් කෙනෙක් නිවැරදි වෙන්නත් හැකියාවක් නැත. එසේ ම ඔවුන් පවසන්නේ සේමිණි කාලයක් තිස්සේ දක්ෂතා අතර සිටින බැවින් ඇය කණ්ඩායමේ සිටිය යුතු ක‍්‍රීඩිකාවක ලෙස ඔවුන් සිතන බව ය.

කෙසේ වූවත් දීප්තිට යවනු ලබන ලියුම යැවෙන්නේත් නව පත්වීම් සිදුවන්නේත් සහ නව ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක වන්නේත් එක ම ක‍්‍රියාදාමයක පුරුක් ලෙස යන්න අපගේ විශ්වාසයයි. එම විශ්වාසයේ දී වඩාත් චෝදනාවට ලක්වන්නී දැල්පන්දු අතුරු කමිටුවේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියය. ආසියානු තරගාවලිය ඉලක්කර ගනිමින් දීප්ති අල්විස් ජාතික පුහුණුකාරිනිය ලෙසත් හයසින්ත් විජේරත්න තාක්ෂණික නිලධාරිනිය ලෙසත් පත්වීම් ලබන්නේ ඇය ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනියව සිටිය දී ය. එදා ක්ෂේත‍්‍රයේ වඩාත් දක්ෂතා මෙන් ම සුදුස්සන් ලෙස මහා ඉහළින් වර්ණනා කළ දෙදෙනා අද වන විට නුසුදුස්සන් වී ඇත්තේ කුමන කාරණයක් මත ද?

තේරීම් කටයුතු කළ යසා රාමචන්ද්‍ර මහත්මිය ද දැන් අතුරු කමිටුවට අවැඩදායක වී ඇත. ආරංචිය පරිදි නම් ඇයගේ තනතුර ද අනතුරේ ය. මේ සියලූදෙනාගේ සේවය අතුරු කමිටුවට ප‍්‍රශ්නකාරී වී ඇත්තේ පුහුණුවීම් කටයුතු පමණක් සිදුකරන තත්ත්වයක දී වීම වඩාත් විහිඵසහගත ය. අඩුම තරමින් මොවුන්ගේ දක්ෂතා මැනීමට කුමන හෝ තරගාවලියක් යොදා ගත්තේ නම් මේ තීරණයන්හි සාධාරණත්වයක් දැකිය හැකි ය. එහෙත් එවැන්නක් නොමැතිව ම දැල්පන්දුව මහා වෙනසකට භාජනය කරන්නට අතුරු කමිටුව බලාපොරොත්තුවේ.

මේ සියල්ල සිදුවන්නේ ක‍්‍රීඩා ඇමැතිවරයා ද දැනුවත් ව යන්න ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ කතාබහ ය. මේවා එළිපිට ම කතා කිරීමට ඇතැම් නිලධාරිනියන් කටයුතු කිරීම ඊට සාක්ෂි සපයයි. එමෙන් ම ඇතැම් තැනක ‘ඇමැති පැවැසුවා’ යන්න යොදා ගනිමින් ද කටයුතු දැකගත හැකිය යන්න ද ප‍්‍රසිද්ධ ය. මේ සම්බන්ධයෙන් පාර්ශ්වයන් දෙකෙන් ම කොතෙක් කරුණු විමසුවත් ලැබෙනුයේ එක ම දේ ය. ඒ තමන් නිවැරදිය යන ප‍්‍රකාශයයි.

(රාවය- ජගත් ප්‍රේමචන්ද්‍ර)

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us